2017 ජනවාරි 28 වන සෙනසුරාදා

බැඳුංකරේ

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 156

 

දිගු කලක් විදේශගතව සිටි මගේ සොහොයුරියකගේ කුඩා දියණියගේ සිංහල දැනුම තරමක් දුර්වලය. දැන් ලංකාවේ පාසලකට යන ඇය ඊයේ පෙරේදා මගෙන් බරපතළ ප්‍රශ්නයක් ඇසුවාය.

ලොකු මාමා බැඳුම්කරය කියන්නෙ මොකටද?

මහාමාරිය, වසූරිය, පිළිකාව වැනි වචනයක් ඇසූ කලක ඇතිවන්නාක් බඳු හැඟීමකින් මගේ මුහුණ වෙනස් වී ගියේය. ඒ බව දුටු දියණිය ද අපහසුතාවට පත්වූවාය.

ඇයි ඒක නරක වචනයක්ද?
නෑ නෑ ඒ හැටි නරකම නෑ.
මම ඒක ඇහුවෙ ටී.වී එකෙන්.

ඒකෙනං ඔයිට වැඩිය දේවලුත් කියනවනෙ දුවේ. ඉතින්, ඇයි මේ හදිස්සියෙම ඔය වචනෙ ගැන ඇහුවෙ?

සමහර වෙලාවට, අපේ සිංහල ටීචර් ඔය වගේ බර වචනවල තේරුම් අපෙන් අහනවා.

නෑ දැන්ම නං ටීචර් ඒ ගැන අහන එකක් නෑ. ඒ මොකද දන්නවද,  අපේ ලොකු ලොක්කොවත් බැඳුම්කරේ ගැන තාම හරියට දන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන හොයල බලල වාර්තාවක් හදන්න කියලා කොමිසමක් පත් කරලා තියෙන්නෙ.

ඒ ඇසූ කුඩා දියණිය සැනසුම් සුසුමක් හෙළමින් පාසල් බෑගය අස්කරන්නට වූවාය. (මෙම පාසල් බෑග් පිළිබඳව ද යමක් කිව යුතුය. අනාගතයේ දී අප රටෙන්, බර ඉසිලීමේ ඔලිම්පික් තරග ඉසව්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණන් බිහිවිය හැකි බවය. නොඑසේනම් වකුගඩු රෝගීන්ට මෙන්, කොන්දේ අමාරුකාරයන්ටද සෑම රෝහලකම විශේෂ වාට්ටු පිහිටුවාලීමට සිදුවනු ඇත. දැන් කාලේ ලංකාවේ පාසල් ළමයකුගේ පොත් මල්ල, තේ කූඩයකටත් වඩා බරය. මාරකට්ටුවේ නාටාමිලාත්, පාසල් ළමයිනුත් අතර ලොකු වෙනසක් නැත.!)

නැවතත් බැඳුම්කර ප්‍රශ්නය දෙසට හැරෙමු. එම කොමිෂන් සභාවේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් රජය අදාළ සියලු අංශවලින් ඉල්ලා  සිටින බවක් ද මාධ්‍ය තුළින් වාර්තා කෙරුණි. මාධ්‍යවේදියකු වශයෙන් මටද එය අදාළයැයි සිතූ බැවින්, වහාම බැඳුම්කරය පිළිබඳ කරුණු සොයන්නට වීමි. මෙබඳු බොහෝ ප්‍රශ්නවලදී මට පිහිට වන්නේ සුමංගල හිමි, මහාචාර්ය මලලසේකර හෝ හරිශ්චන්ද්‍ර විජේතුංගය. ඇතැම් විට කාටර් මහතා හෝ ජුලියස් ලැනරෝල් මහතාද මට පිහිට වෙයි. මේ සියලු දෙනාම ශබ්ද කෝෂ සම්පාදකයන් බව ඔබ දනී.

මුලින්ම මම, බැඳුම්කරය හා සමාන ස්වරුපී වචන සොයන්නට වීමි.

වන්නිකරේ, ගොඩකරේ, සින්නක්කරේ, හැන්දෑකරේ, ආසියාකරේ, මුහුදුකරේ, හැතිකරේ යනාදී වශයෙන් බොහෝ වචන මගේ සටහන් පොතට එක්වන්නට විය.

ඉන්පසුව, බැඳුම්කරේ අවුල්කරේ කවුදැයි ලිපියක් ලිවීම සඳහා කරුණු සොයන්නට වීමි. සාමාන්‍යයෙන්, රටේ ප්‍රශ්නවලදී මා මුලින්ම අදහස් විමසන්නේ රතු සහෝදරවරුන්ගෙනි. ජාත්‍යන්තර ප්‍රශ්නවලට පවා ඔවුන් ළඟ පිළිතුරු ඇත.

මා මුලින්ම කතා කළේ රතු නායක සහෝදරයාටය. ඔහු මහත් ප්‍රීතියෙන් පසුවන බවක් මට හැඟුණි. (සාමාන්‍යයෙන් ඔවුන් නිතරම සිටින්නේ කනස්සල්ලෙනි. දුක්මුසුවය.)

සහෝදරයා අද බොහොම සන්තෝසෙන් වගේ? ඒකට විශේෂ හේතුවක් තියෙනවද? විවාහ සංවත්සරේවත්ද?

හේතුව මේකයි. සීමා නිර්ණය කිරීමේ කොමිසමේ සභාපති සහෝදරයා අපේ ස්ටේජ් එකට නැග්ගනෙ!

ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසිය? ඔයිට කලින් මායාදුන්නේලත් ඇවිත් මාරුවුණානෙ.

ඒක අපේ පක්ෂෙ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. ඉන්න අයට වැඩියි ගිය අය.
මෙතුමා කොච්චර කාලෙකටද දන්නෑ?
නෑ නෑ මේක හොඳ ආරම්භයක්. දිගින් දිගටම රාජ්‍ය ස්වකයො, කොමිෂන් සභාපතිවරු, සංස්ථා සභාපතිවරු, දිසා ලේකම්ලා අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ගන්නවා. අපි මේ සැරේ විප්ලවය කරන්ඩ යන්නෙ ඒ විදිහට.

උසස් නිලධාරින්ගෙ සහයෝගයෙන්? ජන වරමක් නැතුවම?

ඒක ජන වරමක් තමයි. නිලධාරි සහෝදරවරු කියන්නෙත් ජනතාවගෙ කොටසක්නෙ. අපි ඒගොල්ලන්ගෙ සහයෝගයෙන් මේ ධනේශ්වර ආණ්ඩුව පෙරළනවා.

එතකොට ඒක විප්ලවයක්ද? කුමන්ත්‍රණයක්ද?
මම ඒකට උත්තරයක් දෙන්නම්, මධ්‍යම කාරක සභාවත් එක්ක සාකච්ඡා කරලා.
අවසාන වශයෙන්, මම රතු සහෝදරයාගෙන් බැඳුම්කර අවුල ගැන විමසුවෙමි.

ඒක ආණ්ඩුවෙ කස්ටියගෙ තිර පිටපතක්. අධ්‍යක්ෂණයත් එයාලමයි කළේ.
ඒ කියන්නෙ මේකත් බයිස්කොප් එකක් වගේ වැඩක්?
ඔව්. කඩවුණු පොරොන්දුව දෙවැනි කොටස. 

එසේ කියූ රතු සහෝදරයා, දුරකථන සංවාදය නිම කළේ, ආණ්ඩුවේ උසස් නිලධාරියකු සමඟ රහස් සාකච්ඡාවකට යාමට තිබෙනවායැයි පවසමිනි.

ලිපිය සාරවත් කිරීම සඳහා, පොදු ජනතාවගේ අදහස් ද එක් කිරීම වැදගත්යැයි සිතූ මම රෙකෝඩරයද රැගෙන ටවුමට ගියෙමි. පොල් කඩේ සයිමන් වෙත ගිය මම, මෙසේ ඇසුවෙමි.

සයිමන් අයියා, බැඳුම්කරේ ගැන මොනවද හිතන්නෙ?
අනේ මට තේරුමක් නෑ මහත්තයො. ආණ්ඩුවෙ හැම වැඩක්ම එහෙමනෙ. අපිට තේරෙන්නෙ නෑ.
ඇයි එහෙම කියන්නෙ. මොකද්ද වරද?
 මොකක්ද අර කරන්ඩ ගිය වැඩේ. සමලිංගික පනතක්ද මොකක්ද සම්මත කරගණ්ඩ ගියෙ.
එසේ කියමින් සයිමන් ඉවත බලාගත්තේය. ඒ අතර, ඩාවෝස් සමුළුවට සහභාගි වී පැමිණි, ඇමැතිවරයෙක් මට දුරකථන ඇමතුමක් දුන්නේය.

මිත්‍රයා! හොඳ නිව්ස් එකක් තියෙනවා. චීනෙන් අපේ රටේ වොක්ස් වැගන් කාර් ගන්න කැමැත්ත පළකරලා තියෙනවා! අපි ගොඩ! හැබැයි එක කොන්දේසියක් තියෙනවා. නම වෙනස් කරන්න ඕනෙ චොං චෑං කියලා!

ඉතින් එකඟ වුණාද?
මේ මොනව අහනවද? අනාගතේදි ලංකාවෙ නම වුණත් ලංකිං වෙන්න බැරි නෑ!

♦ කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00