2018 ජුලි 07 වන සෙනසුරාදා

පටාචාරාවක් සමඟ අනන්තය සොයා යන දැවෙන විහඟුන් !

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 174

දැවෙන විහඟුන් ජාත්‍යන්තර සම්මාන රාශියකින් පිදුම් ලද සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි චිත්‍රපටයයි. එහි ප්‍රචාරණ තේමා පාඨය වශයෙන් යොදාගෙන ඇත්තේද “ලොවම ආදරය කළ ලාංකීය සිනමා සිත්තම” යන්නයි. උත්තරීතර මව් සෙනෙහස ගැන කතා කරන චිත්‍රපටයක් ලෙසද එය ප්‍රවර්ධනය කරනු පෙනේ.

කතාව දිවයන්නේ 88-89 භීෂණ යුගයේ එක්තරා ශුෂ්ක ප්‍රදේශයක පිහිටි ගිනි අව්වෙන් බැටකන ස්ථානයක තැනු පොල් අතු සෙවිලි කළ නිවසක ජීවත්වන පවුලක් වටාය. මාළු වෙළෙඳාමෙන් ජීවන් වන පුද්ගලයකුගේ බිරිය කුසුම් (අනෝමා ජිනාදරී) ය. ඔවුන්ට දරුවන් අට දෙනෙකි. සැමියාගේ මවද ජීවත් වන්නේ ඔවුන් සමඟය. ඔවුන් මැදිවිය ද පසුකරමින් සිටින පුද්ගලයන් වුවත් ක්‍රියාශීලී ලිංගික ජීවිතයක් සතු බවට ඉඟි ඔවුන්ගේ හැසිරීමෙන් පෙනේ. සැමියා සහ බිරිඳ එකිනෙකට ප්‍රේමාදරය පාමින් සිටිය ද හදිසියේම පැමිණෙන පැරා මිලිටරි ඝාතකයෝ මාළු වෙළෙන්දාට පහර දී රැගෙන ගොස් ඝාතනය කරති. එය පාසලේ විදුහල්පතිවරයාගේ පුද්ගලික පළිගැනීමක් බවට ඉඟි සැපයේ. ගෝනිබිල්ලකු ලෙස පැමිණෙන්නේ විදුහල්පතිවරයායි. නමුත් මේ ඝාතනයට හේතුව කුසුම් කෙරෙහි විදුහල්පතිවරයා ආශක්ත වීමද නැතහොත් වෙනත් හේතුවක් දැයි අපට පැහැදිලි නොවේ.

සැමියාගේ ඝාතනයෙන් පසු මරු කතරක අතරමං වන කුසුම් තමාගේත් දරුවන් අටදෙනාගේ සහ නැන්දම්මාගේ කුසගිනි නිවීමේ අරගලයට මුහුණ දෙන්නීය. අනෝමා ජිනාදරී මේ කටුක බවම වළඳන චරිතය කදිමට හසුරැවා ගන්නීය. ඇගේ මුහුණේ ඉංගිත, ගමන් විලාසය, වචන භාවිතය කටුක බව ජයගනිමින් දරැවන් මිනිසුන් කිරීමට ඇති අවශ්‍යතාව පළකෙරේ. ගමේ අසල්වැසි හිතවතියක (චාන්දනී සෙනෙවිරත්න) කුසුම්ට ගල්කොරියක ගල්කැඩීමේ රුකියාවක් සොයා දුන්නද ටික දිනකින්ම ගල් කොරිය වසා දමයි. ඊට පසු ඇයට පිහිටට එන්නේ මස් මඩුවේ මුදලාලි (මහේන්ද්‍ර පෙරේරා)ය. මස් කපා ඉවත්වන අතුනුබහන්, හම්, ඇටකැබලි ඉවත් කර මස් මඩුව සෝදා දෙන්නේ කුසුම්ය. ඒ අතර ලේ පිපාසිත මස් මුදලාලි ද ඇයගෙන් ලිංගික සැප පතයි. එතැනින් පලා ආවද ඇයට මුදලාලිගෙන් බේරීමට ඉඩ නොලැබේ. ඊට පසු ඇය රුකියාවක් ලෙස යන්නේ සම්බාහන මධ්‍යස්ථානයක ගණිකාවක් ලෙසටය. මේ අතර නිවසේ වැඩිමහල් දියණියගෙන් එයට විරෝධතාවක් එල්ල වනඅතර පසුව ඇය පොලිස් අත්අඩංගුවට පත්වේ.

ඇය සම්බාහන මධ්‍යස්ථානයේ සිරුර විකිණීම සතුටින් කරන බවට ඉඟි සැපයේ. මෙහි ලිංගික දර්ශන සියල්ල ඉවත් කර සංස්කරණය කර ඇති බව පැවසෙන නිසා කුසුම්ගේ මානසික ආවේගය අපට පෙනෙන්නේ කඩින් කඩය. ඒ අතර දරුවන් අටදෙනා ඔහේ තැන්තැන්වල මළානික අයුරින් බලා සිටිනවා හැරෙන්නට රංගනයක් නම් නොපෙනේ. වැඩිමහල් දියණිය මෙන්ම පාසල් සිසුවියක ලෙසද සමනලී ෆොන්සේකා රඟපෑව ද ඇය ඒ චරිතයට බුහුටි වැඩිය. වැඩිමල්ය. සැමියා අහිමි වීමෙන් පසු මවකට දරුවන් ලොකු මහත්කර ගැනීමට යාමේදී විඳීමට සිදුවන අතවරවලින් බේරීමට නොහැකි බවය මෙහි පැවසෙන්නේ. කුසුම්ට තමා අකමැති සිරුර විකිණීමේ වෘත්තියේ අවසානයේ යෙදීමට සිදුවන්නේ එබැවිනි. ඒ අතර ධර්මද්වීපයේ පිරිත් සඡ්ඡායනාද ඇසේ. මතුපිටින් පමණක් බණ අසන රටක ඇතුළාන්තයේ ඇති ජරාජීර්ණ බව පැවසීමට අධ්‍යක්ෂවරයා මස් මඩුවේ, ගල්කොරියේ කඨෝර දර්ශන උපයෝගී කර ගනී.

බොහෝ තැන්වලදී ගහකොළින් තොර ශුෂ්ක පරිසරයක එක් ගසක් නැගී සිටින අන්දමද ඒ මවකගේ රුකවරණය ලෙස ද අපට සැලකිය හැකිය. එහෙත් සිනමා පටය අවසන් වන්නේ ප්‍රේක්ෂකයා තුළ සංවේදනාවක් ඇති කරමින් නොවේ. මෙහිදී කුසුම් තමාගේ හා දරුවන්ගේ ජීවිතය අඳුරට ඇද දැමූ විදුහල්පතිවරයාගෙන් පලිගනී. එලෙස පළිගැනීම් අපට බැද්දේගම චිත්‍රපටයේ සිළිඳුගෙන්ද, කැඩපතක ඡායාහි ස්වර්ණාගෙන්ද දැකගත හැකිය. සංජීවගේම පියාඹන මාළුවෝ චිත්‍රපටයෙන් ද කියැවෙන්නේ ලිංගික සූරාකෑමට ලක්වූ තරුණියක අතින් අවසානයේ පුරැෂ ලිංගය කපා පලිගැනීමේ සිද්ධියකි. මෙහිදී බැද්දේගම, කැඩපතක ඡායා සහ පියාඹන මාළුවෝ චිත්‍රපටවල පළිගැනීම ප්‍රේක්ෂයාට හොඳින් දැනේ. ඔහු කම්පනයට පත්වේ. එහෙත් දැවෙන විහඟුන් හි එම උච්චාවස්ථාව අප නම් කම්පනයට පත්කළේ නැත.

චිත්‍රපටයේ අනෝමා මෙන්ම චාන්දනී සෙනෙවිරත්න ද, මහේන්ද්‍ර පෙරේරා ද තම රංගන ප්‍රතිභාව පළ කරයි. මෙම ශුෂ්ක කථාන්දරය රූපයට නැගීමේදී කැමරාකරණය ද විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙහි කැමරාව මෙහෙයවා ඇත්තේ කාලිංග දේශප්‍රිය විතානගේය.

කලා අධ්‍යක්ෂණය නම් අපට ඉහළට ඔසවා තැබීම අපහසුය. මෙහි කුසුම්ගේ නිවාසය පොල් අතු සෙවිලි කළ “සෙට්” එකට තැනූ දර්ශන තලයක් බව පැහැදිලිව පෙනේ. නිවස ඇතුළත පාළුය. එහි බිත්තිවල කැඩීගිය ලකුණක් හෝ ළමුන් අඟුරු හෝ හුනුකූරුවලින් ඇදි සලකුණක් හෝ නැති අමුතුම ගෘහයකි. එය වරිච්චි බිත්ති ද නොවන අමුතුම බිත්තියකි. ගෙදර පරිභෝජන භාණ්ඩ ද කිසිවක් නැත. ඔවුන් නිදාගන්නේ ගෙබිමේය. බිත්තියේ පරණ කැලැන්ඩරයක්වත් නොමැත. අඩුගාණේ කාඩ්බෝඩ් පෙට්ටියක්වත්, ඇඳුම් දමන ඉස්කිරිමක්වත් ගෙදර නැත. ගෙදර පිටුපස පරණ වළං, දර ගොඩවල්, ලී කැබලි වැනි අඩුවැඩිය ද නැත. 1990ට පෙර දර්ශන ප්‍රතිනිර්මාණය කිරීම ද දුර්වලය. පසුබිම් දර්ශනවලදී පෙනෙන්නේ මෑත කාලීන වෙළෙඳ පෝස්ටර්ය. විදුහල්පතිවරයාගේ ඇඳුම පාසැල්වලට ගැලපෙන්නේ ද යන්නද ගැටලුවකි.

අවසානයේ අපට පෙනෙන්නේ වැඩිමහල් දියණිය (සමනලී) බාල සහෝදර සහෝදරියන් හත්දෙනාද සමඟ බසයක නැඟී යන අන්දමයි. ඊට පසු ඇය ජුකී මැෂිමක ඇඳුම් මහන්නීය. සහෝදර පිරිසට වූයේ කුමක් ද යන්න ගැටලුවකි. මව හිරෙන් නිදහස් වී එනවිට ඇය සියල්ල අහිමි වී පටාචාරාවක් වී ඇත. එහෙත් මේ පටාචාර අප තුළ සංවේගයක් ජනිත කරනවාද?

ජාත්‍යන්තරයේ කීර්තියට පත්වුණත් එය ලංකාවට ගලපා ගැනීමේදී ගැටලු මතුවේ. අතිශය මානුෂීය කාරණාවක් විග්‍රහ කිරීමේදී සංජීව ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කළ යුතුව තිබුණි. සංජීව අපට සිටින නව ඉසව් සොයායාමට උනන්දු අධ්‍යක්ෂවරයෙකි. ඔහු ඊළඟ සිනමා නිර්මාණයේ දී තම අනන්‍යතාවය විදහා දැක්වීමට තවත් සියුම් ලෙස උනන්දු විය යුතුවේ. එය අපේකම හා බද්ධකරගත යුතුවේ.

 කුසුම්සිරි