2018 ජුනි 30 වන සෙනසුරාදා

කට්ටඬි රාළ

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 463

කට්ටඩි රාළ ගමේ හැමදෙනාටම ඕනෑ කරපු චරිතයක්. එයාගෙන් ගැමියන්ට සිද්ධවෙච්ච සේවය ඉතාම ඉහළයි. ගමේ අයට යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ ආදී අමනුස්සයන්ගෙන් වින්නැහි ඇතිවුණාම ඒ ජීවිත බේරලා දෙන්ඩ ඉදිරිපත් වෙන්නේ කට්ටඩි රාළයි. මෙයාට වැඩි ගරුසරුවට කට්ටඩි මහත්තයා කියලත් කියනවා.

ගම්මුන්ට අමනුස්ස අපල උපද්‍රව ඇතිවුණාම කට්ටඩි රාළගෙන් නූලක් ජීවන් කරලා දාන්ඩ පුරුදු වෙලා තිබුණා. ගමට උපද්‍රව කරපු යක්කු අතර ප්‍රධාන වුණේ මහසොහොනා, කළු යකා, ඔඩ්ඩි යකා, රීරි යකා, මදන යකා වාගේ බලගතු එවුන්. යක්ෂ දිෂ්ටිය වැටුණම ගමේ අයට කරන කිසිම දෙයක් යා දුන්නේ නැහැ. ලෙඩරෝග වසංගත පැතිරිලා මිනිස්සු ලෙඩ්ඩු වුණා. මහ රෑ යක්කුන්ට බයවෙලා කෑගැහුවා. සිහි විකල් වුණා. වැඩියෙන්ම තනි පංගලමේ රෑ කාලෙ ගමන් බිමන් යනකොට, සොහොන් පිට්ටනි පහුකරන කොට, පාළු පාරවල තනි පංගලමෙ ගමන් කරද්දි යක්කුන්ට බයවෙලා කලන්තෙ දාලා වැටිච්ච අය, බයවෙලා දුවපු අය, වත්මත්වෙලා නන්නත්තාර වෙච්ච අය හැම ගමකම වාගේ හිටියා. මෙහෙම සිද්ධි ආරංචි වුණාම මුළු ගමම බයෙන් බිරන් තට්ටුවෙලා තමන්ගෙ එදිනෙදා කටයුතු කරගන්න බැරිවුණා.

වැඩියෙන්ම කාන්තාවන්ට වැහුණෙ කළු කුමාරයා. මෙයාට කළු යකා කියලත් කියනවා. ළිංතොට පැන්තොට වගේ තැන්වල තනි පංගලමෙ යන ගැහැනුන්ට බැල්ම දාන එක කළු යකාගෙ පුරුද්දක්. කළු යකාගෙ බැල්මට - ඇල්මට අහුවුණු ගැහැනු සදාකාලික ලෙඩ්ඩු වුණා. කවදාවත් කසාදයක් හරි ගියේ නැහැ.

ඒ වගේම තමා පෙරේතයො වැහුණම මුළු ගෙදරම වාසය කරන්ඩ බැරි තැනට කටයුතු සැලසුණා. පෙරේත ගඳ මුළු ගෙදරම පැතිරුණි. පිඟන් කෝප්ප උඩින් පියැඹීම, බත් හැලිවලින් බත් ගත්ත ඇඟිලි පාරවල් තිබිල්ල, වහළෙට ගල් වැටිල්ල වගේ ගෙදර ජීවත් වෙන්ඩ බැරි දේවල් සිද්ධවුණා.

ඉතින් මේ හැම වින්නැහියකදීම ගම්මු බේරාගන්ඩ ඉදිරිපත් වුණේ කට්ටඩි රාළයි. එයා හොයන්ඩ නොගියත් මිනිහා ආරංචියට ආවා. යක්කු පෙරේතයන්ට දොළ පිදේනි තටු දීලා අල්ලලා කුප්පියක දාලා ගඟේ මූදෙ දැමිල්ල, කප්පටක ගැටයක හිරකරලා දුර ගිහින් දැමිල්ල වගේ දස්සකම් කරලා ආතුරයො බේරලා දුන්නා. අමනුස්සයො පන්නන්ඩ ලොකු තොවිල්, යාග කරන්ඩ ඕනෑවුණාම ඉස්සෙල්ල පොඩි තාන්තුවාවක් කරලා මාස තුනකට හයකට විතර ඇප නූලක් දාලා පස්සෙ ලොකු තොවිලයක් කරලා වින්නැහි කරපු එවුන් එළවලා සහනය සැලසුවා.

ඒ කාලෙ ගමේ පොඩි ලෙඩක් දුකක් වාගෙම වසංගතයක් බෝ වුණත් ඉස්සෙල්ලම දුවල ගියේ වෙද මහත්තයා ගාවට නොවෙයි කට්ටඩි උන්නැහැ හොයාගෙන. කසාය වඩි ගණන් බොනවට වැඩිය නූලක් බැඳලා සනීප කරන්න පුළුවන් ලෙඩ තිබුණා. ඒ හින්දා වෙද මහත්තයාටත් වැඩියෙන් කට්ටඩි උන්නැ විශ්වාස කළා.

මේ අතරෙ සමහර කට්ටඩි උන්නැහැල තාන්තුවාවට ආපුවාම රෑ තිස්සෙ නිදි මරන්න ඕනෑ හින්දා හීන් අඩියක් ගහන්ඩ පුරුදු වෙලා හිටියා. අරක්කු බෝතලයක් හරි සුදුවා බෝතලයක් හරි කට්ටඩි උන්නැහැට ඔප්පු සිද්ද කළේ ආතුරයගෙ ගෙදර අයයි. ඉස්සර අපේ ගමේ හිටියා සොච්චං කට්ටඩි රාළ කියලා කට්ටාඩියෙක්. එයාට සොච්චං කට්ටාඩි රාළ කියලා කිව්වෙ ගුරුකම්වලට ගාස්තුවට ගත්තෙ ඉතාම සොච්චං මුදලක් හින්දයි. එදා රෑ මල් බුලත් පුටුව හෙම ජයට හදාගෙන පහන් පත්තු කරගෙන කට්ටඩි රාළ කාමරේ මුල්ලේ වැඩේ පටන් ගත්තා. මල් බුලත් පුටුව යට තිබ්බෙ බෝතලෙයි වීදුරුවයි. ඉතින් කට්ටඩි රාළ නිදිමත හැදෙන කොට මේකෙන් පොඩ්ඩ පොඩ්ඩ බොන ගමන් මැතිරිල්ල කරගෙන ගියා. දැන් රෑ එකට දෙකට විතර ඇති. ගෙදර මනුස්සයා මල් බුලත් පුටුව තියෙන තැනට ගියාම දැක්කෙ අරුම පුදුම මැතිරිල්ලක්. කට්ටඩි රාළ නූල වෙනුවට මතුර මතුරා හිටියෙ එතන ඉලත්තට්ටුවෙ තිබුණු දුම්කොළේට. කට්ටඩි රාළට පදම වැඩිවෙලා නූලයි දුම්කොළෙයි හොයාගන්ඩ බැරිවෙලා. අන්තිමට සිද්ධවුණේ කට්ටඩි රාළට මැතිරිල්ල පැත්තක තියලා ගෙදර මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරිලා යන්ඩයි.

එදා ඉඳලා ගමේ මිනිස්සු සොච්චං කට්ටඩියාට කිව්වෙ දුම්කොළ කට්ටඩියා කියලයි. එහෙම වුණත් මිනිහගෙ ගුරුකම් නම් කිරිගහට ඇන්න වගේ හරි ගියාලු.

යසවර්ධන

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00