අපරාධද කාලය සමඟ අලුත් වෙයි. මුදල් යන්න වඩාත් සංවිධානාත්මක අපරාධවල ගෙවීමේ මාධ්‍ය නොවූ අවස්ථා අප දැක තිබේ. අදටත් ලොව මත්ද්‍රව්‍ය වෙනුවෙන් විශාල පරිමාණ ගෙවීම් සිදුවන්නේ දියමන්ති හා රත්‍රන් වලිනි. ඒ තුළ මුදලේ වටිනාකම් සසල වීම් ආදිය නිසා වන ගැටලු මඟහැරේ. මෙරටද දැන් මුදල් වංචාවල මුහුණුවරට අලුත්ම ආභරණයක් එක්ව තිබේ. ඒ ජංගම දුරකථන මුදල් හුවමාරුව හෙවත් එදිනෙදා භාෂාවෙන් පවසන්නේ නම් ඊසි කෑෂ්ය. මුදල් සංසරණයේ නව ඉසව්ව හරහා සිදුවන විශාල ජාවාරමක් පිළිබඳ මේ ලියැවිල්ලට හේතුවන්නේද ඊට මුහුණ දුන් මාධ්‍ය ක්ෂේත්‍රයේම අයකුගේ අත්දැකීම්ය.
මෙරට සතිඅන්ත පුවත්පත් සමඟ වෙළඳදැන්වීම් අතිරේක මුද්‍රණය කෙරේ. ඒ ඒ පුවත්පත්වල වෙළඳ දැන්වීම් අතිරේකයට ඒ ඒ නම් ඇති අතර සාමාන්‍යයෙන් රුපියල් දහසක් දෙදහසක් ගෙවීමෙන් අනතුරුව එවන් අතීරේකයක අඟල් එකහමාරක පළලක් සහිත දැන්වීමක් පළකරවාගත හැකිය. මේ අතරේ මූල්‍ය හා කල්බදු යැයි සඳහන් වෙනමම දැන්වීම් කොටසක්ද පළවේ. ඒ යටතේ පළවන මෙවන් දැන්වීම් රැසක් වේ.
1.5% පොලියට ණය මුදල් ඉතා ඉක්මණින් ක්ෂණිකව ඕනෑම මුදලක් ඇප සහිතව හෝ රහිතව ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම පුද්ගලයෙකුට ලබාගැනීම. කොන්දේසි නැත. අමතන්න (ජංගම දුරකථන අංකයක්)
ඉඩම්, නිවාස, ස්වයං රුකියා, චෙක්පත් ඕනෑම දෙයක් ඇපයට තබා හෝ නොමැතිව ඔබට ක්ෂණික ණය මුදලක් එක් දිනකින් අඩු පොලියට ලබාගත හැකිය. ඕනෑම ප්‍රදේශයක ස්ථිර හා කුලී පදිංචි අයට ලබාගත හැක. දිවයින පුරා සේවය. ව්‍යාපාර සඳහා සහනදායි පොලී මුදල්. අමතන්න.. (ජංගම දුරකථන අංක)
01 සිට 04 දක්වා දේපල ඇපයක් හෝ චෙක්පත් මත ණය ලබාදේ. ක්‍රිබ් අනවශ්‍යයි. දින 4ක් ඇතුළත ලබා දේ. දිවයින පුරා. (ජංගම දුරකථන අංක)
ලක්ෂ 6ක් දෙන්නම් අටදාහක් දාන්න කිව්වා
මේ කිහිප ආකාරයක උදාහරණ පමණි. මෙකී අපූරු වංචාවේ එතැනින් එහා කතාව අසන්නට පාඨක ඔබව මොහොතකින් ඉන් බැට කෑ අයකුට මුණගැස්සවිය යුතුය. ඔහු නමින් කස්සප සෙනරත්ය. (නියම නම නොවේ) හේ මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක සේවය කරන්නෙකි.
ඒක මාර ගේමක්. මෙයාලාට මම කතා කළා. ඇත්තටම මට සල්ලි හදිස්සියක් තිබුණා. ඒ නිසා මම මෙයාලාගෙන් සල්ලි ගන්න හිතුවේ. මේ කියන විදියට පුදුමත් හිතෙනවා. බැංකුවක් වුණත් ණය දෙන්නේ 13%නේ පොලියට. මෙයාලා දෙන්නේ 4%ට. කොහොමද කියලා හිතාගන්න බෑ. කොහොම හරි මෙයාලා මේ දාලා තියෙන අංකවලට කතා කළා. දවල්ට ඔය අංක වැඩ කරන්නෙම නෑ. හවස 1ට පස්සේ තමයි ඕව වැඩ.
මම මේ එක්කෙනෙක්ට කතා කරලා කිව්වාම එයා කිව්වා ග්‍රාමසේවක සහතිකය විතරයි ඕන. වෙන මොකුත් එපා කියලා. මම ඒක ලැහැස්ති කරගෙන එයාට කතා කළා. එයා කිව්වා ඒක ළඟ තියාගන්න කියලා. පස්සේ මෙන්න එදාම හවස 4ට විතර කතා කරලා කියනවා හරි හෙට ඔයාගේ සල්ලි දෙන්නම්, ලැහැස්තිවෙලා ඉන්න කියලා. මටත් සතුටුයි. දැන් වැඩේ ගොඩ නිසා. එයා හැන්දෑවේ 6ට විතර ආයෙත් ගත්තා. අරගෙන කිව්වා නීතිඥ ගාස්තු ගෙවන්න එයාට බෑ, ඒක මට ගෙවන්න කියලා. මම එයාගෙන් ලක්ෂ 6ක් ඉල්ලපු නිසා මම ඒකට කැමති වුණා. මම ඇහුවා නීතිඥ ගාස්තුව කීයක්ද කියලා. රුපියල් 8000ක් ගෙවන්න ඕනලු. ඒ සල්ලි මම එයාට දෙන්න ඕනලු. මම කිව්වා හරි, ඒ සල්ලි ඔයා මට දෙන ලක්ෂ හයෙන් අඩු කරගෙන මට ඉතිරි ටික දෙන්න කියලා. ඒ ලක්ෂ 6 ගන්නේ හෙට බැංකුවෙන් නිසා නීතිඥ ගාස්තු අදම ගෙවන්න ඕන නිසාත් ඒ වෙලාවෙම සල්ලි එවන්න කිව්වා...
දැන් ඔය කතා කරන කෙනා කොළඹද?
මට කියන්න බැරිවුණා. එයා මට කිව්වේ නුවර වත්තේගම කියලා. හැබැයි ඒකෙත් මෙහෙම එකක් තියෙනවා. එයාලාට අපි කතා කළාම ඒ ගොල්ලෝ ඉස්සෙල්ලා අහගන්නවා අපි කොහේද කියලා. අපිට ලේසියෙන් ඉක්මණින් එන්න බැරි තැනක් තමයි කියන්නේ. මම කිව්වා මම කැලණියේ කියලා. ඒ නිසා තමයි මට එයා නුවර කිව්වේ. මම කිව්වා නම් එහෙම මගේ ගෙවල් නුවර කියලා එයා කියාවි අනුරාධපුරේ කියලා...
හරි, දැන් ඔයා නීතිඥ ගාස්තු ගෙව්වද?
මම කිව්වා දැන් හැන්දෑවේ හයයි. දැන් බැංකු වහලා. හෙට තමයි සල්ලි එවන්න වෙන්නේ කියලා. එයා කිව්වා එහෙම කරන්න බෑ, නීතිඥ මහත්තයා අල්ලාගත්තේ හරිම අමාරුවෙන්. ඒ නිසා මේක අදම ඉවරයක් කරගන්න කියලා. මම ඇහුවා ඉතින් දැන් මම කොහොමද සල්ලි එවන්නේ, එහෙනම් මම දැන් නුවර එන්නද කියලා. එයා කිව්වා නුවර එන්න එපා. එයා දැන් ඉන්නේ නාවලපිටියේ. ඒ නිසා රුපියල් 8000ක් ඊසිකෑෂ් කරන්න කියලා. මම ඔය ඊසිකෑෂ් එකක් දන්නෙත් නෑ. එයාම මට ඊසිකෑෂ් ගැන ඔක්කොම කියලා දුන්නා. ඒ කියද්දි මට සැක හිතුණා. මම ඒ නිසා කිව්වා මට පොඩ්ඩක් පරක්කු වුණාට කමක් නෑ, මම ඔයාගේ බැංකු ගිණුමකට සල්ලි දාන්නම්, නැත්තම් මම නුවර එන්නම් කියලා. එයා කිව්වා එයාට ඊට පහුවැනිදා යාපනේ යන්න තියෙනවා, ඒ නිසා මේක ඉවරයක් කරන්න දැන් සල්ලි එවන්න කියලා. මම හරි බලන්නම් කියලා ෆෝන් එක තිව්වා. මට අර ග්‍රාමසේවක සහතිකේ එවන්න කියලා ෆැක්ස් අංකයකුත් දුන්නා...
හාල් මෝල් වෙළෙඳුන්ගෙන් ලක්ෂ ගාණක් ගරලා
මේ සඳහා ලබා දෙන්නේ කිසිවකු සැක නොසිතන ලෙසින් ස්ථාවර ෆැක්ස් දුරකථන අංකයකි. ෆැක්ස් කරනු ලැබූ තැනැත්තාට එය ස්ථාවර දුරකථනයක් නිසා ඒ ගැන කිසිදු ආකාරයක සැකයක්ද ඇති නොවේ. එහෙත් එම ෆැක්ස් අංකය බොහෝ විට රාජ්‍ය ආයතනයක විය හැකිය. නොදන්නා අයකුගේ හැඳුනුම්පත් පිටපතක් යම් ආයතනයකට ලැබුණු විට එය කුණු කූඩයට දැමීම පමණක් සිදුවේ.
ඊට පස්සේ?
මට ආයෙත් පැයකට විතර පස්සේ අරගෙන කියනවා එයා දැන් නීතිඥ මහත්තයාගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ, ඉක්මනට සල්ලි එවන්න කියලා. මම කිව්වා එහෙනම් මම නීතිඥ මහත්තයාට කතා කරන්නම් එයාට ෆෝන් එක දෙන්න කියලා. ඔයාට මෙච්චර උදව්වක් කරන්න ගිහිල්ලත් ඔහොමද කරන්නේ කියලා එයා කට් කළා. එයා එක්ක ගනුදෙනුව එච්චරයි...
මේ ජාවාරමේ අපූරුම ක්‍රමය එයයි. ඔවුන් මෙවන් දැන්වීම් පළකර ඒවාට අමතන පිරිසගෙන් මුදල් කඩාගැනීම සිදුකිරීම තම ජීවිකාව කොටගෙන තිබේ. බොහෝ විට එකම පුද්ගලයා විසින් එකිනෙකට වෙනස් දැන්වීම් එකිනෙකට වෙනස් දුරක්ථන අංක සහිතව පළ කිරීමෙන් රටපුරා සිටින මුදල් හදිස්සියෙන් පෙළෙන පිරිස් රවටා ගැනීම සිදුකරනු ලැබේ.
ඊසි කෑෂ් හරහා සිදුවන සුවහසක් ජාවාරම් අතර මෙය එකක් පමණි. වහාම රැකියා ලබාදෙන බව පවසමින් සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කරමින් එම රැකියා සඳහා අයදුම්කරන්නන්ගේ මුදල් ඊසි කෑෂ් ක්‍රමයට වංචා කරන පුද්ගලයන් පිළිබඳවද අපි මෙකී කාරණය සම්බන්ධව පොලිසියෙන් විමසූ විට දැනගන්නට ලැබුණි. බර වාහන රියැදුරන් බඳවාගන්නා බවට සති අන්ත පුවත්පත්වල දැන්වීම් පළ කර රියදුරකුට දිනකට රුපියල් 3000ත් 4000ත් අතර වැටුපක් ලබාදෙන බව පවසමින් එම අදාළ දුරකථන අංකයට ඇමතූ පසු ලියාපදිංචිය හා හැඳුනුම් පතක් සකස් කිරීම සඳහා රුපියල් 2500ක පමණ මුදලක් ඊසි කෑෂ් ක්‍රමයට තැන්පත් කරන බව පවසා පසුව දුරකථනය විසන්ධිකර එම මුදල් වංචා කරන ජාවාරමක් ගැන තොරතුරු ලැබී ඇති බවත් දැන් ඒ ඔස්සේ කටයුතු කරන බවත් කියැවුණි.
ඊසි කෑෂ් කතා අපූරුය. යුද හමුදාවට සහල් තොග සපයන්නන් ලියාපදිංචි කිරීමේ මුවාවෙන් ඊසි කෑෂ් ක්‍රමයට ලියා පදිංචි කිරීමේ ගාස්තු ලෙස සහල් මෝල් හිමියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනක් එකතුකර වංචා කළ තරුණයෙක් පසුගියදා පොළොන්නරුව පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය. දිනකට රුපියල් 4000ක කුලියට ලබාගත් වාහනයකින් ගොස් රජරට හාල්මොල් හිමියන් හා ව්‍යාපාරිකයන් හමුවී මෙම පුද්ගලයා මෙම වංචාව කර ඇතැයි පොළොන්නරුව පොලීසිය පවසයි. තවද මොහු මීරිගම සහල් මෝල් හිමියකුගෙන් රුපියල් 18000ක් ඊසි කෑෂ් ක්‍රමයට ගෙන්වා ගෙන ඇතිබවද පොලිස් වාර්තාවල දැක්වේ. ජංගම දුරකථනය මේ වන විට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වී ඇති බව නොරහසකි. ගමේ ගොඩේ කඩ පිලේ පවා මේ වන විට ජංගම දුරකථනය අලුත් භාණ්ඩයක් නොවේ. එහෙත් ජංගම දුරකථන නිසා සිදුවන සමාජ ව්‍යසනය මේ වනවිට උග්‍ර වී ඇත. එය ඊයේ පෙරේදා තවත් ව්‍යසනයක් ලබාදී ඇත.
ජංගම දුරකථනය ඇත්තෙන්ම දෙපැත්ත කැපෙන අවියක් බවට පත් වී ඇත. එය අද වන විට මෙරට ජනතාව රැවටීමේ භයානක අවියක බවට පත් වී හමාරය. ජංගම දුරකථන භාවිතයේ දෙපැත්ත කැපෙන අවිය වී ඇත්තේ මෙයයි. ජංගම දුරකථන සම්බන්ධ විවිධ පැමිණිලි ගලා ආවද දිනපතාම රැවටී තම මුදල් නිරපරාදේ විනාශ කර ගන්නා ලද අවස්ථා වාර්තා වන්නේ ඉතා මෑතක සිටය. මෙය දිනෙන් දිනම වැඩිවන තත්ත්වයට පත් වී ඇත. තමා දුක් මහන්සියෙන් හරි හම්බ කරගන්නා මුදල් ජංගම දුරකථන සමාගම් යැයි කියා අමතන පිරිස්වලට රැවටී නැති කර ගන්නා පිරිස් දිනෙන් දිනම වාර්තා වීම දැන් සුලබය.
ෆැක්ස් අංකය කාගෙහරි ඔෆිස් එකක
ජංගම දුරකථන සමාගම්වලින් තරග ජයග්‍රහණ දිනා ඇති බව පවසමින් දුරකථන පාරිභෝගිකයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක් මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පසුගිය සමයේ වාර්තා විය. මේ පිළිබඳ දුරකථන සමාගම් මගින් තම දුරකථන පාරිභෝගිකයන් දැනුම්වත් කර ඇතත් සමහරක් දෙනා මෙම වංචාවට හසු වී ඇතැයිද දැනගන්නට තිබේ. දැනටමත් එවැනි ඇමැතුම් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇති අතර මෙම දුරකථන ඇමතුම් ලබාදෙන ඇතැම් අය රිමාන්ඩ් භාරයේ සිටින්නන් බවටද පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත. ත්‍යාගයක් හිමි බව පවසා ඔබට දුරකථන සමාගමකින් ඇමැතුමක් ලබාදී එම මුදල දීමට රුපියල් 5000, 10,000ක් ඊසි කෑෂ් කරන ලෙසට දැන්වුවහොත් ඒ ගැන සැලකිලිමත් වීම මිස ඔවුන් කියනා කියනා පදයට නැටීමෙන් තමන් මුලා විය හැකි බව නීති අංශවලින් වැසියන් දැනුම්වත් කොට තිබේ.
ඊසී කෑෂ් සෙල්ලම් පිළිබද විදුලි සංදේශ නියාමන කොමිෂමේ පාරිභෝගික පැමිණිලි හා මහජන දැනුම්වත් කිරීම් අංශයේ නියොජ්‍ය අධ්‍යක්ෂක මෙකී කාරණය පිළිබද ප්‍රකාශ සිදුකර තිබේ. ඔවුනට අනුව මේ වන විට මේ තත්ත්වය තවත් අතකට පෙරළමින් තිබේ. දැන් දුරකථනයට ඇමතුම් ලබාදී ඔබට රුපියල් ලක්ෂ 20ක හෝ ලක්ෂ 10ක මුදලක් හිමි වී තිබෙනවා. ඒ බව එස්.එම්.එස් පණිවුඩයක් මඟින් දැනුම් දුන්නා. නමුත් ඔබ ඒ සඳහා ප්‍රතිචාරයක් දැක් වූයේ නැහැ. එය මේ වන විට අක්‍රිය වී තිබෙනවා. එය යළි ක්‍රියාත්මක කිරීමට රුපියල් 10000ක් හෝ යම් කිසි මුදලක් දැනුම් දී තැන්පත් කරන්න. යනුවෙන් දන්වනු ලැබේ. පුද්ගලයා අනුව අවශ්‍ය වංචා ක්‍රමය ඔවුන් විසින් ක්‍රියාවට නංවනු ලැබේ. එහෙත් ඒ කිසිදු පැමිණිලි කිරීමක් විභාග කිරීමේ හැකියාවක් විදුලි සංදේශ නියාමන කොමිසමට හැකියාවක් නැත. එය පොලිසිය හරහා වංචා කිරීම් සම්බන්ධ පැමිණිල්ලක් සේ ඉදිරියට ගෙන යාමට සිදු වේ. ඇතැම් විට මේ වංචාකරුවන් පවසන්නේ තම දුරකථන අංකයන්ට රීලෝඩ් දමන ලෙසයි. නැත්නම් රීලෝඩ් රහස් අංක පවසන ලෙසයි. එම රීලෝඩ් භාවිතා කර තවත් අයට ඇමතුම් ලබාදීමට ඔවුහු ක්‍රියා කරති.
මේ වන විට දිනකට එක් පුද්ගලයකු හෝ මේ ජාවාරමට අසුවන බව පෙනෙන්නට ඇත. එය වැළැක්වීමට හැකියාව ඇත්තේ ග්‍රාහකයාට පමණි. විදුලි සංදේශ නියාමන කොමිසමට ඒ සම්බන්ධයෙන් වත්මන් ක්‍රමවේදය තුළ කළ හැකි කිසිවක් නැත. මේ වන විට ජංගම දුරකථන සමාගම් විසින් වරින් වර මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට පියවර ගත්තද ඒ ගැන මඳ අවබෝධය නිසා හෝ ඒ සම්බන්ධව නිසි අවබෝධයක් නොමැති කමින් හෝ මේ ජාවාරම්කරුවන්ට දිගින් දිගටම අසුවන බව පෙනේ.
♦ විමුක්ති රත්නමලල