2018 ජුලි 07 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

විජේකලා කරපු කතාවකින් රටම ගිනි අරගෙන. මාතෘකාවක් නැතුව හිටිය දේශපාලකයන්ට මේක හොඳ මාතෘකාවක්, අරමුණක් නැතුව හිටිය පිරිසකට මේක හොඳ අරමුණක්.

දැන් බලමු විජේකලා කිව්ව මේ කතාව. එයා කියනවා ඒ පැත්තේ සිදුවන ළමා අපචාර කාන්තා දූෂණ එල්.ටී.ටී.ඊ.ය තිබ්බ කාලේ වුණේ නෑලු. මීට වඩා හොඳට හිටියලු. එච්චරද එහෙම ඉන්න නැවතත් එල්.ටී.ටී.ඊ.ය අවශ්‍යලු. එයා මේක කියන්නේ ෆුල් සීරියස්. ඇත්‍තම එයා මේ කතාව කියන්නේ දෙමළ ප්‍රජාවගේ ප්‍රකාශයක්වත්, එහෙම නැත්‍තන් දෙමළ ඩයස්පෝරාවේ ප්‍රකාශයක්වත් නෙමෙයි. ඇය මේ කියන්නේ සීමිත ප්‍රජාවක් වෙච්චි එල්.ටී.ටී.ඊ. ඩයස් පෝරාවේ ප්‍රකාශයක්.
ඇයගේ මේ පළවෙනි ප්‍රකාශයත් නෙමෙයි. මීට කලින් එයා එක්තරා රූපවාහිනී චැනල් එකකදී එයාගෙන් නිවේදකයා අහනවා ඔබ පිළිගන්නවද එල්.ටී.ටී.ඊ.ය විසින් පාසල් ළමුන් පැහැරගෙන ගියා කියලා. ඇය ඒකට උත්තරයක් දෙන්න බැරුව අසරණ වෙලා ඇඹරෙනවා. අන්තිමට ඇය කියනවා ඒක මම දන්නේ නෑ. දැකලත් නෑ කියලා. එතකොට මුළු ලෝකයක් පිළිගන්න මේ අපරාදය යාපනේ ජීවත්වෙන විජේකලා පිළිගන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි එහෙම අහලත් නෑ. ඒ කාරණයෙන්ම හිතෙන්නේ නැද්ද ඇය කරන්නේ මේ ව්‍යාජ රඟපෑමක් කියලා.

කොහොම වුණත් ඇය මේ කරන්නේ එක්තරා ආකාරයක දේශපාලන රඟපෑමක්. එකක් ඇය මේ හරහා දෙමළ ජනතාවගේ විමුක්තිකාමී දේශපාලනඥවරිය වෙන්න හදනවා. අනෙක් පැත්තෙන් ඇය එල්.ටී.ටී.ඊ. ඩයස් පෝරාවේ රූකඩයක් වෙන්න හදනවා.

මේ ඇය කියන දෙය කොච්චර අසාධාරණද කියන්නේ, මේ රටේ යුද්ධය නිසා වැඩියෙන් මිනිස්සු පීඩාවට ලක්වුණේ උතුරේ අය. දරුවෝ බාගෙට බාගයක් මළේ උතුරේ මිනිස්සුන්ගේ. ඔය උතුරේ හැම වැලිකැටයක්ම ලේ රහ දන්නවා. එහෙම තත්ත්වයක තිබ්බ උතුරට නැගෙනහිරට ඇය කොහොමද නැවත ත්‍රස්ත සංවිධානයක් හරහා විමුක්තියක් පතන්නේ. ඇය ලැජ්ජ වෙන්න ඕනේ ඇයව පාර්ලිමේන්තු යැව්වේ ජනතාව ත්‍රස්තවාදය අත් ඇරලා ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමලා. ඇය ඒ නිසයි ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු ගියේ. එහෙම් ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිස්සු වෙනුවෙන් ඇයට කිසිදෙයක් කරගන්න බැරිවුණාම ඇය සරලම සහ පහසුම විසඳුමක් විදිහට එල්.ටී.ටී.ඊ.යට ආවඩනවා. ඒක කොයිතරම් වැරදි ප්‍රකාශයක්ද?

ඒ විතරක් නෙමෙයි ඇයට අමතක වෙලා තියෙනවා ඇගේ සැමියවත් ඝාතනය කළේ එල්.ටී.ටී.ඊ.ය විසින් කියලා. එහෙම ඇයට අමතක වෙන්න පුළුවන්ද? පැහැදිලිවම ඇය එල්.ටී.ටී.ඊ.යට නායකත්වය දීලා නැවත සංවිධානයක් හැටියට පිහිටුවනවා කිව්වොත් කොල්ලෝ 50ක් ඇයට හොයාගන්න බැරිවෙනවා. මොකද උතුරේ මිනිස්සු තවමත් උණ්ඩ සද්දයට බයයි. ඒ නිසා මේ ලේ හැලිල්ලකට යන පාර නවත්‍තන්න ඕනෙමයි.

කවුරුහරි කියනවා නම් මේක ගණන් ගන්න එපා කියලා. ඒක වැරදි ප්‍රකාශයක්. මොකද නියපොත්තෙන් කඩන්න ඕන ඒවා පොරවෙන් කඩන්න ඕන වුණාම ලොකූ කාලයක්, ශ්‍රමයක් වැය කරන්න වෙනවා. ඒ නිසා වසර තිහක් මේ යුද්ධය තල්ලු වෙවී ගියේ. ඒ නිසා යුද්ධය, ත්‍රස්තවාදය කියන දේ උතුරටවත් දකුණටවත් නෙමෙයි ලෝකෙටම ඕනේ නෑ. වෙන්නේ අමු අමුවේ මිනිස්සු එළිපිට මරණයට පත්වීම විතරයි. මරණය ස්වභාවධර්මයාට අනුව වුණාට කමක් නෑ. හැබැයි ලේ ගංඟා නැවත පොළව දිගේ ඇදෙන මිනී කඳු ගොඩගැගෙන මරණ වෙන්න බෑ. විජේකලාට කටින් කියන්න පුළුවන් වුණාට. ඒක අපිට ආයි දරන්න අමාරුයි. ඒ නිසා විජේකලා ත්‍රස්තවාදය අවුස්සන එකයි දකුණේ අයගේ ජාතිවාදය අවුස්සන එකයි දැන්වත් නවත්තන්න. නැත්තන් වෙන්නේ මේ රට සොහොනක් වෙන එක. අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන ජාතියක්. හැබැයි කරුමෙට අපි නැවත නැවත යන්නෙම අතීතයට. ඒකයි ලෝකේ අනික් රටවලුයි අපේ රටෙයි වෙනස.

►මම
බ්‍රෝ