නිවැරදි ‘යෝග’ කිසිවිටකත් ව්‍යායාම් මාලාවක් නොවේ. කෙනෙකුගේ ශරීරයට ව්‍යායාම් අවශ්‍ය වන්නේනම් ඒ සඳහා සුදුසුම තැන වන්නේ ජිම් එකය. එසේ නොමැතිව යෝග කිරීම නොවේ.
යෝග දර්ශනය වසර පන්දහසත් හයදහසත් අතර අතීතයකට දිව යන්නෙකි. යෝග වචනයේ තේරුම වන්නේ ‘යූ.ජී’ යන්නය. එහි තේරැම වන්නේ ‘ආත්මය පරම ආත්මය සමඟ බැඳීමය’ කායික, මානසික, අධ්‍යාත්මික එකතුවීම ලෙසින් මෙය හැඳින්විය හැක.
යෝග දර්ශනය තම ජීවිතයට ළංකර ගැනීමට පෙර එය තමන්ට පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය. යෝග දර්ශනය පිළිබඳව කැමැත්තක් ඇත්නම් පමණක් යෝග අභ්‍යාස කිරීමට උත්සාහ ගන්න. යෝග දර්ශන තුළින් කායික සුවය, මානසික සුවය සහ අධ්‍යාත්මික සුවයද අත්පත් කරගත හැක.
මේ නිසා ධනය ගලාගෙන ඒම, විවාහ ජීවිතය සඵල වීම, දරුඵල අහිමිව ඇත්නම් එම තත්ත්වය ඇතිවීමට මංපෑදීම වැනි භෞතික සැප සම්පත්ද ලබා ගැනීමට අවස්ථාව සමහරුන්ට උදාවෙයි. මේ සඳහා වඩාත්ම වැදගත් වන්නේ හොඳ ගුරුවරයකු සොයා ගැනීමයි. අන්තර්ජාලය ඔස්සේ හෝ පොත්පත්වල ලියැවී ඇති තොරතුරු ඔස්සේ හෝ කිසිවිටෙකත් යෝග අභ්‍යාස කිරීමෙන් වැළකිය යුතුය.
යෝග අභ්‍යාසවල නියැලීමට කිසිදු වයස් සීමාවක් නොමැත. යෝග හින්දු දර්ශනයේ පවතින්නකි. හින්දු වේදයට අනුව මහා බ්‍රහ්මයා අවදිවන වේලාවට අවදිවීම අවශ්‍යය. ඒ අනුව උදෑසන 4.12 සිට 5.12 දක්වා අතර කාලය තුළදී අවදි විය යුතුය. ඒ කාල සීමාව තුළදී අපගේ මනස නිශ්චලය. මනසට කිසිදු ආවේගයක් ඇතුළු වී නොමැත. පරිසරය වුවද ඒ කාලසීමාවේදී නිශ්චලය. මුළු පරිසරයම සුවදායකය. ස්වභාවික වාතය වුවද ඉතා පිරිසුදුය. මේ නිසා යෝග අභ්‍යාසවල නියැලෙන්නන් ඒ කාල සීමාව ඇතුළතදී දිනපතා අවදිවීමට පුරුදු විය යුතුය. එය බ්‍රහ්මයා ලෝකය දෙස බලන වේලාව ලෙසින්ද හැඳින්වේ.
ඒ අවදි වූ විගස යෝග අභ්‍යාසයේ ඇති ප්‍රබල මන්ත්‍රයක් ගැයීමද ඉතා වැදගත් වේ.
ඕම් භූර් භුවඃ සවහඃ
තත් සව්තුර් වරේන්‍යම්
භර්ගෝ දේවස්‍ය ධීම භී
ධියෝ යෝනඃ ප්‍රචෝදයාත්
මෙම මන්ත්‍රය පැවසීමෙන් පසුව යෝග අභ්‍යාස ආරම්භ කළ හැක. යෝග අභ්‍යාසයේ මූලික අභ්‍යාසය වන්නේ සූර්ය වන්දනාවයි. උදේ පාන්දර පායා එන හිරු නමස්කාර කිරීම එමඟින් සිදුවේ. මෙය කරනු ලබන්නේ උදෑසන ආහාරද නොගෙන කුස හිස්ව තබාගෙනය. යෝග අභ්‍යාස සිදුකළ යුත්තේ සැහැල්ලු මනසකින් යුක්තව මෙන්ම සැහැල්ලු ඇඳුමකිනි. නමුත් අද වෙද්දී යෝග අභ්‍යාසයන් සඳහා බොහෝ යුවතියන් ඉතා වටිනා ක්‍රීඩා ඇඳුම් මෙන්ම පාවහන්ද පළඳින බව දැකිය හැක. එය කිසිසේත්ම නොකළ යුතුය.
යෝග අභ්‍යාසයේදී හුස්ම ගැනීමේ පාලනය මෙන්ම හිත එක්තැනක තබා ගැනීමේ භාවනාවද සිදු කෙරේ. මෙම යෝග අභ්‍යාස උදෑසන නිවැරදිව සිදු කිරීමෙන් දවසම සුභවාදී වන බව සඳහන්ය. ශරීරයට විශාල බලයක් ලැබේ. එය විශ්වයේ බලයකි. දෛනික වැඩකටයුතු ඉතා සාර්ථකව සිදුකරගත හැක.
අද වනවිට ලොව ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන රෝගයක් ලෙස විශාදය හැඳින්විය හැක. මිනිසාගේ ජීවිතේ සෑම කටයුත්තකදීම මනස මුල් වේ. යෝග දර්ශනයේ ‘යෝග ආසන’ ලෙසින් කොටසක් ඇත. එම යෝග ආසන පුරුදු පුහුණු වීමෙන් මිනිසාගේ හිතේ ඇතිවන ආවේග, කේන්ති, පීඩන දුරුකර ගැනීමට හැකියාවක් ඇත. හුස්මේ ක්‍රියාකාරීත්වය මෙම ආවේග, කේන්ති පීඩන වැනි දුර්වල අවස්ථාවන් හමුවේ වෙනස් වේ. එවිට හුස්ම ගැනීමේ වේගය වෙනස් වේ. නමුත් ඕනෑම කෙනෙකුට හුස්ම පාලනය කරගැනීමට හැකියාවක් ඇත්නම් මෙම ආවේගවලින් මිඳිය හැක.
යෝග අභ්‍යාසයේ මෙය දියුණු කර ගැනීමෙන් පසුව හිත එක්තැනකට ගෙන ආ හැක. මේ නිසා කෙනෙකු ජීවිතයේ සාර්ථකව ගත කරගැනීමට නම් මනස දියුණුකරගත යුතුය. වර්තමානයේදී මිනිසුන්ට ඇතිවන බොහෝ රෝගවලට ප්‍රධාන හේතුව වන්නේද මනසයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ආතරයිටීස් ඇතැම් පිළිකා රෝග බොහොමයකට හේතුව වන්නේ මනසය. ඒ සඳහා ප්‍රධානතම ඖෂධය වන්නේ මනස සුවපත් කරලීමට උනන්දුවීමය. ඒ සඳහා යෝග අභ්‍යාසයේදී භාවනාව මහත් පිටුවහලක් ලබාදේ.
මිනිසාගේ මනස මෙන්ම කය සුවපත් කර ගැනීමට ‘යෝග ආසන’ උදව් කෙරේ. මෙය දාහය දමන අපහසුවෙන් කරන ව්‍යායාම් පද්ධතියක් නොවේ. යෝග දර්ශනයේදී නිර්මාංශ වීම ඉතා වැදගත් පුරුද්දකි. නමුත් නිර්මාංශ වීමෙන් පමණක් යෝග අභ්‍යාසයෙන් පැවැත්මක් නැත. ඒ සඳහා නිවැරදි අභ්‍යාසවල නියැලිය යුතුය. හින්දු වේදය අනුව යෝග දර්ශනයට නිර්මාංශ වීම එක් පිළිවෙතකි. ඔවුන් සත්‍ය වශයෙන්ම විරුද්ධය.
අධි රුධිර පීඩන, දියවැඩියාව, ආතරයිටීස් වැනි රෝග සඳහා නිවැරදි යෝග අභ්‍යාස කිරීමෙන් හා නිවැරදි සමබල ආහාර වේලක් ගන්නේ නම් සම්පූර්ණයෙන්ම සුවකර ගත හැක.
අද වෙද්දී ඉන්දියාවට ගොස් භාවනා කිරීම සහ යෝග අභ්‍යාසවල නියැලිමට වැඩි වශයෙන් උනන්දු වන්නේ බටහිර රටවල ජනතාවය. ඔවුහු නිවැරදිව ඒ අභ්‍යාසවල නියැලෙති. නමුත් බොහෝ ශ්‍රී ලාංකිකයෝ භාවනා කිරීමට පවා හේත්තු වීමට ආධාරකයක් පතති. අවසානයේදී භාවනා කිරීම කෙසේ වෙතත් ඉක්මණින් නින්ද ළඟා වේ.
බොහෝ දෙනා අද යෝග අභ්‍යාස විලාසිතාවක් බවට පත්කරගෙන තිබෙන බව පෙනේ. යෝග පන්තියකට ගිය පමණින් යෝග අභ්‍යාසවල නියැලුණු පමණින් සියල්ල සාර්ථක වන්නේද නැත. ඔවුන්ගේ ජීවන රටාව නිසි ලෙස සැලසුම් කරගැනීම යෝග අභ්‍යාස සාර්ථක කර ගැනීමට ඉවහල් වේ. ඉන්දියාවේ පාසල්වල දිනපතාම පුරා පැයක් යෝග අභ්‍යාස පැවැත්වේ. පාසල්වල පමණක් නොව බොහෝ ආයතනවලද මෙම යෝග අභ්‍යාසය ක්‍රියාත්මක වේ. එමගින් මනස සැහැල්ලු කර රාජකාරියේ හෝ අධ්‍යාපන කටයුතුවල නියැලීමට හැකියාව ලැබේ. එමගින් මානසික ආතතිය නැතිවීම සුභවාදී චින්තනයකින් වැඩිකිරීම, ශරීරය ක්‍රියාශීලී වීම වැනි ධනාත්මක ජීවිත රටාවකට හුරු කිරීමට උදව් වේ.
යෝග හැදෑරීම තුළින් තමන් තමන්ට ආදරේ කිරීමට හුරැවීමද සිදුවේ. මේ ලොව තමන්ට ආදරේ නොකරන කිසිකෙනකු තවත් කෙනෙකුට ආදරය කරන්නේද නැත. තමන්ගේ කායික, මානසික, අධ්‍යාත්මික සුවය ලබා ගැනීමට යෝග අභ්‍යාසවලින් ලැබෙනුයේ සුළුපටු සහායක් නොවේ. නමුත් ඒ සඳහා නිවැරදි යෝග දර්ශනය පුරුදු පුහුණු වීම අවශ්‍යය. ඒ නිවැරදි යෝග දර්ශනය ඔබේ ජීවිතයට ළංකර ගැනීමට සමත් වෙතොත් ඔබේ හිතට පුදුමාකාර සහනයක් ලැබෙන බව දිනෙක වැටහෙනු ඇත.
►සටහන: දිශානි ජයමාලි කරුණාරත්න