2018 ජුලි 07 වන සෙනසුරාදා

හිතුමතේ බෙහෙත් ගන්න එපා

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 339

වෛද්‍ය ක්‍රමයකදී තිබිය යුතු ප්‍රධානම දෙයක් වන්නේ රෝග සඳහා ඖෂධ තිබිය යුතු වීමයි. ඖෂධ යන වචනය සංස්කෘතික වචනයකි. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව එය මෙඩිසින් ලෙසින් හැඳින්වේ. ඖෂධයක් යනු රෝගයක් ශරීරයේ ඇති වූ විට එය නතර කරලීමට හෝ වළක්වා ගැනීමට ප්‍රතිකාරයක් සදහා භාවිතා කරන දෙයකි. එය රෝගියා විසින් හිතුමතේ භාවිත කරන දෙයක් නම් නොවේ. ඒ සඳහා යම්කිසි ප්‍රමිතියක් තිබිය යුතුය. ඖෂධ කෙනකුට ඕනෑ තරමට, වුවමනා වේලාවට ලබා දීමට නොහැක. රෝගයට අදාළව ඒ සඳහා නිසි ප්‍රමිතියක් තිබිය යුතුය. ඖෂධයක් යනු ඒ රෝග අවස්ථාවට අනුව සංස්කරණය කොට නිෂ්පාදනය කළ දෙයකි.

පුද්ගලයකුගේ ශරීරයට අභ්‍යන්තර හෝ බාහිරව ඖෂධ ලබා දිය හැක. නමුත් මෙහි ප්‍රතිඵලය ලබා දෙන්නේ ශරීරය තුළටය. ඖෂධයක ප්‍රධානම දේ වෙන්නේ මාත්‍රාවයි. ඖෂධ නිෂ්පාදන කරනා විධි කිහිපයකි. ශාඛවලින් සාදන ඖෂධ ආයුර්වේදයේ පවතී. එමෙන්ම පොළොවෙන් ගනු ලබන දේවල්වලින් ද ආයුර්වේදයේ ඖෂධ නිෂ්පාදනය කෙරේ. නමුත් ඒවායේ විෂ නිසියාකාරව නැති කොට නිසි ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය වේ.

එමෙන්ම සත්ව කොටස් ද ඖෂධ සඳහා භාවිත කෙරේ. විශේෂයෙන් මී පැණි, ඇතැම් සතුන්ගේ බඩවැල් වැනි කොටස්වලින් ද, කුකුලාගේ කරමල යොදා ගනිමින් අයුර්වේද තෙල් නිෂ්පාදනය ද කෙරේ. මෙවැනි ස්වභාවික දේ විවිධාකාර සංස්කරණවලට ලක්කොට  ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කෙරේ. එම ඖෂධයේ මාත්‍රාව පිළිබඳව  සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

රෝගියාට දෙනු ලබන ඖෂධ මාත්‍රාව විවිධ කරුණු මත වෙනස් වේ. විශේෂයෙන් වයස අනුව දෙනු ලබන මාත්‍රාව ද වෙනස් වේ. වැඩිහිටියන්ට ලබාදෙන ඖෂධ ප්‍රමාණයම කුඩා දරුවාට දිය නොහැක. ස්ත්‍රී, පුරුෂභාවය අනුව ද ඇතැම් ඖෂධවල ම්‍රත්‍රාව වෙනස් වේ. කාය ශක්තිය අනුව ද මෙම මාත්‍රාව වෙනස් වේ. 

ආයුර්වේදය ඖෂධ ගැනීමේදී පාවිච්චියට ගත යුතු කාලය පිළිබඳවද රෝගියා අවධානය යොමු කළ යුතුය. ඖෂධය දීර්ඝ කාලයක් හිතුමතේට පාවිච්චි කළ නොහැක. ආහාරයක් මෙන් මෙය පාවිච්චි කළ නොහැක. ඒ සඳහා ඒ පවතින රෝග අවස්ථාන නිම වනතුරු පමණක් ගැනීම කළ යුතුය. එසේ නොමැතිව මෙම ඖෂධ දිගින් දිගටම හිතුමතේට ගන්නා විට වෙනත් රෝග තත්ත්වයන්වලට මුහුණ දීමට සිදුවිය හැක. එය තීරණය කළ යුත්තේ රෝගියා නොව රෝගයට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරයා විසිනි.
ආයුර්වේදයට අනුව රෝගියාට විවිධ ක්‍රම මගින් ඖෂධ ලබා දේ. චූර්ණ, ගුලි, කල්ක, ද්‍රව, අරිෂ්ඨ, ආසව යන ආකාරයටත් ඖෂධ ලබා දිය හැක. ඇතැම් ඖෂධ රෝගියාගේ දිවෙහි ආලේප කිරීමෙන් ප්‍රතිකාර ලෙස ලබා දේ. එමෙන්ම තෙල් ආලේපනය ද ආයුර්වේදයේ ඖෂධ ලෙසින් හැඳින්විය හැක. මේවා රෝග සහ රෝග අවස්ථාවන් අනුව වෙනස් වේ. ඇතැම් රෝග සඳහා ඖෂධ බාහිරව ද ඇතැම් රෝග සඳහා අභ්‍යන්තරව ද ලබා දේ. මේ අතර බොහෝ රෝග සඳහා බාහිරව සහ අභ්‍යන්තරව ලබා දීමය සිදු කෙරේ.

ආයුර්වේද ඖෂධවල ගුණාත්මකභාවය ද වෙනස් වේ. ඇතැම් ඖෂධවල මද්‍යසාර ද අඩංගු වේ. නමුත් එය ඖෂධවලට එකතු කිරීමකින් තොරව සංස්කරණය කිරීමේදී නිෂ්පාදනය වේ. අරිෂ්ඨ වැනි වර්ගවල නිෂ්පාදනය කරන විටම මද්‍යසාර ද නිෂ්පාදනය වේ. මේ නිසා එවැනි ඖෂධ හිතුමතේට ගැනීම අති භයානකය. නමුත් මේ ඖෂධ දිය යුතු රෝගය සහ දිය යුතු ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් සහ දැනුමක් වෛද්‍යවරයා සතුව පවතී. මෙම ඖෂධ සමඟ ලබා නොදිය යුතු ඖෂධ ද ඇත. ඒ පිළිබඳව අවබෝධයක් ආයුර්වේද වෛද්‍යවරයා සතුව පවතී.

ආයුර්වේදයේ විරුද්ධ ආහාර හා විරුද්ධ ඖෂධ ලෙසින් හඳුන්වන කොටසක් ද පවතී. එහිදී එක ආහාරයක් සමඟ තවත් ආහාරයක් ගත්විට එය ප්‍රතික්‍රියා කොට ශරීරයට හානියක් වීමටද පුළුවනි. උදාහරණයක් ලෙස ආයුර්වේදයේදී මෙලෙස ප්‍රතික්‍රියා කරන අවස්ථා ඇත. ඒ පිළිබඳව නිසි අවබෝධය ඇත්තේ වෛද්‍යවරයා සතුය.

වර්තමානයේදී බොහෝ දෙනා හිතුමතේට ආයුර්වේද ඖෂධ ගැනීමට පුරුදුව සිටිති. එමඟින් ඇතැම්විට අක්මාව නරක්වීම, වකුගඩු නරක් වීම සිදුවිය හැක. නමුත් එලෙස සිදුවන්නේ ඖෂධවල වැරැද්දකින් නොව එම ඖෂධ වැරදි ලෙස ගැනීම හේතුවෙනි. ඖෂධ කිසිම කෙනකුට හිතුමතේට ගත නොහැක. අරිෂ්ඨ වැනි ඖෂධ අදාළ නොවන රෝගයකට දිගු කාලයක් ගැනීමෙන් අක්මාව නරක් වීමට ද පුළුවනි. ඇතැම් ඖෂධ අනවශ්‍ය ලෙස දිගු කාලයක් ගැනීමෙන් වකුගඩු නරක් වීමටද හැකිය. මේ නිසා ආයුර්වේදයේ ඖෂධයක් ගැනීමේදී අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව දැනුම ඇති වෛද්‍යවරයකුගෙන් උපදෙස් මත ලබා ගැනීමට අමතක නොකළ යුතුය.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00