2018 ජුලි 14 වන සෙනසුරාදා

මොකක්ද මේ වෝහාරික විගණනය

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2522

වෝහාරික විගණනයක් පිළිබඳ මේ දිනවල නොයෙක් විට අසන්නට ලැබේ. පසුගිය දා සිදුවූවායැයි කියන බැඳුම්කර වංචාවේදී සිදුව ඇති සම්පූර්ණ අලාභය ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් අවශ්‍ය බවට නොයෙක් දෙනාගෙන් ප්‍රකාශ විය. එයට හේතුව සාමාන්‍ය මූල්‍යමය විගණනයකින් එහි යථා තත්ත්වය අනාවරණය කරගැනීමට අපහසු වීමය.

බැඳුම්කර වංචාව මගින් ශ්‍රී ලංකා මහබැංකුවට සහ රටට සිදුවූ සමස්ත මූල්‍යමය හා ආර්ථික හානිය ගණනය කළ නොහැකි තරම් සුවිශාලවේ. එසේම එය මෙතෙකැයි කියා සංඛ්‍යාත්මකව පැවසීම අංගසම්පූර්ණ නොවේ. එයට හේතුව බැඳුම්කර සිද්ධිය නිසා රටට සිදුවන හානිය අනාගතයටද විවෘත බැවිනි. අනාගතයේදී බැංකු පොලිය ඉහළ නැගීම රටේ සමස්ත පොලී අනුපාතිකය ඉහළ නැගීම මේ නිසා සිදුවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. එය මතුපිටින් සිදුවන හානියට වඩා ගැඹුරට විහිදී ඇත. මෙය විවිධ අංශවලට බලපායි.

මෙවැනි අවස්ථාවක වෝහාරික විගණනයකට යායුතු වෙයි. යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරම්භයේ සිට අවසානය දක්වාම සම්පූර්ණයෙන් විමර්ශනාත්මකව පර්යේෂණයකට ලක්කිරීම වෝහාරික විගණනය ලෙස අර්ථ දැක්විය හැකිය. සමහර තාක්ෂණික කරුණු සාමාන්‍ය විගණනයකදී අනාවරණය කරගත නොහැකිය. උදාහරණයක් ලෙස පැවසුවහොත් විදුලිබල මණ්ඩලයේ නැතිනම් ටෙලිකොම් ආයතනයේ මිලදී ගැනීමක් විය හැකිය. එවැනි අවස්ථාවලදී එම විෂය පිළිබඳ ප්‍රවීණත්වයක් දක්වන විශේෂඥයන්ගේ සහාය සහ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය වේ.

පසුගියදා ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියේදී රටට සිදුවූ සම්පූර්ණ හානිය හා එහි බලපෑම අදට මෙන්ම අනාගතයට ද බලපාන්නේ කෙසේද යන්න සොයාබැලීමට වෝහාරික පරීක්ෂණ විගණනයක් මගින් සිදුකළ හැකිය. බැඳුම්කර සිද්ධියේ මේ මෑතකදී ප්‍රකාශ වූ එක් කරුණක් වන්නේ බැඳුම්කර කොමිෂම් සභාව ක්‍රියාත්මක වූ පසුව මහේන්ද්‍රන් විසින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට රුපියල් ලක්ෂ 50ක් දුන් බවය. බැලූ බැල්මට මෙවැනි මුදලක් දුන් බව ප්‍රකාශ වුවද ඇත්ත වශයෙන්ම මෙවැනි මුදලක් දුන්නා නම් එසේ දුන්නේ ඇයිද? එයට හේතුව කුමක්ද? එයින් බලාපොරොත්තු වූ ප්‍රතිලාභය කුමක්ද? එය බැඳුම්කර ක්‍රියාදාමයට කොතරම් දුරට සම්බන්ධ ද ආදී වශයෙන් මුල සිට අගටම කරැණු සොයාබැලීම මෙවැනි විගණනයකින් කළහැකිය.

මෙවැනි විගණනයක ප්‍රතිඵල අධිකරණවලදී පිළිගත හැකි සත්‍ය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකිය. එය කිසිවිටෙකත් අභියෝගයට ලක්නොවන්නේ මෙම ශිල්පීය ක්‍රමය වැරදි සහගත බව කිසිම කෙනෙකුට ඔප්පු කළනොහැකි බැවිනි. එසේම මෙවැනි විමර්ශනයකදී ආයතනයක රහස්‍යයැයි සැලකෙන තොරතුරැ ලබාගැනීමට හැකියාව ඇත. ඒවා ඉදිරිපත් කිරීම පැහැරහැරිය නොහැකිය. බොහෝ අවස්ථාවල වෝහාරික විගණනයකට සාමාන්‍ය විගණනයකට වඩා වැඩි කාලයක් ගතවේ. එයට හේතුව මුල සිට අග දක්වා යළිත් යළිත් පරීක්ෂාකිරීමට සිදුවන නිසාය. සැක තැන් පිළිබඳ සියල්ල සනාථ වනතුරු දැඩිව පරීක්ෂා කෙරේ.

ඇතැම් විට මරණ පරීක්ෂණද වෝහාරික ලෙස සිදුකරයි. යම් මරණයකට හේතුව මරණ පරීක්ෂකවරයා හෝ අධිකරණ වෛද්‍ය නිලධාරියා පරීක්ෂා කර ප්‍රකාශ කරන නමුත් ඒ දෙදෙනාට මරණයට සත්‍ය හේතුව ප්‍රකාශ කිරීමට ගැටලු මතුවේ නම් එවැනි අවස්ථාවල වෝහාරික මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස නියම කිරීමට අධිකරණයට හැකිය. ඒ අනුව පුළුල් පරීක්ෂණයක් සිදුකර මරණයට හේතුව සොයාගනී. මෙහිදී ඇතැම් විට මතුපිටින් නොපෙනෙන හේතුද අනාවරණය වනවා ඇත.

වෝහාරික ගිණුම් යනුවෙන් ගිණුම් ක්‍රමයක්ද, වෝහාරික විද්‍යාව යනුවෙන් විද්‍යාවක් ද තිබේ. එහෙත් මෙම ක්‍රම තවමත් අපේ රටේ අධ්‍යාපන පද්ධතියට අඩංගු කර නැත. මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්වවිද්‍යාල මගින් මේ වනවිට අධ්‍යායනයක නිරතව සිටී. එයින් උත්සාහ කරන්නේ අනාගතයේදී විශ්වවිද්‍යාල තුළ මෙම විෂයට අධ්‍යයන අවස්ථාවක් ලබාදීමටය. දියුණුවන ලොවට පියමං කිරීමේදී මෙවැනි කේෂත්‍ර පිළිබඳ දැනුම අනාගත දරැවන්ට ලබාදීම අවශ්‍ය වේ.

 යසවර්ධන රුද්රිගු

(මෙම විස්තර ලබාගැනීමේදී හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ හිටපු නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වෙල හා ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා යන මහත්වරුන්ගෙන් ලැබුණු සහය අගය කරමු)

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00