2018 ජුලි 07 වන සෙනසුරාදා

ගොවිරාළ

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 289

ගමේ ගොඩ මඩ ගොවිතැන් කරන ඔක්කොමලා ගොවියො වුණත් ගොවිරාළ කියලා කිව්වේ ගමේ හිටපු ගොවි නායකයාටයි. එයාට අනිත් ගොවියන්ට වැඩිය ගොවිතැන් බත් ගැන හොඳ පළපුරුද්දක් තිබුණා. ගමේ ගොවිතැන් කටයුතු මෙහෙයවීමේ වගකීම තිබ්බේ ගොවිරාළටයි. ඒ කාලේ අද වගේ ගොවිතැනට උපදෙස් දෙන ගොවි උපදේශකයො හිටියේ නැහැ. ගොවිතැන් කටයුතු බලාහදාගෙන උපදෙස් දුන්නේ ගොවිරාළ තමයි.

නිසි කන්නයට ගොවිතැන් කටයුතු පටන් ගැනීමේ ඉඳලා කපා පාගලා අස්වැන්න ගෙට ගැනිල්ල දක්වා හැම දෙයක්ම එයාගේ මෙහෙයවීමෙන් තමා සිද්ධ වුණේ. බව භෝගවලට ලෙඩ රෝග බෝවිල්ල, කෘමි සත්තු හින්දා විනාශයට පත්විල්ල, ඉඩෝරයට, ගංවතුරට කන්න පාළු වීම වගේ හැම අලාභ හානියකදීම ඉදිරිපත් වෙලා ඒවායේ පාඩුව අඩුකර ගන්න ගමරාළ කටයුතු කළා. ගොවිතැන් පාළු වුණාම ඒ පාළු ගැන වෙල් විදානෙට හරි ගම්මුදෑනියට හරි රපෝර්තු කරලා ආණ්ඩුවෙන් දෙන ආධාර මුදල් ලබලා දෙන්නත් කටයුතු කළේ ගොවිරාළ තමයි.

ඒ කාලේ ගොවිතැන් බත් කිරිල්ල ගොවියන්ගේ සාමූහික වැඩක් වුණා. ඒ වැඩවලදී ගමේ අය එකිනෙකාට උදවු උපකාර කළා. කුඹුරු මඩවන්න ඕනෑ කරන අම්බරුවන් හොයලා දීම විතරක් නෙමෙයි මැඩවිල්ල, පෝරු ගෑම, වී ඉහිල්ල, ලියදි බැඳිල්ල, ගොයම් කැපිල්ල වගේ හැම දෙයක්ම කළේ අත්තමටයි. අද එක් ගොවියෙකුට උදව්වට යන ගොවියන් ඊළඟ දවසේ තවත් කෙනකුගේ අත්තමට ගියා. ඒවට කාටවත් ආරාධනා කරන්න ඕන නැහැ. එක දිගටම වැඩ තියෙන හින්දා ඒ කාලේ වැඩවලට හැම දෙනාම සම්බන්ධ වුණේ ආරාධනාවක් නැතුවයි.

ගොවිරාළ ගමේ අනිත් ගොවියන්ගේ වගා කටයුතු ගැන දුර ඉඳලා බලං හිටිය කෙනෙක් නෙමෙයි. එයත් ගොවිරාළ කෙනෙක්. අනිත් ගොවියන්  එක්කලා එයත් හරි හරියට වැඩ කළා. බාග වෙලාවට ගමේ ගොඩ මඩ ඉඩකඩම් වැඩියෙන් තිබ්බේ ගොවිරාළටයි. එයා එක කන්නයක්වත් පුරං නොකර වැඩ කරලා අනිත් අයට ආදර්ශයක් වුණා. එයාගේ නිල ඇඳුම වුණේ අමුඩ කොටයයි. අමුඩේ ගැහුවේ කළු අමුඩ ලේන්සුවෙන්. අමුඩේ ගහන්න පාවිච්චි කළ දිය ලනුව හැමදාම ඉණේ තිබුණා. ඔළුව බැන්ද තලප්පාව වැරදුණේම නැහැ. උදේට ගහපු අමුඩේ ගැලෙව්වේ කුඹුරේ වැඩ කරලා අහවර වෙලා හවහට කුඹුක් ළිඳෙන් දිය නාලා ගෙදර ගියාට පස්සෙයි. ගොවිරාළගේ ගොවි බිමට දවල්ට අඩුක්කුව ගේන ඒක ගොවි මහගේගේ රාජකාරිය වුණා. උදේට හීල් බත් වඩියක් හරි කුරහන් රොටියක් හරි සප්පායම් වෙලා හේනට කුඹුරට එන ගොවිරාළ එක දිගටම වැඩ කළේ අව්ව වැස්ස ගණන් ගන්නේ නැතුවයි. ගමේ සෙසු ගොවියොත් අනුගමනය කළේ ගොවිරාළගේ ප්‍රතිපත්තිය හින්දා ගමට  කවදාවත් ආහාර අහේනියක් නම් ආවේ නැහැ.

ගොවිතැන ගැන විතරක් නෙමෙයි. ගමේ සිද්ධ වෙච්ච හතුරු අන්තරාවලදිත් ඉස්සෙල්ලාම ඉදිරිපත් වුණේ ගමරාළයි. අවමඟුල්, ලෙඩ රෝග, නොහොඳ නෝක්කාඩුකම් දුරදිග ගිහිල්ලා කලකෝලාහල ඇතිවෙනකොටත් පෙරමුණ ගත්තේ ගොවිරාළයි. ඒ හින්දා ගමේ හැමෝටම ගොවිරාළ නැතුවම බැරි කෙනෙක් වුණා. එයාගේ ගොවි ගෙදරත් ගමේ ඕනෑ කෙනකුට ඕනෑම වෙලාවකට යන්ඩ එන්ඩ පුළුවන් තැනක් වුණා. හවස් ජාමේ ගෙදරට ගොඩ වදින කෙනකුට ඉලත්තට්ටුවෙන් පටන් අරගෙන තේ වතුර වගේම ආහාර පානත් වැරදුණේ නැහැ.

►යසවර්ධන

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00