කේ. මධූෂා ලක්මාලිගේ මෙම කෘතියෙන් රත්න ශ්‍රී විජේසිංහගේ ගීත 10ක් ඉදිරිපත් කරමින් ඒ තුළින් ධ්වනිත කළ කාන්තා ගැටලු පිළිබඳ විග්‍රහයක යෙදී ඇත. පොත ආරම්භයේදී ස්ත්‍රීවාදී න්‍යාය පිළිබඳ පිළිබඳ පිටු 42ක හැඳින්වීමක් දක්වා ඇති අතර එමගින් විවිධ දාර්ශනිකයන් හා විද්වතුන් ස්ත්‍රීන් පිළිබඳ කළ සාකච්ඡා ලිබරල්, මාක්ස්, සමාජවාදී, රැඩිකල්, සංස්කෘතික, පශ්චාත් නූතන, කළු ජාතික, සාහිත්‍ය ආදී ස්ත්‍රීවාදී තේමා අටක් පිළිබඳ කාලීන විග්‍රහයක යෙදෙයි. මෙමඟින් ස්ත්‍රිය පිළිබඳ හා ඇයගේ ගැටලු පිළිබඳ වඩාත් රැඩිකල්වාදී හා තාර්කික කරුණු විවිධ දෘෂ්ටිකෝණ තුළින් සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට ඇය සමත් වී සිටී.
මෙම ග්‍රන්ථය තුළින් රත්න ශ්‍රී විජේසිංහයන් ස්ත්‍රීන්ගේ ගැටලු පිළිබඳ කර ඇති විග්‍රහයන් පාදක කරගෙන ඒවා මතුපිටින් කියවීමට වඩා එතුළින් විග්‍රහ කරන ස්ත්‍රීවාදී චින්තන හා වර්තමාන කාන්තාවන්ගේ සමාජ ගැටලු ගැන ප්‍රබල සාකච්ඡාවක් මතු කිරීමට කතුවරිය උත්සාහ ගෙන ඇත. පීතෘ මූලික හා පුරුෂාධිපත්‍ය බලයට නතු වූ සමාජයක කාන්තාවට අත්ව ඇති ශෝචනීය ඉරණම හා ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ දැඩි සංයමයකින් කතා කරන කතුවරිය කාන්තාවන්ට සමාජයේ සාධාරණත්වය ඉටුවීමේ අවශ්‍යතාව මෙම ගීත ආශ්‍රයෙන් උපුටා දැක්වීමට කටයුතු කර තිබේ.
උදාහරණයක් ලෙස පැවසුවහොත් රත්නශ්‍රීගේ සිරීපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා යන ගීතය තුළින් පුරුෂත්වය උත්තරීතර කොට සලකන සමාජයක පිරිමි දරුවන් උදෙසා සමාජය තුළ ඇති පිළිගැනීම හා ඔවුන් උසස් ලෙස සැලකීම කොතරම් දුරට සාධාරණද යන්න පිළිබඳ සිතන්නට සමාජයට ආරාධනා කරයි.
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතිව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබළෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි
පුතෙක් ඇතෙක් බවට උපමා කිරීමට මෙහිදී උත්සුක වී ඇත්තේ පුතෙක් උපන් පවුලකට ඇතෙකුගේ ශක්තියක් ලැබෙන බව පිළිගෙන ඇති බැවිනි. ඒ නිසා සිරිමා බෝධියෙන් ඉල්ලන්නේ පිරිමි පුතෙක් (ගැහැනු පුතෙක් නොවේ) ලබා දීමටය. මෙහිදී ගැහැනු පුතාට වඩා පිරිමි පුතා වැදගත් බව ධ්වනිත කරයි.
මගේ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුණේ
යන ගීතයෙන් බොහෝ දුරට කියැවෙන්නේ කාන්තාව තුළ ඇති බර දරා ගැනීමේ ශක්තියයි. දරුවන්, ආර්ථික හා සමාජමය ගැටලු දරාගෙන සිටීමේ හැකියාව දුර්වල යැයි කියන කතුන් තුළ ඇති බව අවධාරණය කිරීමට උත්සාහ ගනී. මෙය සුබවාදී දෘෂ්ටි කෝණයකින් ඇය දෙස බලන්නකි.
මගේ බිසවුනේ අසාපන් - නුඹ මන්ත්‍රි දේවි නොවුණේ
දුෂ්කර වූ ඒ පළාතේ - මට යන්න දෙන්න දේවී
දරුවන් සහිත පවුලක පියාට රුකියාව උදෙසා ගමින් පිටව දුෂ්කර පළාතකට යන්නට සිදුවෙයි. අදට වඩා ගමනාගමන පහසුකම් අඩු ඒ කාලයේ ඔහුට නිතර ගමට එන්න නොලැබෙනු ඇත. එහිදී ඔහුට සිදුවන්නේ පවුල් බර ස්වකීය බිරියට පටවා නික්ම යාමටය. ඔහුට ඇයගේ උපකාරය හැර අන් විකල්පයක් නැත.
නුඹ නොදී එතෙර රටටා - දරු නොදී වහල් කමටා
දිවි පුදා හෝ රකින්නම් - නොපුරා එහෙත් පෙරුම් දම්
පුරුෂ මූලික සමාජයක සැමියාගේ ආරක්ෂාව නොමැතිව තනිවන බිරියකට මුහුණ පාන්නට සිදුවන පීඩනය මෙතුළින් ගම්‍ය වේ. එහිදී සැමියාට සිය බිරියගේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇතිවන දෙගිඩියාව හා බිය සාධාරණය. දිවි පුදා හෝ රකින්නම් යන්නෙන් එය මනාව ගම්‍ය වේ.
පවතින සමාජ සංස්කෘතියට අනුව කාන්තාවගේ බර කිරනු බලන්නේ ඇයගේ ඇලුම් පැළඳුම්, දේපළ, මුදල් හදල් වැනි වත්කම් යොදාගෙනය. මෙම සමාජ ක්‍රමය තුළ කාන්තාව මෙන්ම පුරුෂයාද විවිධ පීඩනවලට ගොදුරු වෙයි. මාලගිරවියේ ගීතයේ මෙම පැදි වැල එයට හොඳ නිදසුනකි.
දුර නෑයො පවා ගේ දොරකඩ
එකතුවෙලා ඉදිවී
නුඹේ මාලෙ හැබෑ රත්තරන්ද
අතගාලා බලාවි
ඔය සේද ඇඳුම් ඉල්ලගත්තෙ
කාගෙන්දැයි අසාවි
අලුත ගෙනා මනමාලි පිළිගන්නනට ගේ දොරකඩ බලා සිටින නෑදෑයන් ඇයගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? මාල ගිරවියගේ වත්කම් තක්සේරු කරන්නට ඔවුහු සැදී පැහැදී සිටිති. මෙහිදී ඔවුන් බලන්නේ පුරුෂයාගේ වටිනාකම නොව ඇයගේ වටිනාකමය. එදා මෙන්ම අදද අපේ සමාජ තත්ත්වය මෙයින් ඔබ්බට ගොස් නැත.
කතුවරිය ස්වකීය විෂය නිබන්ධනය තුළින් සාමාන්‍යයෙන් සම්ප්‍රදායික උත්සාහයකින් ඔබ්බට ගොස් යම් කාලීන සාකච්ඡාවක් කරා පාඨකයා යොමු කිරීමට ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය වේ. කෙසේ වුවද මෙහි ඇති ඇතැම් න්‍යායාත්මක කරුණු ගීත රසය යටපත් කරගෙන ඉදිරියට යාමට උත්සාහ කර ඇති යැයි මට සිතේ. එවැනි අවස්ථාවල සිදුවන්නේ ගලාගෙන යන වින්දනයට අවහිර වීම නිසා පාඨකයා වෙහෙසට පත් කිරීමයි.
යසවර්ධන රුද්රිගු