කැලේ එළි කළේ අනුමැතියක් නැතිව
පස්-බොරළු කපනකොට සද්ද නැතුව හිටපු අය අද ඒවා හදන කොට කෑ ගහනවා
අලි ගම් වැදිලා: ගොවීන්ටත් හානිවෙලා
කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භවීමත් වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති වනාන්තර විශාල ප්‍රමාණයක් මහවැලි අධිකාරියට පවරා ගැනීමට සිදුවූයේ මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යවීම හේතුවෙනි. කඩිනම් මහවැලි ව්‍යාපෘතියට අවශ්‍ය භූමි සපයා ගැනීමේදී ඇතැම් වනාන්තර බුල්ඩෝසර සහ බැකෝ යන්ත්‍රවලින් වැනසී ගියද වනසතුන්ගේ වාස භූමි ආරක්ෂා කිරීමට මහවැලි අධිකාරිය දැවැන්ත වූ වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කර තිබූ බව මහවැලි ව්‍යාපෘතිය පිළිබඳව පසු විපරම් කර බැලීමේදී තහවුරු වෙයි.
මහවැලි එච් කලාපය රජරට ප්‍රදේශයට ක්‍රියාත්මක වීමත් සමග විශාල රජය සතු විශාල ඉඩම් ප්‍රමාණයක් මහවැලි අධිකාරියට පවරා ගැනීමට සිදුවූයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය ඉඩම් ගොවීන් අතර බෙදාදීම සඳහාය. නොච්චියාගම අන්දරවැව වනජීවී වනාන්තරයද මහවැලි අධිකාරියට පවරා ගනිමින් එය සංවර්ධන ක්‍රියාවන් සඳහා යොදා නොගැනීමටත් වන සතුන් බහුලව ජීවත් වන ප්‍රදේශයක් හෙයින් වනජීවී කලාපයක් ලෙසම පවත්වාගෙන යාමටත් අවශ්‍ය වූ හෙයින් වනාන්තරයක් ලෙස නම්කර තැබීමට මහවැලි අධිකාරියේ එවකට දේශපාලන නායකයන් සහා නිලධාරීන් ක්‍රියා කර තිබූ බව නොරහසකි.
පසුකාලීනව දේශපාලන වුවමනා එපාකම් මත අන්දර වැව රක්ෂිත වනාන්තරය විවිධ පුද්ගලයන්ට බෙදා දීමට පියවර ගැනීමත් සමග එහි ජිවත්වූ වනසතුන්ට මෙන්ම මහවැලි එච් කලාපයට අයත් ඩී1 ඩී2 ඇළ යටතේ ගොවිතැනේ නිරත වූ ගොවීන්ට සහා සීරම්බාවැව යටතේ ගොවිතැන් කටයුතු කල ගොවීන්ටද ගැටලු නිර්මාණය වන්නට වූ බව කියමින්. විශාල ජනතාවක් මහ පාරට බැස උද්ඝෝෂණයක්ද පවත්වා තිබුණේ 2017 වසරේ ඔක්තෝබර් 11 වන දිනයි. අක්කර 1000 වැඩි අන්දරවැව මහවැලි රක්ෂිතය කලින් කලට විවිධ පුද්ගලයන් අතට පත්වී මහා පරිමාණ පරිසර විනාශයන් සිදුවෙද්දී බලධාරීන් අනුගමනය කළ නිහඬ පිළිවත හේතුවෙන් වූ විනාශය යළි නිවැරදි කිරීමට නොහැකි වී ඇත. රාජ්‍ය ආයාතනවල සහා දේශපාලන බලවතුන් ගන්නා ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් ව්‍යාපාරිකයන් සහා මහජනතාව අතර ගැටුම් නිර්මාණය වී ඇත.
මහවැලි H කලාපයට ඇතුළත් ඉඩම් ලෙස මහවැලි අධිකාරිය වෙත අත්පත් කර ගන්නා අන්දරවැව වන තීරය මහවැලි රක්ෂිත කලාපයක්, වනජීවී ආරක්ෂිත කලාපයක් හා ප්‍රධාන අලිමංකඩක් ලෙසම වෙන්කර තිබියදී මහවැලි අධිකාරිය විසින්ම විවිධ ව්‍යාපෘතිවලට ලබාදීමෙන් මේ ගැටලු නිර්මාණය වී ඇත. නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 341 දරන අන්දරවැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අවසාන ගම් සිතියම් අංක 663ට අදාළ අන්දරවැව කැලේ සහ ගෝමැදියාගල ලන්ද නැමැති වනාන්තරයේ ඉඩම් කොටස් මෙලෙස බදු දී ඇත. 2011 වසරේදී වරණීය පදනම මත දීර්ඝකාලීන බදු බලපත්‍රයක් ජනාධිපති අත්සනින් යුතුව අක්කර 50 ක භූමි ප්‍රමාණයක් ලබාගෙන එහි ඇති නීතිරීතිවලට පරිබාහිරව යමින් හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කර ඇති බවට චෝදනා එල්ලවී ඇත.
2017 වසරේදී විධිමත් අවසරයකින් තොරව එකී ව්‍යාපෘති යෝජකයා විසින් සිරම්ඹාගම වැව සහ වැව්රක්ෂිත ප්‍රදේශයෙහි ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරමින් වන වගාවක්, වන උද්‍යාන ව්‍යාපෘතියක් යැයි කියමින් අක්කර 29 ක භූමි ප්‍රමාණයක අපේ ගම නැමති ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව කියමින් සීරම්බාගම ගොවි සංවිධානය විසින් අන්දරවැව රක්ෂිතයේ සිදුවන පරිසර හානිය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව ක්ෂේත්‍ර පරීක්ෂණයෙන් පසුව අනාවරණය කර ගන්නා කරුණු පදනම් කර ගනිමින් අදාළ ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය විසින් අන්දරවැව රක්ෂිතය තුළ සිදුකරනු ලබන අනවසර ඉදිකිරීම් කටයුතු හා සංවර්ධන කටයුතු අත්හිටු වීමට සම්බන්ධයෙන් ජාතික පාරිසරික පනත 24 ආ (1) වගන්තිය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක 8/GIA/HOT/03/206 හා 2017/11/07 දිනැති විධානය නිකුත් කර ඇත. එම විධානයට අවනත නොවී හා එම විධානයට පටහැනිව අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු දිගින් දිගටම කරගෙන යාම හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව චෝදනා 03ක් යටතේ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ 4042 අංක දරණ නඩුව පවරා ඇති අතර එම නඩුව 2018.07.25 දින කැඳවීමටද නියමිතව ඇත.
අපේ ගම ව්‍යාපෘතියේ නිර්මාණකරු වූ ෆොරස්ට් රොක් ගාඩ්නර් හෝටල් ව්‍යාපෘතියේ හිමිකරුවන බාලදුරගේ චන්ද්‍රසිරි මහතාගෙන් පැන නැගී ඇති මහජන චෝදනා පිළිබඳ දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය.
“මම ව්‍යාපාරිකයකු විදියට මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න ඉඩම් ලබාගන්නේ නිත්‍යානුකූලව forestrock එක වුණත් පටන් ගන්නකොට ඊට කලින් අනවසරයෙන් හිටපු අය තමයි මට විරුද්ධව කටයුතු කරන්න ගත්තේ. ඒ ගොල්ලො කිසිම දෙයක් නීත්‍යානුකූලව නැතුව කටයුතු කරලා තිබෙනවා. මම පුරාවිද්‍යාවේ මහවැලියේ මේ සේරම අනුමැති අරගෙන EIA එක පවා කරලා තියෙන්නේ. ඒ සියලු ලිපිලේඛන මා සතුව තිබෙනවා. මම ඒවත් එක්ක තමයි මේ ව්‍යාපෘතිය නිමකළේ. අපි එහෙම කරලා පටන් ගත්තට පස්සෙ එක එක චෝදනා කරලා නඩුදාලා එක එක ආයතන අපහසුතාවයට පත්කරලා කරපු කටයුතු නිසා තමයි මේවා අවුරුදු ගාණක් පමා වුණේ. අපේ ගම ව්‍යාපෘතිය ගත්තම අනුරාධපුරයටම සම්පතක් 1805 දී කෘෂි ආර්ථිකයත් එක්ක ගොඩනැඟුණු ආකෘතියක් තමයි මේකෙ නිර්මාණය කරලා තියෙන්නේ. පහේ පංතියේ ශිෂ්‍යත්වයට පවා උත්තර ලියන්නට පුළුවන් වෙන විදියට දරැවන්ට වටිනා ජාන කෞතුකාගාරයක් විදිහට මෙය ඉදිරියේදී නිර්මාණය කරනවා. දැනුත් ඒ විදිහට තමයි කරගෙන යන්නේ. මේක අක්කර 29 ක භූමියක් අක්කර අටක තමයි මේ ගම නිර්මාණය කරලා තියෙන්නෙ.
අලිමංකඩක නේද ඔය ව්‍යාපෘතිය කරලා තිබෙන්නේ?
අපි මේ වනවිට විශාල ගස් ප්‍රමාණයක් රෝපණය කරලා තිබෙනවා. මම මෙතන කෘෂි ආර්ථිකයේ පෙන්නන්න හැම වගාවක්ම කරල තියෙනවා. අලිමංකඩක් නම් අපිට කොහොමටවත් එක නවත්තන්න බැහැ මම විදුලි වැටක්වත් ගහලා නැහැ. හැබැයි තව වෙනකම් අලියෙක් නම් ඇවිල්ලත් නැහැ. අපට කිසිම හානියක් කරලත් නැහැ. අලි යනවා නම් යන්න නිදහස ඕන තරම් තියෙනවා. මගේ ව්‍යාපෘතියට කලින් ව්‍යාපෘති ගොඩක් කරලා තියෙනවා. ඒ වෙලා තියෙන හානියයි මගේ ව්‍යාපෘතියයි ඇවිල්ලා බලන්න පුළුවන් මොක්ද විනාශය කියලා. මේ භූමිය ගැසට් කරලා තියෙන්නේ සංවර්ධන භූමියක් විදිහට. එක කාලෙකට මේ කර්ෆන්ටයින් වගා කරනවා. ඊට පස්සේ එව්ව කැපුවට පස්සේ තමයි ස්වභාවික හැදිච්ව ගස් මේ තියෙන්නෙ.
අපේ ගම ව්‍යාපෘතිය ලස්සන කරන්න විශාල වළවල් හාරලා කෘත්‍රිම වැව් ඇළවල් නිර්මාණය කරලා තිබෙනවා නේද?
ඔය වළවල් අපි හාරපුව නෙවෙයි. ගඩොල් කපන්න බොරලු කපන්න හාරපුවා. ඒ කාලේ අවසර නැතිව පස් කපනකොට බොරලු කපන කොට කවුරුවත් කතා කළේ නැහැ. ඒ විනාශ කරපු මහ පොළව තමයි මම අලංකාර කරලා තිබෙන්නේ. පුරාණ ගම ව්‍යාපෘතියේ ගහකොළ සම්පූර්ණම සංරක්ෂණය කරනවා. හැම ගහක්ම ලේඛනගත කරලා තියෙන්නේ. මගේ ෆොරස්ට් රොක් එකෙත් හැම ගහක්ම ලේඛන ගත කරලා තියෙනවා. පහුගිය කාලයේ විවිධ ජාවාරම් කරපු ප්‍රදේශයක් තමයි ෆොරස්ට් රොක් කියලා මම සංරක්ෂණය කරලා තියෙන්නේ. මම කැලෑ එළිපෙහෙළි කරලා විනාශ කරලා ව්‍යාපෘති කරන්නේ නැහැ. මම වනාන්තර විනාශ කරලා සල්ලි හොයන කෙනෙක් නෙමෙයි. මම සියයට 8-12%ක් වෙන් කරනවා පරිසර ව්‍යාපෘති සඳහා. අපි ලබා ගන්න ආදායමෙන් බදු ගෙව්වට පස්සෙ තවත් මුදලක් වියදම් කරනවා පරිසරය වෙනුවෙන්.
ඔබතුමා සීරම්බාව වැවත් අල්ලගෙන නේද?
අපි වැවේ වැවේ කිසිම රක්ෂිතයක ඉදිකිරීම් කරලා නැහැ. වාරිමාර්ගයෙන් මේකට අපට අවසර දීලා තිබෙනවා. ඒ අය ඇවිල්ල බලල මේක අපි වැව් සීමාවෙන් පිට ඉන්නවා කියලා දැනුවත් කරලා තියෙනවා. මෙව්වා අපි හිතුමතේට දාගත්ත මායිම් ගල් නෙමෙයි. මහවැලි කන්තෝරැව මිනින්දෝරැ දෙපාර්තමේන්තුව ඇවිල්ලා බලල ගල් දාලා දුන්න එකේ තමයි අපි ඉදිකිරීම් කරලා තියෙන්නේ. ඒ මායිම්වලිනුත් විශාල ප්‍රමාණයක් ඊට පස්සෙ ඉඳල තමයි නිර්මාණ කරලා තියෙන්නේ අපි කිසිම විටක වැව් රක්ෂිතයට හානි වන විදියේ කටයුතු කරලා නැහැ වගකීමෙන් මට කියන්න පුළුවන්.
දැන් ඔබතුමා වන ව්‍යාපෘතියක් නේද කරනවා කියලා ආරම්භ කළේ?
ඉදිරි වර්ෂාව එන කොට අපි දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතියක් පටන් අර ගන්නවා. දැනටමත් අපි ඒකට සූදානම් වෙලා පැල සකසමින් යන්නේ. සතුටුයි කියන්න පොරස්ට් එකක් ගත්තහම මේ වෙනකොට සතුන්ටත් ආරක්ෂාවයි කිසිම කෙනෙක් යන්නේ නැති නිසා දැන් ඒක ඇතුළෙ මීමින්නො, වලි කුකුල්ලු, හාවෝ වගේ සත්තු නිදහසේ පැටව් දාලා ඉන්නවා.
නඩු කිහිපයක් ඔබට එරෙහිව දාලා තියෙනවා නේද?
මගේ යාළුවෙක්ම තමයි මට විරුද්ධව නඩු දාලා තියෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරියත් නඩු දාලා තියෙන්නේ ඒ අයගේ ඉල්ලීම අනුවයි. ඒ අය මොනවා කළත් මම ඒ අයට ආ පස්සට හතුරුකම් කරන්න යන්නේ නැහැ. මේ වෙනකොට සේවකයෝ අසූවක් විතර වැඩ කරනවා. 35ක් 40 ස්ථීර කරලා තියෙනවා. වැඩ කරන්නෙත් මේ අවට ගම්වල කට්ටිය. පිටස්තර කවුරැවත් නෑ මැනේජර් කෙනෙක් ඉන්නවා එයා විතරයි පොළොන්නරුවෙ කෙනෙක් විදිහට ඉන්නේ. වෙනත් තැනක ජොබ් එකක් කරන්න බැරි වයසක අසරණ වෙච්ච අය අම්මලා තාත්තලා තමයි මෙතන වැඩ කරන්නෙ. ගමේ ඕන කෙනකුට පුළුවන් ගෙවත්තේ හදන වගාවක් නිර්මාණයක් මෙතන ගෙනැල්ලා ප්‍රදර්ශනය කරලා විකුණ ගන්න අවස්ථාව දීලා තියෙනවා. දැනටත් සමහර අය විවිධ දේවල් කරගෙන යනවා අපි එයාලගෙන් සත පහක්වත් අය කරන්නේ නැහැ.
සිරම්බා ගොවි සංවිධානයේ සභාපති මෛත්‍රි සමරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ කීය.
1b ඇළ සහ 2d ඇළ කියලා ගොවි සංවිධාන දෙකක් තිබෙනවා. ඒ දෙකේම ගොවීන් අන්දර වැව රක්ෂිතය ව්‍යාපාරිකයන්ට බදු දීමට විරුද්ධව නැගී සිට තිබෙනවා. අපේ ගොවි සංවිධානයේ ගොවීන්ට බරපතළ විදිහට හානි වෙලා තියෙනවා. මොකද සීරම්බා වැව් පෝෂිත ප්‍රදේශයේ තමයි ඉදිකිරීම් කරලා තිබෙන්නේ. සාමාන්‍ය වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්චයේ සිට මීටර 100 ක් ඇතුළත හෝ ඉදිකිරීම් සිදුකරන්න බැහැ.වැව යටතේ ගොවියෝ විසි පස් දෙනෙක් ගොවි සංවිධානයේ ලියාපදිංචි වෙලා ගොවිතැන් කටයුතු කරනවා. කැලෑ විනාශ වීමත් සමගම අලි ගම් වැදීම වැඩියෙන් පටන් අරන් තියෙනවා. මේක කැලෑව අලි ගමන් මාර්ගය දැන් අලි යන්නේ ගම හරහා ළඟදී 32 කණුව ප්‍රදේශයේ මනුස්සයෙක් වන අලියෙක් ගහල මැරුණා. මේ කැලේ මුවා ගෝනා වගේ වන සතුන් ජීවත් වුණා. අද මේ වනාන්තර තුළ එක සතෙක් දකින්න නැහැ. පරිසරය විනාශ කරල තියනවා. සතෙකුට ඉන්න තැනක් නැතිවෙලා තියෙනවා. පුරාණගම කියලා ගමක් නිර්මාණය කරලා තියෙනවා. අනුරාධපුර අවට ගැන ඕන තරම් පුරාණ ගම් දැකගන්නට පුළුවන් හදලා පුරාණ ගම් පෙන්නන අවශ්‍යතාවයක් නැහැ.
කොන්ක්‍රීට් බිත්තිවලින් හදලා තමයි දැන් මැටි ගහලා හදලා තියෙන්නේ. මේ වගේ දෙයක් කරන්න පටන් ගන්න ඉස්සර පරිසර ඇගයීම් වාර්තාවක් ගන්න ඕනා. එහෙම නැතුව කරලා ඉවරවෙලා පරිසර ඇගයීම් වාර්තා ගන්න බැහැ. මොකද තිබූ තත්ත්වය වෙනස් වුණාට පස්සෙ හරියට ඒ වාර්තාව හදන්න බැහැ. අපි නඩු කිහිපයක් දාලා තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ වෙනම නඩුවක් දාල තිබෙනවා ඔය කියන පුරාගම ව්‍යාපෘතිය පිළිබඳව.
සජීව චාමිකර මහතාගේ අදහස මෙසේය.
පරිසර සංරක්ෂණ භාරය 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට (අක්කර 2.5 ක්) වඩා වැඩි වනාන්තර ඉඩමක් එළිපෙහෙළි කර ඕනෑම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතුයි. මේ වනාන්තරයේ හොටෙල් සහා විවිධ ව්‍යාපෘති ගල් කොරි පවත්වා ගෙන යෑම සඳහා ලබා දී තිබියදී ඒ කිසිවක් නැතුව තමයි කරගෙන ගියේ. පස්සෙ අපි මේ බව හෙළිදරව් කළාට පස්සෙ පරිසර ඇගයීම් වාර්තා අරගෙන තිබෙනවා. ව්‍යාපෘතියක් පටන් ගැන්මේදී කළ යුතු දේ පටන් අරගෙන ස්වාභාවික තත්ත්වය නැතිව ගියාට පස්සෙ හරි විදිහේ වාර්තාවක් ගන්න බැහැ. කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව යන්ත්‍ර සූත්‍ර ස්ථාපිත කරමින් වනාන්තරය එළිපෙහෙළි කරමින් තිබියදී 2013 වසරේදී මේ පිළිබඳ හෙළිදරව් කිරීමක් කළා. නමුත් දැන් වාර්තා වෙන විදිහට ලොකු විනාශයක් සිදුකරලා කියලයි මට හිතෙන්නේ. ඒ පිළිබඳ සොයා බැලීමක් කරනවා.
1982 වසරේ සිට 2010 වසර දක්වා වසර 28 ක කාලයක් රක්ෂිත වනාන්තරයක් ලෙස මහවැලි අධිකාරිය යටතේ පාලනය වූ හා ඊට ඇතුළු වී දැව කැපූවන්ට පවා නීතිය ක්‍රියාත්මක කළ මහවැලි අධිකාරිය විසින් ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ රක්ෂිත වනාන්තරය පැවරීම ඉතා ඛේදනීය තත්ත්වයකි.මේ වනාන්තර එළි කිරීම හේතුවෙන් අලින් ගම් වැදීම මේ වනවිට උග්‍ර තත්ත්වයකට පත් වී තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට අන්දරවැව රක්ෂිතය හරහා තලාව මහමූකලානටත් ගල්ගමුව ප්‍රදේශයටත් අලි සංක්‍රමණය වීම සිදු වේ. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අලි – ඇතුන් කුකුල්කටුව, ඊට්ටිකුලම, රණවරාව, මහලිදවැව, පෙරියනාංකල්ලි, අඩම්පනේ හරහා අන්දරවැව රක්ෂිතයට අලි පැමිණීම සිදුවෙයි. මෙලෙස බහුලව අලි පැමිණෙන්නේ අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තොම්බර් මාසවල දැඩි නියං සමය තුළය. එසේ පැමිණෙන අලි මේ රක්ෂිතය තුළ රැඳී සිටිමින් අන්දරවැව, සීරම්බාගමවැව, පහමුනේගම වැව, හැලඹ වැව, ඉලන්දක්කුලම වැව යන වැව්වලින් ජල අවශ්‍යතාවය සපුරා ගනිති. මේ වැව් සියල්ලම පෝෂණය වන්නේ මේ රක්ෂිතයෙනි. එය මෙලෙස වනසා දැමීමත් සමඟම වියළි ඍතුවේ දී වැව් සියල්ල සිදී යාමේ තර්ජනයක් ඇති වේ. ඒ හේතුවෙන් අලින්ට ජල අවශ්‍යතාවය සපුරාගැනීමට හා ආහාර සපයා ගැනීමට තිබෙන ප්‍රභවයන් සියල්ල අහිමි වී යයි.
මේ වනාන්තරයේ පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම අණුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ආරක්ෂා කිරීමට අපොහොසත් වුවහොත් අක්කර 1050 ක් වන මේ සමස්ත වනාන්තරයම අරමුණක් නැති මහවැලි අධිකාරිය විසින් ව්‍යාපාරිකයන්ට බදු දී සිදුකරන විනාශය වළක්වන්නට බැරි වනු ඇත.
►රෝවන් පෙරේරා - පුත්තලම