හීන ඇතුළෙම ඇස් ඇරෙන
දෙනෝ දාහක් දෙනා අතර
පන්තියෙ බිත්තියක අපි ලිව්ව
ඉගෙනීම කටු අත්තක්ය කියලා
එහි ඵලය මල් ඉත්තක්ය කියලා
ඊට පස්සෙ ආයෙම අපි
පොත් ඇතුළෙ ඔළුගෙඩි හංගගත්ත
ඩෙස්වල ඇඳපු මිකීමව්ස්ලා
හිනාවෙන්නත් ඇති සමච්චලේට
දුටුගැමුණු එළාරව පැරැද්දුවා කියද්දී
කමලන්ගෙ පැත්තට හැරිලා
මැදගිල්ල දිග්කරපු අපිව දැකලා
විභීෂණ උලකුඩේට දරුවෙක් දුන්නා කියද්දි
සැළලිහිණියට දුම් අල්ලපු අපිව දැකලා
හැබැයි මෙහෙම දේකුත් තියනවා මචං
එකම එක බලාපොරොත්තුවක්
හිත් ඇතුළේ තදකරන් අල්ලගෙන
ගුරුවරුන්ගෙ වේවැල් පාරවල් මැදත්
අපි ඇස් ගත්තෙ නෑ
බිත්ති ඔරලෝසුවෙන් පිටට
ටීචර් එනවත් එක්කම
පළවෙනි පීරියඩ් එකට පන්තියට
හිතේ උපදින බලාපොරොත්තුවෙ
එළිවැට වුණේ බෙඩ් ෂීට් එකක උණුසුම
පුළුන් කොට්ටෙක සනීපය
පොත් පිටු අපිට නොකිව්ව
දිග කතාවක් අපිට මඟ ඇරිලා
මවුලවලින් කතා ගොතපු
අපේ උපපරමාණුක ජීවිතවලට
ටොයිලට් ගඳ අමතක වුණා බං
බත් පෙට්ටිය දිග අරිද්දි
බ්‍රෝ අපි මොකෝ කරන්නෙ?
ප්‍රවේග කාල ප්‍රස්තාරෙක ඇඳලා
ජීවිතේ ත්වරණය හොයමුද?
නැත්නම් මධ්‍ය ලක්ෂ හොයමුද?
ජීවිතේ සමාන්තර කරගන්න
ගිණුම්කරණ සමීකරණෙන්
ජීවිතේ මුළු හිමිකම හොයන්නද?
අනාගතයක බර දරාගෙන
පියානෝ එකක් උඩ ඉඳගෙන
ස්ලිප් කැච් අල්ලන්න හුරුවෙමුද?
ඒ කිසිම තැනක
අපි ගැන ලියවිලා තියනවද?
මිනිහෙක් කියන්නෙ කව්ද?
සහෝ උඹ දන්නවද?
රජවරුන්ගෙ යට ඇඳුම් ගැනත් ඉගෙනගත්තු
අපිගැන නොදන්න අපි
මහ අමුතු සත්තු.
►මායන දස්නක