මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රාදේශීය සභා නගර සභා සඳහා තේරීපත් වූ සභාපතිවරු මන්ත්‍රීවරුන් පිළිබඳව බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය. ඒ අතර පණ්ඩිත නිහාල් යැයි කීවහොත් කවුරුත් හඳුනන කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා පිළිබඳව ද සඳහන් විය.
නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ හිටපු සහ සභාපති පුටුවට හිමිකමක් කීමට අවස්ථාව අඩුවෙන් පැවති අයට ද පහසුවෙන් එම පුටුව හිමිවූවා සේම කිසිවෙකු නොසිතූ දේශපාලන ක්‍රියාකාරීන්ට ද මන්ත්‍රී ධූර හිමි විය.
ධනය, බලය, උගත්, නූගත්, බුද්ධිමත්, කුල මල, ජාති ආගම් භේදවලින් තොරව මහජන නියෝජිතයන් සහ නියෝජිතවරයන් තේරීපත්වීම ද මෙවර පළාත් පාලන මැතිවරණයේදී වූ විශේෂත්වයකි. අ.පො.ස සාමාන්‍ය පෙළ හදාරා නොමැති මැතිඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ උසස් තනතුරු හොබවන බව අසන්නට ලැබෙද්දී දේශපාලනයට උගත්කම අත්‍යවශ්‍ය සුදුසුකමක් නොවන බව සමහරු කියති.
පෙදරේරු වෘත්තියෙන් සහ වඩු කර්මාන්තය පිළිබඳ සහතික ද ලබා වසර තුනක කාලයක් විදේශීය රටේ ද මෙම වෘත්තියේ නියැලි ඒ පිළිබඳ හසල දැනුමක් ඇති වයස අවුරුදු පනස් හතරක් වූ නිහල් ජයසිරි බණ්ඩාරට සභාපතිවරයා ලෙස තේරීපත්වන්නට අවස්ථාව හිමිවූයේ වසර 20 පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස සිට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමෙනි. සභාපතිවරයා හමුවීමට ප්‍රාදේශීය සභාවට අපට යාමට සිදුවූයේ පුත්තලම අනුරාධපුර මාර්ගයේ හතේ කණුව මීඔය ආසන්නයේ වන අලි ගැටීමෙන් අනතුරු රැසක් සිදුවූ අලිමංකඩ ප්‍රදේශයට විදුලි පහන් සවිකරන ලෙස දැනුම් දීමටය.
ඇත/නැත දැන්වීම් පුවරැවේ ඇත යැයි සඳහන් වුවද සභාපති පුටුව හිස්ව තිබීම හේතුවෙන් කළ විමසීමේදී සභාපතිවරයා සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල පිටුපස කොන්ක්‍රිට් දමන බව දැනගන්නට ලැබිණි.
අප එහි යන විට දැකගැනීමට හැකිවූයේ සභාපතිවරයා සිමෙන්ති මිශ්‍රකරමින් සිටින ආකාරයයි. සරමට උඩින් රෙදිකඩක් බැඳ මේසන් බාස් කෙනකු ලෙස කටයුතු කරද්දී සභාවේ සේවකයන් ද ඔහු හා උරෙන් උර ගැටී එයට සහාය දෙන ආකාරය දැකීම සතුටු දනවන්නක් විය.
සභාපතිතුමා සමහර දේශපාලනඥයෝ වගේ ඔබතුමත් ජනප්‍රිය වෙන්න කරන රඟපෑමක් ද එහෙම නැත්නම් පරණ පුරුද්ද අත්හැර ගන්න බැරුව ගිහිල්ලද?
මීට ඉස්සර කැඩිච්ච පාලමක් හැදුවා මමයි අපේ සේවකයො කිහිපදෙනකුයි එකතුවෙලා. ඒකට කුලියක් ගෙවන්න ගියානම් රුපියල් විසිපන්දාහක් විතර යනවා. මේ කරන්නේ සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල වටේ මෙතෙක් කාලෙකට නොතිබුණු පිල හදන එක. මේක සල්ලි ගෙවලා කරන්න ගියා නම් ලොකු මුදලක් යනවා. මම දන්න දේ කරන එකේ වැරැද්දක් තියෙනව ද? සභාපතිවරයා විමසුවේ සිනාමුසු මුහුණින්ය.
බොහොම හොඳයැයි කියමින් එතැනින් පිටව ගියද පසු දිනයේදී දුරකථනයෙන් ඔහු හා සම්බන්ධ වී කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන්නේ මේ ආකාරයටය.
සභාපතිතුමා ඔබ කළේ ආදර්ශමත් වැඩක් දිගටම ඔය වගේ වැඩ කෙරෙයිද?
එහෙම තමයි බලාපොරොත්තුව.
පණ්ඩිත නිහාල් කියන්නෙ ඇයි?
ඒක අපේ තාත්තාට කියපු නමක්. වැඩක් කළොත් ඒ වැඩේ හරියට කරන්න ඕනෑ ඒ කාලේ තාත්තට. ඒ නිසා පණ්ඩිතයා කියලා කිව්වා. මම පස් දෙනෙකුගෙන් යුත් පවුලේ පළමුවැනියා. තාත්තට කියපු නම එහෙමම මටත් පටබැඳිලා තිබෙනවා. හැබැයි මම පණ්ඩිතයෙක් නෙවෙයි.
ඔබ අවුරුදු ගණනකට ඉස්සෙල්ලා පාරක් බාගෙට හදලා ඒකෙන් යන්න එපා කියලා පාරේ බුදිය ගත්තා කියලා කියනවා මොකක්ද ඒ?
මිනිස්සු මඩගහන්න එක එක දේවල් කියනවා හැබැයි එහෙම දෙයක් වුණේ නැහැ. අවුරුදු දහතුනකට ඉස්සරලා මම පාලමකට කොන්ක්‍රිට් එකක් දැම්මා. එහෙම උණාම ඒක උඩින් යන්න බැහැ. කැඩෙනවා. පාරක් නම් අයිනෙන් යන්න පුළුවන්. පාලම උඩ කොන්ක්‍රිට් එක තදවෙනකම් මම බූරු ඇඳක් පාලම උඩ හරහට දාලා නිදිය ගත්තා. එහෙම කරපු නිසා තමයි තාමත් ඒ පාලම හොඳට තියෙන්නේ. මිනිස්සු අදටත් ඒ පාලම භාවිත කරනවා.
ඔබ සභාපති කෙනෙක් වෙලා ඔය පුටුවට වෙලා ලස්සනට ඉන්න පුළුවන්නේ. මේසන් වැඩ කරන එක අඩුවක් කියලා දැනෙන්නේ නැද්ද?
මට වාඩිවෙලා කරන්න ලොකු වැඩක් නැහැ... මම දන්න වෘත්තිය වැඩක් මගේ සභා බල ප්‍රදේශයේ තියෙනවනම් මට පුළුවන් වෙලාවට සභාවේ අයගේ සහාය අරගෙන එකතුවෙලා කරන්න උත්සහ කරනවා. එතකොට පඩියක් ගෙවන්න වෙන්නෙ නෑ. ඒකත් සභාවට ඉතුරු වෙනවා. සමහර අය හිතනවා මම ෂෝ පෙන්නන්න හදනවා කියලා. නමුත් මම කරන දෙයින් සභාවට ආර්ථික වාසියක් තියෙනවා. මම කරන්නේ මුදල් වියදම් කරලා කරන්න තියෙන වැඩ අපේ ශ්‍රමයෙන් අපිම කරන එකයි. මගේ සභාවේ සේවකයෝ හොඳයි. කම්මැලි නැහැ. මම වැඩ කරන විට එයාලත් වැඩ කරනවා. අර කතාවකුත් තියෙනවනේ ගස හොඳ නම් ඵල හොඳයි කියලා. මටත් හිතෙන්නේ මම හරියට හිටියොත් අනිත් අයත් ඒ විදියට හැඩගැසෙයි කියලා.
ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ කරන වැඩවලින්?
මම හොඳ සිංහල බෞද්ධයෙක්. මගේ තාත්තා සසුන්ගත වෙලාඉඳලා අපවත් වුණා. මැරෙන මිනිහෙක් විදිහට මට ඕනෑම වැඩක් කරලා මැරෙන්න පුළුවන්. මගේ දුවයි පුතයි බැඳලා මට කරදරයක් නැහැ. මමයි නෝනයි අම්මයි තමයි ගෙදර ඉන්නේ. මගේ එකම බලාපොරොත්තුව ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන්න.
සභාපතිතුමා මම සභාවට ආවේ මීඔය ළඟ අලි මාරු වන ස්ථානයට වීදි ලාම්පු කිහිපයක් දාන්න කියන්න කරන්න පුළුවන්ද?
මම ලබන සතියේ ඒකට විදුලි ලාම්පු 5ක් දාලා දෙන්න කටයුතු කරනවා.
ඔබ කොපමණ දුරට ඉගෙන ගෙන තියෙනවද?
ඒ ගැන කතා කරනකොට හරිම දුකයි. මට ඇඬෙනවා. ඒ කාලයේ අපේ මව්පියන්ටත් හරිහමන් රස්සාවක් තිබුණේ නැහැ. පවුලේ බර කරට ගන්න වුණේ මට. ඒ නිසා මට වැඩිදුර ඉගෙන ගන්න බැරි වුණා. නමුත් මම ඉගෙන ගත්ත ටික මට ඇති. මට තනියම හිතලා වැඩ කරන්න කරන්න පුළුවන්. මේ රටේ උගතුන් එක්ක කරට කර වැඩ කරන්න හැකියාවක් මට තියෙනවා. මේ ලෝකය ජයගත් සාර්ථක හැම මිනිහෙක්ම උගතුන් නොවේ බුද්ධිමතුන් කියලා මම අහලා තියෙනවා. මට තියෙන බුද්ධියෙන් මම මේ තරමට කරගෙන යන්නේ මම බලාපොරොත්තු වෙනවා කරුවලගස්වැවට ලොකු සේවාවක් කරන්න.
වැඩ කරන්න යෝධ ශක්තියක් සහයෝගය දෙන්න සෙවනැල්ල වගේ මගේ සභාවේ චන්ද්‍රරත්න හේරත් ලේකම්තුමා ඉන්නවා. මම නොදන්නා දෙයක් තිබෙනවා නම් එයාගෙන් අහනවා. එයත් එහෙමයි. අපට එකතු වෙලා ඕනෑ දෙයක් කරන්න පුළුවන්. අපේ අඩුපාඩු තිබෙනවා නම් කීවොත් අපි හදාගෙන ඉදිරියටම යනවා.
►පුත්තලම - රෝවන් පෙරේරා