2018 ජුලි 07 වන සෙනසුරාදා

ඇල්ලූ ගමන් මාළුවලින් කටට රසට බෝට්ටු කරවල

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 918

බහුදින ධීවර යාත්‍රාවල නැගී මීගමුව, හලාවත, බේරුවල ආදී ප්‍රදේශවලින් දියඹ පසු කරන ධීවරයන්ගේ සිහිනය වැඩි මත්ස්‍ය අස්වැන්නක් රැගෙන නැවත පැමිණීමය. මේ ගමනට මාස දෙක තුනක් ගත කිරීමට ඇතැම්විට ධීවරයන්ට සිදුවෙයි. ඒ නිසාවෙන්ම ගමන යන අතරමගදී නෙළා ගන්නා මත්ස්‍ය අස්වැන්න ලුණු දැමීම හා කරවල ලෙස වේලීම ද සිදු කරයි. මෙලෙස බෝට්ටු තුළ මුහුදු ගමනේදීම වේලා ගන්නා මාළු බෝට්ටු කරවල ලෙස හඳුන්වනු ලබයි. මෙහි විශේෂත්වය නම් අලුත් මාළු මෙලෙස කරවල බවට පත්වීමයි. තවද එක බෝට්ටුවක් තුළ වේලාගන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වීමය. බොහෝ විට එය ගෝනි හයක් පමණ වෙයි. බෝට්ටුවේ ගමන් කරන ධීවරයන් පස්දෙනාගේ හා බෝට්ටු අයිතිකරුවාගේ පරිභෝජනය වෙනුවෙන් මෙම ප්‍රමාණය වෙන්වෙයි. ජල වාෂ්ප සහිත මුහුදු සුළඟත් දැඩි අව් රශ්මියත් බෝට්ටු කරවල රසය වැඩිකෙරෙන හේතු බවට අදහසක් තිබේ.

බෝට්ටු කරවල පිළිබඳ සොයාගිය ගමනේදී බේරුවලදී ධීවර පරීක්ෂක තනුක ගම්මන්පිල සහ නිමල් වික්‍රමසිංහ යන මහත්වරුන් අපට හමුවිය. එහිදී ඔවුන් පැවසුවේ බහුදින ධීවර යාත්‍රාවලින් බෝට්ටු කරවලව කිලෝ 100ක් 150ක් පමණ සාමාන්‍යයෙන් රැගෙන එන බවයි. එලෙස රැගෙන එන බෝට්ටු කරවලවලින් කොටසක් වෙළෙඳපොළට එකතුවෙන අතර ඉතිරිය ධීවරයන්ගේ හා බෝට්ටු හිමියන්ගේ පරිභෝජනය සඳහා වෙන් වෙයි. ඔවුනට අනුව කරවල සාදාගන්නා ක්‍රම කිහිපයක් පැවතුණ ද බෝට්ටු කරවල සඳහා වැඩි වටිනාකමක් මුහුදුබඩ ජනයා ලබා දෙන්නේ ඒවා අලුත් මාළු යොදාගෙන නිපැයෙන බැවිනි.

“බෝට්ටු කරවල කියන කතන්දරේ කාපු මිනිහෙක් තමා ඒ ගැන දන්නේ. සාමාන්‍යයෙන් අනුරාධපුර පොළොන්නරුව වගේ රට ඇතුළට වෙන්න තියන පළාත්වල මිනිස්සු මේ ගැන දන්නේ නෑ. හේතුව ඒ අයට ලැබෙන්නනේ පරණ වෙච්ච මාළු වේලලා ඌරල් රසක් තියන කරවල. ඌරල් රස කියන්නේ අර කට කහන ගතියක් එන්නේ. අන්න ඒකට. ඒ පැතිවල බෝට්ටු කරවලවලට ලොකු ඩිමාන්ඩ් එකක් නෑ. බෝට්ටු කරවලවල රසේ දන්නේ අලුත් මාළුවලින් හදපු බෝට්ටු කරවල කාපු මිනිස්සු. බෝට්ටු කරවල නිකම් උම්බලකඩ වගේ. මේක එවලේකම කැපුවා, හේදුවා, ලුණු වතුරවල තිබ්බා, වේලුවා.”

ධීවර පරීක්ෂක නිමල් වික්‍රමසිංහ මහතා බෝට්ටු කරවල පිළිබඳ මෙලෙස අදහස් දක්වයි. සාමාන්‍ය කරවල නිෂ්පාදනයේ හා බෝට්ටු කරවල නිෂ්පාදනයේ වෙනස ද මෙහිදී පැහැදිලි විය.

“මාස ගණන් මුහුදු යන අය බෝට්ටු කරවලවලට අමතරව මුලින්ම හම්බවෙන මාළු ටික පළලා සුද්ධ කරලා ලුණු දාලා අයිස්වල ගබඩා කරනවා. එහෙම ලුණු ගහපු මාළු ගොඩට ඇවිල්ලා කරවල වෙළෙන්දන්ට විකුණනවා. වෙළෙන්දෝ කරවල වාඩිවලදී ලුණු ගහපු මාළුවල ලුණු ටික හෝදලා අව්වට දාලා වේලනවා. එතකොට හැදෙන්නේ වාඩි කරවල. ඊට අමතරව බෝට්ටුවල මාළු ආවට පස්සේ නරක්වෙච්ච තැලිච්ච මාළු අඩුවට අරන් වේලනවා.”

ධීවර පරීක්ෂක තනුක ගම්මන්පිල මහතා අපේ බත්පතට එන කරවල නිෂ්පාදනය වන ආකාරය එලෙස සරලව පැහැදිලි කරයි.

ඉතා සුළු වශයෙන් නිෂ්පාදනය වන බෝට්ටු කරවල වෙළෙඳපොළට එන්නේ තවත් පිරිසකගේ මැදිහත්වීමෙනි. ඔවුහු ධීවර වරාය තුළදී මෙම කරවල එකතු කරති. පසුව වෙළඳපොළට බෝට්ටු කරවල බෙදාහරින්නේ ඔවුන්ය. ඊට අමතර බහුදින ධීවර යාත්‍රාවල ගමන් කරන ධීවරයන්ගේ හා යාත්‍රා හිමියන්ගේ නිවාසවලද සුළු වශයෙන් මෙම බෝට්ටු කරවල වෙළඳාම සිදුවෙයි.

බෝට්ටු කරවල ධීවර යාත්‍රාවලින් මිලදී ගන්නා වෙළෙඳ මහතකුගේ නිවසට ද අපි ගොඩවීමු. ඔහු යාත්‍රා හිමියකු ද වන අතර බෝට්ටු කරවල වෙළඳාමට අමතරව ලුණු කරවල වේලීමද සිදු කරයි. ඔහු නමින් චන්දිමාල්ය.

“මුහුදු යන කට්ටියගෙන් තමයි බෝට්ටු කරවල ගන්නේ. වරායට ගිහින් ගන්නවා ගෙදරටත් ගෙනැත් දෙනවා. වෙළෙන්දෝ එනවා මෙහෙට කරවල අරන් යන්න. කඩවලටත් දානවා. අපෙත් කඩ තියෙනවා. බලයෝ තමයි ගොඩක්ම බෝට්ටුවල ගේන්නේ. මිනිස්සු අහන්නේ නම් වෙන වෙන ඒවා තමා. පොතුබරු, වන්නෝ, තෝරු, තලපත් ඒවා තමා අහන්නේ. ඒත් ඒවා ගොඩක් අඩුයි.”

බෝට්ටු කරවලවල මිල සාපේක්ෂව අනෙක් කරවලවලට වඩා වැඩිවීමට හේතු පහදන චන්දිමාල් මහතා මෙලෙස පවසයි.

“මිල වැඩිවෙන හේතුව තමා මේවා අලුත් මාළු වීම. මුහුදු යන කට්ටිය ඉතින් කෑමට ගන්න එකනේ මේ. ඒක හින්දා ඒගොල්ලෝ තමා මේවල මිල තීරණය කරන්නේ. අනික තියෙන්නෙත් පොඩ්ඩයි. ලුණු අඩුයි. අලුත්ම මාළු මැස්සෙක්වත් වහන්නේ නැතුව තමා මේවායේ. පිරිසිදුකම හොඳටම තියෙනවා. අනිත් කරවලවලට වඩා වේලුමත් වැඩියි.”

 

ඔහු පවසන ආකාරයට මේ මාසවල බෝට්ටුවල කරවල අඩුය. මුහුදේ රළු බව සහ වර්ෂාව ඊට හේතුව වී ඇත. බෝට්ටු කරවල වැඩිපුර ඇත්තේ වළාල මාසවලදීය. බැලූ බැල්මට බෝට්ටු කරවල සහ අනෙක් කරවල අතර වෙනසක් නොපෙනෙන බව ඔහු පවසයි. එය වෙනස් වන්නේ වේලී ඇති ප්‍රමාණය මතය.

අවසානයේ කරවල වෙළෙඳාම ඇතුළු ගැටලු පිළිබඳව ඔහු කියා සිටියේ ධීවර වරායෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ද පොලීසියෙන් ද මීට බාධා මිස සහයක් නොලැබෙන බවයි. කරවල නිෂ්පාදනය සඳහා නියමිත වැඩපිළිවෙලක් අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.

බෝට්ටු කරවල බව පවසමින් ඇතැම් තැන්වල සාමාන්‍ය කරවල විකුණන අවස්ථා ද දක්නට ඇත. ඒවා හඳුනාගැනීම පහසු නැත. ඒ නිසා බොහෝ දෙනා ඊට රැවටෙති. හලාවත, බේරුවල, මීගමුව, කල්පිටිය වැනි ප්‍රදේශවල මහ මග දෙපස බෝට්ටු කරවල විකිණීමට තිබේ යන පුවරු දක්නට ඇත. වරක් හෝ බෝට්ටු කරවලවල නියම රසය අත්විඳි පිරිස් මෙවන් වෙළෙඳසල්වලින් බෝට්ටු කරවල මිලදී ගැනීමට පෙළඹෙති. ගෙදර ගෙනගොස් උයා පිළියෙල කර රස බලන තුරුම සැබෑ බෝට්ටු කරවලදැයි හඳුනාගැනීම පහසු නැත. බෝට්ටු කරවලවල කට කහන ඌරල් රසය නොමැත. උම්බලකඩ තරම් නොවුණත් හොඳින් හයියට වේලී ඇත. අලුත් මාළුවලින් සෑදූ බව දිවට දැනෙනු ඇත. එසේ නම් ඒවා නිසැකවම බෝට්ටු කරවල බව හඳුනාගත හැකිය. එසේ නොමැතිනම් ඒවා සාමාන්‍ය කරවල වේ.

►චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ / සුමුදු හේවාපතිරණ

 
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00