2018 ජුනි 30 වන සෙනසුරාදා

මිනිසුන් හිරේ දමන රාහු-කුජ-සෙනසුරු!

 2018 ජුනි 30 වන සෙනසුරාදා, ප.ව. 06:00 1600

ගල් යුගයේ විසූ මිනිසා බුද්ධියේ බල මහිමයෙන් ක්‍රමයෙන් දියුණුවීමත් සමඟ සාදාචාර සම්පන්න සමාජයක් වෙනුවෙන් කිසියම් නීති රාමුවක් තුළ ජීවත් වන්නට ඔහුට සිදුවිය. මොනයම් හෝ විදියකින් නීති උල්ලංඝණය කරන පුරවැසියෙක් වේ නම් නීතිය ක්‍රියාත්මක කොට වැරදිකරු සිරගත කිරීම සිරිතයි. ඒ අනුව කිසියම් පුද්ගලයෙක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා නම් හෝ දරුණු ලෙස මිනී මරමින් හෝ හොරකම් හෝ වෙනයම් නීති විරෝධි ලෙස සාපරාධී ක්‍රියාවක නිරතවනවා නම් ඔහුව අත්අඩංගුවට ගැනීම ද නඩු පැවරීම ද සාමාන්‍යයෙන් රටේ කරගෙන යන ක්‍රියාදාමයයි. කිසියම් කෙනෙකුට යම් දිනක අත්අඩංගුවේ පසුවන්නට සිදුවෙනවා නම් එම පුද්ගලයාගේ ඡන්ම පත්‍රයෙන් ඒ බව කල්ඇතිව දැනගැනීමට ජ්‍යොතිෂ්‍යශාස්ත්‍රීය ක්‍රමවේදයෙන් අවස්ථාව සලසා තිබේ.

කෙනෙකුගේ ආවේගශීලීත්වය නිසා නා නා විධ අපරාධවලට යොමුවන අතර මත්පැන් හා නොයෙකුත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී නීතිය ඉදිරියේ වරදකරැ බවට පත්වී සිරදඬුවම් විදින අයද සිටිති. එසේම අවේගශීලී වූ අවස්ථාවලදී භාවිත කරන වචන නිසාද සිරදඬුවම් විඳීමට සිදුවන අවස්ථා ඇත.

ජීවීන් තුළ ප්‍රචණ්ඩත්වය හා ආවේගශීලීත්වය පිළිබිඹු කරන්නේ කුජ හෙවත් අඟහරු ග්‍රහයාගෙනි. සෑම ඡන්මියෙකුගේම උපන් මොහොතේ කේන්දර සටහනේ කිනම් හෝ භාවයක කුජ ග්‍රහයා තැන්පත්වී ඇති නිසා ආවේගශීලී බව හා ප්‍රචණ්ඩත්වය සමඟ බලපෑම් කුජ ග්‍රහයා පිහිටන ස්වභාවය මත අඩු වැඩි වශයෙන් පුද්ගලයා තුළින් විද්‍යාමාන වෙයි. එසේම රාහු ග්‍රහයාගේ බලපෑම කුජ ග්‍රහයා වෙත එල්ලවීමෙන් ආවේගශීලී බව ප්‍රචණ්ඩත්වය හා කෝපය ජන්මියා තුළ ක්ෂණිකව ඇතිකරන්නට සමත් වෙයි. කේතු ග්‍රහයා සහ කේතු ග්‍රහයා තැන්පත් භාවයේ අධිපති ග්‍රහයා මෙන්ම සෙනසුරු ග්‍රහයා ද ජන්මියා වධ බන්ධනවලට ලක්වීම සලසා දෙයි. එසේ වන්නට එම ග්‍රහයින්ට රාහු හා කුජ ගේ අහිතකර තත්ත්වයන් ගේ දායකත්වය ද සපයයි.

කේන්දරයේ 12 වෙනි කොටුව ජන්මියෙකු බන්ධනාගාර ගතවන්නට බලපාන භාවයයි. තමා බන්ධනාගාරගත කරන්නට නම් චෝදනා ඉදිරිපත් කරන්නට සතුරෙකු අවශ්‍ය නිසා ඔහුගේ ජන්ම පත්‍රයේ 12 වැන්නෙන් සප්තමය වන 6 වෙනි භාවය තුළින් තම සතුරැ පාර්ශවය පෙන්වයි. සතුරාගේ වික්‍රමය හෙවත් ක්‍රියාත්මක භාවය තුන්වැන්න නිසා 6 වැන්නෙන් තුන්වැන්න වන කේන්දරයේ 8 වැන්නෙන් ඒ බව කියවෙයි. ජන්මීන්ගේ කේන්දර සටහනේ 6, 8, 12 යන භාව තුන දුෂ්ට ස්ථාන ලෙස හඳුන්වයි. එම භාවයන් ජන්මීන්ට අහිතකර තත්ත්වයන් ඇතිකරන්නට උදව් දෙන භාව හැටියට ජ්‍යෙතිෂයේදී හඳුන්වා දී තිබේ. ඕනෑම ක්‍රියාවකට මූලික වන්නේ සිතයි. එහෙයින් සිත ගැන කියවෙන සඳුග්‍රහයා සහ කේන්දරයේ 4 වැන්න හා ලග්නය ද ඉහත කරුණු කෙරෙහි ද අවධානය යොමුකරන්නට සිදුවෙයි. එම භාවයන් හා සඳු පමණක් නොව ගුරැ ග්‍රහයාගේ ද බලපෑම් නිරීක්ෂණය කිරීමෙන් ජන්මියාගේ තරාතිරම හා බුද්ධිමය තත්ත්වය ගැනද මනා දැනුමක් ලබාගැනීමට හැකිවෙයි. එපමණකුදු නොව 5 වැන්න, 9 වැන්න ආදී භාවයන් හා එහි අධිපතියන්ගේ ස්වභාවය මත පුද්ගලයා ගැන මනා අවබෝධයක් ද ලබාගැනීමට පුළුවන් වේ.

මහා අපරාධකරුවන් මීනි මරැවන් මෙන්ම මංකොල්ලකරුවන් ස්ත්‍රී දූෂකයින් හා නොයෙක් මාදිළියේ අපරාධකරුවන් සේම මහා බලපරාක්‍රමයෙන් හෙබි උගත් බුද්ධිමත් ජනප්‍රිය හා සුප්‍රසිද්ධ මෙන්ම දැහැමි ජීවිත ගතකරන අයත් රට ජාතිය වෙනුවෙන් ආවේගශීලීවීම නිසා ද බන්ධනාගාර ගතවන බව අපට දකින්නට අසන්නට ලැබේ. එහෙයින් ඉහත සඳහන් කාරණා කෙරෙහි අවධානය යොමුකර ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් මනා ලෙස ඒ බව අවබෝධ කරගැනීමට හැකිවනු ඇත.

නීතිය යනු සමාජයේ නිර්මාණයකි. රටක් පාලනය කරන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත නීති සම්පාදනය කිරීම සිදුවෙයි. අස්ගිරි සංඝ සභාවේ අනුනායක ධුරය දැරූ අතිපූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි 1815 උඩරට ගිවිසුමට එරෙහිව රට ජාතිය වෙනුවෙන් ආවේගශීලීව විරෝධය පාන්නට යෑම නිසා බන්ධනාගාර ගතවූ හිමිනමකි.

විජය කුමාරතුංග මහතා නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් මාසයේ දී සිරභාරයට ගන්නා ලදී. ඉතාමත් ජනප්‍රිය චරිතයක් වූ එතුමා බන්ධනාගාර ගතවීම සඳහා උපන් ග්‍රහචාරය එතුමාගේ ජන්ම පත්‍රයෙහි ඉතා මැනවින් පෙන්වා දෙයි.

මේ එතුමාගේ ජන්ම පත්‍රයයි.

ඉතාමත් විශිෂ්ට ගණයේ චරිතයක් බව කියවෙන ඔහුගේ මෙම කේන්දර සටහනින් බොහෝ නිහතමානී බුද්ධිමත් හා අහිංසකයින් වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා ආවේගශීලීව ක්‍රියාත්මක වන චරිතයක් බව පෙන්නුම් කරයි. එතුමා වඩාත් ජනප්‍රිය වන්නේ 1980 වර්ෂයේ ලැබූ බුධ මහ දශාවත් සමඟයි. රාහු කේතු තැන්පත් භාව අධිපතියන් වන ගුරු හා බුධ ග්‍රහයින්ගේ සංයෝගය තම අරමුණ මුදුන්පත් කරගැනීම සඳහා ජන්මියාව යොමු කරවන පිහිටීමකි. නමුත් සෙනසුරැගෙන් හා කුජ ග්‍රහයාගෙන් එම සංයෝගයට දක්වන දෘෂ්ටිය ඔහුට මහ විනාශයක් ඇතිකරන්නට ද මඟපදා දෙයි.

1982 නොවැම්බර් මාසයේ දී ඔහුව අත්අඩංගුවට පත්විය. 6 වැන්න 8 වැන්න හා 12 වැන්න අධිපතියන් පිළිවෙළින් කුජ, ශනි හා සිකුරැයි. 6 අධිපති කුජ ග්‍රහයා රාහු සමඟ ලග්නයේය. එය ප්‍රබල සතුරන් ඇතිකිරීමටත් ක්ෂණිකව ආවේගශීලීවන්නටත් ජන්මියාව පොළඹවයි. 8 අධිපති සෙනසුරු 8 වැන්න දකිමින් සිටින අතර 12 වැන්න අධිපති සිකුරු පාප පීඩිතයි. බුධ ග්‍රහයා කුජගේ නැකතේ බැවින් කොතරම් ජනප්‍රිය වුවත් එය ජන්මියාගේ නිදහසට ප්‍රබල පහරක් විය. 1982 නොවැම්බර් මාසයේ දී රාහු සහ කුජ ග්‍රහයින් දෙදෙනා සම සප්තමව ගෝචරය වීම ඔහු බන්ධනාගාර ගතකරන්නට සිදුවන තරම් දරුණු ග්‍රහචාරය ඇති කිරීමට සමත් විය. වයස 37 සම්පූර්ණ වන 1982 වර්ෂයේ වර්ෂපල් ජ්‍යෝතිෂ්‍යයට අනුව බන්ධන අධිපති ග්‍රහයා සහ වර්ෂ උදා ලග්නාධිපති හා වර්ෂාධිපති සමඟ පිහිටි යෝගවලට අනුව ද එතුමා අත්අඩංගුවට පත්වන බව පෙන්වා දෙයි.

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00