2018 ජුලි 07 වන සෙනසුරාදා

බොලිවුඩයේ බෑඩ්ඈස් තරුව

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

සංජේ දත් කියන්නේ පොඩිකාලේ මම කැමතිම හින්දි නළුවා. ඒ උගේ මාර හැකියාවක් තියෙන හින්දා නෙමෙයි. ඒ කාලේ ජනප‍්‍රියම වෙලා හිටිය අමීර් ඛාන්, සල්මන් ඛාන්. උන්ගේ රෝසමල් වගේ මූණු මට අප්පිරිය වෙලා තිබුණේ. ඒ වෙනුවට මත්වුණු ඇස් තියෙන, කහ ගැහුනු දත් තියෙන, සංජේ දත්ගේ නොදැමුණු සල්ලාල පෙනුමට මම කැමති වුණා. සංජේ දත්ගේ විතරක් ලොකු පෝස්ටරයක් මගේ කාමරේ ඇලවුණා. උගේ ෆිල්ම් එලව එලවා බැලුවා. කාලයක් යද්දි සංජේ දත්ව මට අමතක වෙන්න ගත්තා. ඉදිමුණු ඇඟක් එක්ක ආපහු ෆිල්ම්වලට එන්න දඟලද්දි මට එච්චර interest එකක් දැනුණේ නෑ. අන්තිමට මම සංජේ දත්ව බලන්න ආසාවෙන් බැලුවේ කල්නායක්, මුන්නාබායි එම්.බී.බී.එස්, අග්නිපත් වගේ ෆිල්ම්වලින්. වෙනස් මතක හිටින චරිත අරන් ආවට වීරයා අහවර වෙලා තිබුණේ.

සිනමාවට එළියෙන් සංජේ දත් මැරයෙක් විදිහට ප‍්‍රසිද්ධ වෙන්න ගත්තා. තුවක්කු කේස්වලට, බෝම්බ කේස්වලට පැටලෙන්න ගත්ත. ඩ‍්‍රග්ස් කොහොමත් උගේ ඇඟේම තිබුණා. අවුරුදු ගාණක් හිරගෙයක් ඇතුළේ සංජේ දත්ව වැහිලා ගියා.

රාජ් කුමාර් හිරානි ‘සංජු’ ෆිල්ම් එක කරන්නේ නීතියෙන් නිදහස් වුණ සංජේව සමාජෙන් නිර්දෝෂී කරන්න. ෆිල්ම් එකකට ඕන කරන බඩු ඕනතරම් සංජේගේ ජීවිතේ ඇතුළේ තියෙනවා. කොයිතරම් ළඳබොළඳ තැන් තිබුණත් හිරානි සංජේ දත්ගේ කතාව ඉමෝෂනලි අඬවන තරමට ගේනවා. සංජේ වැරදි නොකළා කියන්න හිරානි කොයිවෙලාවකවත් ට‍්‍රයි කරන්නෙ නෑ. ඒ වෙනුවට ඌ ඒක හියුමන් එරර් එකක් කරනවා. හිරානිට ඌව නිර්දෝෂී කරගන්න ඕන එකම එක කාරණයකින් විතරයි. ඒ සංජේ ත‍්‍රස්තවාදියෙක් කියන චෝදනාව. චිත‍්‍රපටකරුවෙක් විදිහට හරිම ටැක්ට්ෆුල් වැඩක් දක්ෂ විදිහට හිරානි අතින් කෙරෙනවා. ඒ වගේම රන්බීර් කපූර් උගේ ඇක්ටින්වල හතරමායිම අක්කර ගාණකින් පළල් කරනවා. එනකං බලන් ඉඳලා ඉඩ තිබුණ දෙවෙනි දවසෙම හෝල් එකකට ගිහින් ෆිල්ම් එක බලන්න තරම් උනන්දුවක් ඇති කරන්න ට්‍රේලර් එකේ තිබුණ සංකලනයම ප‍්‍රමාණවත් වුණා. ආපහු සංජේ දත්ව දකිද්දි අර පරණ කාමරේ තිබ්බ පෝස්ටරේ ලව් එකෙන් ඌ දිහා බලන තැනක ෆිල්ම් එක ඉවර වෙද්දි හිරානි මාව පාක් කරලා තිබුණා. මේ බයොපික් එකේ ඇත්ත නැත්ත මොනවා වුණත් ‘වට් අ ලයිෆ්’ කියලා හිතෙන කතාවක් සංජේ දත් ළඟ තියෙනවා කියලා හිරානි ඔප්පු කරනවා. ඌ තමයි බොලිවුඩයේ බෑඩ්ඈස් තරුව. ඒක වෙන කාටවත් ගන්න බෑ.

►චින්තන ධර්මදාස