2018 ජුලි 07 වන සෙනසුරාදා

EPF පොලියට අලුතෙන් වැටෙන පොල්ල

2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:01575

♦ නව බදු පනතින් රඳවාගැනීමේ බද්ද හැලිලා
♦ පොලිය අඩුවීම ලොකු අවාසියක්

 

2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 01දා සිට බොහෝ ක්ෂේත්‍රවල බදු ප්‍රතිශතය ඉහළ යාමෙන් සහ මෙතෙක් බදු නොගෙවූ විවිධ අංශවලට බදු ගෙවීමට සිදුවීම නිසා සාමාන්‍ය ජනතාවට ඉමහත් අසාධාරණයක් සිදුවෙමින් පවතින බවට විවිධ ආරංචි පැතිරෙමින් තිබේ. ජනතාවගේ විරෝධතා හේතුවෙන් ඇතැම් බදු ගැසීම් මුළුමනින්ම ඉවත්කර ගැනීමට ආණ්ඩුවට සිදුවිය. වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා පැනවූ සියයට 11ක් වූ වැට් බද්ද ඉවත් කරලීම මෙයට ආසන්නතම උදාහරණය වේ.

මේ අන්දමට නව ආදායම් බදු පනත නිසා හිරිහැරයට පත්වන තවත් විශාල පිරිසක් වන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වන පෞද්ගලික අංශයේ සේවක පිරිසය. මේ වනවිට අරමුදලේ සාමාජිකත්වය දරන සේවක සංඛ්‍යාව ලක්ෂ විසිහයකට අධිකය. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සේවකයන් වසර 60කට අධික කාලයක් තිස්සේ බුක්ති විඳිමින් එන ප්‍රතිලාභ හිමින් සීරුවේ කප්පාදු කරන තත්ත්වයක් පෙන්නුම් කෙරේ. සෙසු පාරිභෝගික භාණ්ඩවලට බදු බලපානවා මෙන් මෙහිදී සිදුවන හානිය එක්වරම විද්‍යාමාන නොවුණද සේවකයන්ට මෙහි රඟ අවබෝධ වන්නේ සේවයෙන් විශ්‍රාම ලබා අර්ථසාධක අරමුදල අතට ගත් විටය. ඒත් ඒ වනවිට සියල්ල සිදුව හමාරය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමෙන් සිදුවන ප්‍රතිඵලයක් නොමැතිවා සේ ප්‍රමාද වීමෙන් මෙයින් වන හානිය අවම කරගත නොහැකි වනවා ඇත.

2017 අංක 24 දරන නව බදු පනත මගින් සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් අය කළ සියයට 10ක් වූ ආදායම් බදු අනුපාතය 14 දක්වා සියයට 4කින් ඉහළ නංවා ඇත. භාණ්ඩාගාර බිල්පත්වල, රජයේ සුරැකුම්පත්වල සහ විවිධ ආයෝජනවල යෙදවීමෙන් ලබාගන්නා ආදායමෙන් අප්‍රේල් 01දා සිට සියයට 14ක් බදු ලෙස කපා ගනී. මෙය අරමුදලේ සියලුම සාමාජිකයන්ට එකසේ බලපාන හානියකි.

පසුගිය සමයේ අරමුදල බැඳුම්කරවල ආයෝජනය කිරීම නිසා විශාල වශයෙන් පාඩු ලැබූ බවද වාර්තා විය. එසේ තිබියදී කොරේ පිටට මරේ කියනවා සේ අරමුදලේ ආදායම තවදුරටත් පහළ දැමීම සමස්ත වැඩ කරන ජනතාවගෙන්ම පළිගැනීමක් බව ඔවුහු කියති. ඒ නිසා බද්ද මුලින් තිබූ සියයට 10 දක්වා වහාම පහළ හෙළිය යුතු බවට සේවකයෝ අවධාරණය කරති. එසේ සිදු නොවුණහොත් ප්‍රබල වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඔවුහු පෙළ ගැසෙමින් සිටිති.

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත අනුව අරමුදලේ භාරකාරීත්වය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවැරී ඇත. එසේම අරමුදල පරිපාලනය කිරීමේ බලතල පැවරී ඇත්තේ කම්කරු කොමසාරිස් වෙතටය. මේ අනුව පෙනී යන්නේ මෙම අරමුදල පූර්ණ ලෙසටම රජයට අයත් රජයේ පාලනයට නතු වූ එකක් බවය.  එහෙත් මෙහි ආදායමට රජයම හානි කරයි නම් පරිස්සමට තැබූ දේ ඈලියාවට ගියා යන ගැමිවහර යොදා ගැනීමට මේ සුදුසුම අවස්ථාව වෙයි.

අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට නව බදු පනතින් සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.ඩී. රණසිංහ මහතා විසින් 2018 මැයි මස 18 දාතමැති ලිපියක් මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාට යවා ඇත. එහෙත් ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වා ඇතැයි දැනගත නොහැකිය.

නව බදු පනත නිසා අරමුදලට සිදුවන තවත් හානියක් නම් මෙතෙක් කල් කරගෙන ආ රඳවා ගැනීමේ බද්ද (Withholding tax) ආපසු ගෙවීමේ ක්‍රියාවලිය නතර වීමය. එයට හේතුව ඒ සඳහා ප්‍රතිපාදන නව පනතේ අඩංගු නොවීමය. ඒ නිසා මෙලෙස ගෙවීම් සිදුවුවහොත් සමස්ත සාමාජිකයන්ට අසාධාරණයක් වෙයි. අනික් හානිය වනුයේ මෙතෙක් පැවති සියයට 10ක් වූ ආදායම් බදු අනුපාතය 14ක් දක්වා ඉහළ නැංවීමය. මේ අනුව අරමුදලට ආකාර දෙකකින් හානි වෙයි.

මේ හේතුවෙන් අරමුදල 2018 වසර සඳහා දැරිය යුතු බදු වියදම රුපියල් බිලියන 31කින් හෙවත් කෝටි 3100කින් ඉහළ යන බව මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා මුදල් අමාත්‍යංශ ලේකම්ට දන්වා ඇත. 2017 වසරේදී දැරූ වියදම රුපියල් බිලියන 18ක් වූ අතර 2018 වසරේදී නව බදු පනත අනුව බිලියන 13කින් ඉහළ යයි. මේ හේතුව නිසා අරමුදලේ ශුද්ධ ආදායම රුපියල් බිලියන 17.5කින් හෙවත් කෝටි 1750කින් අඩුවන බවද නියෝජ්‍ය අධිපති කියයි. මෙයට ප්‍රධාන හේතුව වනුයේ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය සඳහා පෙර මෙන් ගෙවූ රඳවා ගැනීමේ බදු ආපසු නොගෙවන බැවිනි. එහිදී මෙය සත්‍යවශයෙන්ම ආපසු නොගෙවන ගෙවීමක් බවට පත්වෙයි. නව බදු පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු අරමුදලේ ශුද්ධ ආයෝජන මත මේ වසර තුළ ඇතිවන සමස්ත අලාභය බිලියන 30ක් හෙවත් කෝටි 3000ක් බවටද ශ්‍රී ලංකා මහ බැංකුව ගණනය කර තිබේ.

මෙම අලාභය අරමුදලේ සමස්ත සාමාජික ප්‍රජාව අතර බෙදී යයි. මෙහිදී මේ හේතුවෙන් බදු මත අරමුදලේ ආයෝජනය මත ශුද්ධ ප්‍රතිලාභය (Net Return on Investment) මුලින් තිබූ සියයට 10.48 සිට 9.08 දක්වා 1.4ක ප්‍රතිශතයකින් පහළ වැටෙනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු හඟවයි. මෙලෙස පොලිය සියයට 9 ආසන්නය දක්වා පහළ වැටීම නිසා අරමුදලේ සාමාජිකයන්ට සිදුවන හානිය බලාපොරොත්තු නොවූ ලෙස අතිවිශාල බවක් පෙනෙන්නට ඇත.
2016 සහ 2017 යන වසර දෙකේදීම අරමුදල සිය සාමාජිකයන්ට සියයට 10.5ක පොලියක් ගෙවා තිබේ. එහෙත් බද්ද ඉහළ නැංවීම නිසා එම ප්‍රතිශතය 9 දක්වා 1.5කින් පහළ බසිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු නියෝජ්‍ය අධිපති කියයි. මෙලෙස ලැබෙන පොලිය අඩු වී ගෙවිය යුතු බදු මුදල ඉහළයාම අරමුදලේ පරිහානියට බලපාන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වයට එරෙහිව වෘත්තීය සමිති ඒකාබද්ධව විරෝධතා පැවැත්වීමට සූදානම් බවක් දැනගන්නට ඇත.

සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය දක්වන සේවකයන්ගේ වෘත්තීය ශක්තිය අතිවිශාලය. රටේ සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය දැඩි ලෙස අපේක්ෂා කරන රජයකට ඔවුන් තෘප්තිමත්ව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව ඔවුන් අතෘප්තිමත්ව අකාර්යක්ෂම වුවහොත් එය සමස්ත නිෂ්පාදනවල ඵලදායිතාවට අහිතකර වන නිසාය. ඒ නිසා රාජ්‍ය සේවයටත් වඩා පෞද්ගලික අංශය කාර්යක්ෂමව පවත්වාගෙන ඒම රටේ ආර්ථික සංවර්ධනයට මහෝපකාරී වෙයි.

අනික් අතට සේවක අර්ථසාධක අරමුදලට අතගැසීමට සූදානම් වූ ආණ්ඩුවලට විවිධ අවස්ථාවල පසුබැසීමට සිදුවූ බව නුදුරු අතීතය සාක්ෂි දරයි. පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ සේවක අර්ථසාධක ප්‍රතිලාභ අහෝසිකර සේවකයන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට ගිය අවස්ථාවේදී උද්ගත වූ සේවක අඛණ්ඩ උද්ඝෝෂණ එක් සේවකයකු දිවි පිදීමෙන් අවසන් වූ බව අපට මතකය. එයින් රජයට වැටුණු කළු පැල්ලම මේ වනවිටත් මකාගත නොහැකිව පවතී. ඒ නිසා කුමන ආණ්ඩුවක් හෝ සේවක අර්ථ සාධක අරමුදල සමඟ සෙල්ලම් කිරීමට පෙර දෙවරක් සිතිය යුතුව ඇත. මෙවර ක්‍රියාත්මක කිරීමට යන බදු වැඩිකිරීම පිළිබඳවද ආණ්ඩුව යළිත් සලකා බැලිය යුතු බව වැඩිදෙනාගේ අදහස වේ.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ:

නව බදු පනත අනුව සේවක අර්ථසාධක අරමුදලේ අයකරන බද්ද සියයට 14 සහ 24 යන දෙකම දක්වා තියෙනවා. දැන් යෝජනා කර ඇත්තේ සියයට 14 ක්‍රියාත්මක කිරීමටයි. මුලදී සියයට 10ක බද්දක් අය කළා. එහෙත් එය සංඛ්‍යාවක් පමණයි. ඇත්තවශයෙන්ම බද්ද අයකළේ නැහැ. එය රඳවා ගැනීමේ බද්දක් නිසා ඇත්තවශයෙන්ම ආපසු ගෙවන බැවින් අයවුණේ නැහැ. නාමිකව පමණයි තිබුණේ. එහෙත් ගැටලුව වන්නේ නව බදු පනත අනුව මෙලෙස රඳවා ගන්නා බද්දක් පිළිබඳ නොදැක්වීමයි. ඒ නිසා මෙම සියයට 14 බද්ද අය කෙරෙන බව අවධාරණය වෙනවා.

2017 වසරේදී අරමුදලෙන් බද්ද ලෙස බිලියන 31ක් වෙන්වුණා. එහෙත් 2018 සියයට 14 බදු වනවිට අරමුදලේ අගය තවත් සියයට 9කින් අඩුවෙනවා. එය සමස්ත සාමාජිකයන්ට විශාල හානියක්. මේ පිළිබඳ අප සංගමය මුදල් ඇමැතිට, අගමැතිට සහ ජනපතිට ලිපි යැවුවත් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැහැ. මේ පිළිබඳ 7 වැනිදා මුදල් ඇමැති සමග සාකච්ඡාවක් තිබෙනවා. එහිදී අපේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් වැඩබිම්වලට අත්පත්‍රිකා බෙදලා සාමාජිකයන් දැනුවත් කරනවා. එසේම 10 වැනිදා වනවිට පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරනවා. අනතුරුව ප්‍රතිඵලයක් නොමැති වුණොත් වැඩවර්ජන ආදී දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් අරඹනවා. දැනට අන්තර් සමාගම් සාමාජිකයන් ලක්ෂ 26ක් පමණ සිටින නිසා අපේ වෘත්තීය ක්‍රියාමාර්ග රටට තදින් බලපාන බව විශ්වාසයි.

අරමුදලෙන් බිලියන 2ක් පමණ මේ වනවිට ආණ්ඩුව ණය ලබාගෙන තිබෙනවා. මෙය රජයට අයිති විශාලතම අරමුදලක්. ආණ්ඩුවටම උපකාර වෙන මෙවැනි අරමුදලකින් ආණ්ඩුව බදු අයකර එය දුර්වල කිරීම විශාල අසාධාරණයක්. මෙම දුප්පතාගේ එකම වත්කමෙන් බදු අය නොකළාට ආණ්ඩුවට බදු අයකරන්න විවිධ පැති තියෙනවා. ඒත් ඒ ගැන නොසලකා අරමුදලට හානි කිරීම නැවැත්විය යුතුයි.

මේ පිළිබඳව අදහස් පළකරන ඇඟලුම් නිෂ්පාදන සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් පවසන්නේ, උද්ගතව ඇති තත්ත්වය මත ස්වකීය සේවක සංගමයේ ලක්ෂ 22 ක් පමණ වන සේවකයන්ට විශාල අගතියක් සිදුවන බවයි.

“මෙ‍ලෙස සියයට 14ක් පොලිය අය කිරීම පිළිබඳ ආන්දෝලනයක් ඇතිවූ අවස්ථාවේදී අප සංගමය එවකට කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා සමඟ සාකච්ඡා කළා. එම සාකච්ඡාව කළේ කම්කරු උපදේශක සභාවේදියි. එහි සභාපති කම්කරු ඇමැතියි. ඒ අවස්ථාවේදී කම්කරු ඇමැතිවරයා පොරොන්දු වුණ මුදල් ඇමැති සමඟ සාකච්ඡා කර මෙය ඉවත්කර මුලින් තිබූ සියයට 10 පොලියම ක්‍රියාත්මක කරන බවට. එහෙත් දැන් එම තීරණය ක්‍රියාත්මක නොකර නව බදු පනත යටතේ වූ සියයට 14 පොලිය අය කිරීම ක්‍රියාත්මක කරන බවයි දැනගන්නට ඇත්තේ.

අපි මේ පිළිබඳව මෙම සතියේ පවත්වන කම්කරු උපදේශන සභා සාකච්ඡාවේදී නව කම්කරු ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහිදී මුල් තීරණය ක්‍රියාත්මක කරගත හැකි යැයි අපේක්ෂා කරනවා. ඇමැතිවරුන් මාරු වුවද මුලින් ගත් තීරණ වෙනස් නොවන බව අපගේ විශ්වාසයයි.

මුලදී සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනවලට සියයට 11.5ක පොලියක් ගෙව්වා. දැන් එය සියයට 10ට බස්සලා තියෙනවා. මෙය තවදුරටත් 9 දක්වා අඩුවුවහොත් සේවකයන්ට සිදුවන අසාධාරණය විශාලයි. විශේෂයෙන් බොහෝ අය ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත වන්නේ කෙටි කාලයකටයි. විශේෂයෙන් සේවිකාවන් විවාහ වන අවස්ථාවලදී සේවක අර්ථසාධක අරමුදලෙන් ණය ලබාගන්නවා. ඒ නිසා ගෙවන පොලිය අඩුවීම අපට විශාල අවාසියක්. කම්කරු ඇමැති සමඟ සාකච්ඡා කර තීරණයක් ගත නොහැකි වුවහොත් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීමට බලාපොරොත්තු වෙනවා. අපේ ශක්තිය ඉතාම විශාලයි. විවිධ වෘත්තීය සමිති 14ක විසි දෙදහසක සාමාජික පිරිසක් අපට ඉන්නවා.

කෙසේ වුණත් අප බලාපොරොත්තු වන්නේ නව බදු පනතේ මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්හිටවනු ඇති බවයි. එයට අපි ආණ්ඩුවට අවස්ථාව ලබාදී තමා වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්නේ.

♦ යසවර්ධන රුද්රිගු

බදු අයකිරීම තවම තීරණය වී නැහැ

මේ පිළිබඳ කම්කරු අමාත්‍යංශ ප්‍රකාශකයකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා වෘත්තීය සමිති නායකයන් සමඟ මෙම සතිය තුළ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි. එම සාකච්ඡාවේදී මුලින් ගත් තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිගමනයකට එළඹෙන බව ඔහු පැවසීය.

සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 14ක් බදු අයකිරීම පිළිබඳව මෙයට පෙර සිටි කම්කරු ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී දැනට බදු අයකිරීමට කර ඇති යෝජනාව තාවකාලිකව නැවැත්වීමට තීරණය වී තිබුණු අතර එම තීරණය ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ඔහු පැවසීය. එහෙත් මෙහි අවසාන තීරණය ගතයුත්තේ මුදල් ඇමැතිවරයා බවද ඔහු කීය. මේ පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය ඉදිරියේදී ප්‍රකාශ වන අතර එය පුළුල් ලෙස සාකච්ඡා කර ගත යුතු තීරණයක් බවද ඒ පිළිබඳ වෘත්තීය සමිති දැනුවත් කරන බවද ඔහු කීය.