අද බොහෝ නැකැත් තනන්නේ දවසේ පෙරවරුවටය. එනම් ඉරහැරීමට පෙරය. බෙහෝ දෙනා සිතන්නේ ඉර හැරුණු පසු නැකැත් තැනීම කළ නොහැකි බවය. ඒ සඳහා ඇතැම් ජ්‍යොතිෂවේදින් ද අනුබල දෙන බවක් පෙනෙන්නට තිබේ. එසේම කුජ දිනය හා ශනි දිනය ද නැකැත් සඳහා අයෝග්‍යයයි කියන අය සිටී. රාහු කාලය මඟහරවා නැකැත් තැනිය යුතුයයිද මතයක් පවතී. තවද අවසඳ හෙවත් බැසගෙන යන සඳ ඇති දිනවලද නැකැත් තැනීමෙන් සුබඵල ලබාගත නොහැකියැයි පිළිගැනීමක් තිබේ. එහෙත් අවසඳ දිනවල වුවද දින ශුද්ධිය පෙන්නුම් කර ඇති බව සමහරුන්ට අමතකව තිබීම කනගාටුවට කරුණකි.
ඇත්තවශයෙන්ම මුලින් කී දිනවල සහ අවස්ථාවල නැකැත් තැනීම නරක නම් නැකැත් තැනීමට දවසේ ඉතිරි වී ඇත්තේ සුළු කාලයකි. ඒ නිසා මේ මත සියල්ල සියයට සීයයක්ම පිළිනොගෙන තමන්ට අවශ්‍ය වන පරිදි නැකැත් තනාගෙන පාවිච්චි කිරීම ප්‍රායෝගික බව කිවයුතුව ඇත.
ඉර හැරුණු පසුත් සමහර දෙනා විවිධ කාර්යයන් ආරම්භ කර ඉතා සාර්ථක වූ අවස්ථා එමටය. අද බොහෝ විට මංගල නැකැත් රාත්‍රි කාලයට යොදාගන්නා බවද පෙනේ. පෝරුවේ නැගීම සහ අනිකුත් මංගල්‍ය චාරිත්‍ර ඉර හැරුණු පසු ඉටුකරන අයුරු දැකගත හැකිය. දවල් රෑ නොසලකා නිවෙස්වලට මුල් ගල් තබා, ළිංකපා, ව්‍යාපාර පටන්ගෙන, මඟුල් තුලා පවත්වා ඉතාම සාර්ථක කරගත් අය අපට කොතෙකුත් මුණ ගැසේ. එසේම උදේ වරුවේ නැකැත් යොදා සුබ කටයුතු කර අසාර්ථක කරගත් අයද එමටය. උදේ වරුවේ නැකැත හොඳනම් ඔවුන්ට එලෙස අසාර්ථක වීමට හේතුවක් නැත. එසේම උදේ කාලයේ එකපිට එක නැකැත් යොදාගෙන මංගල්‍ය උත්සවවලදී කිසිවක් හරියට කරගත නොහැකිව අමාරුවේ වැටුණු අය බොහෝය. ඇතැම් ජ්‍යොතිෂවේදීන් මංඟල චාරිත්‍ර සඳහා නැකැත් තැනිමේදී ඒවාට අවශ්‍ය තරම් කාලය නොදීම නිසා මංඟල යුවලවල් අමරුවේ වැටෙති.
ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය නායකයන් පවා සවස සහ රාත්‍රි කාලවල දිවුරුම් දුන් අවස්ථා ඇත. එහෙත් ඔවුන් ඒ හේතුව නිසා අසාර්ථක වූවායැයි කාටවත් කියන්නට බැරිය. විශේෂයෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම වැනි අවස්ථාවලදී මහ රෑ 12.00ට නැතිනම් 1ට එය විවෘත කිරීම ප්‍රායෝගික නැත. ඇතැම් අය මේ වෙලාවට යක්කු ගස් යන වෙලාව යැයි කියති. එවැනි අවස්ථාවලදී පෙ.ව. 9 හා 12 අතර හෝ සවස 3-6 අතර සිදුකිරීම ප්‍රඥාගෝචර වේ. එම නිසා තත්කාල ලග්නය ප්‍රබලව යෙදෙන්නේ කෙසේද කොයි වෙලාවේද යන්න සොයාගෙන එයට අනුව සුබ මුහුර්තය සකස් කළ යුතුය.
නැකැත් නැතිමේදී අත්‍යවශ්‍ය කාරණය වන්නේ තත්කාල ලග්න ග්‍රහචාරයයි. සෙසු සාධක සියල්ලම මෙයට දෙවෙනි වෙනවා ඇත. නිදසුනක් ලෙස පැවැසුහොත් තත්කාල ලග්නය අතිශයින් දුර්වල නම් සෙසු සියලු සාධක ගැලපුනද වැඩක් නැත. සඳුද බලවත් විය යුතුය. අනෙක් අතට සියලු සාධක දුර්වල වී තත්කාල ලග්නය ප්‍රබල වූ විට සියලු දෝෂ භංගවී කාර්යය සාර්ථක වන බව මතක තබා ගත යුතුය. තත්කාලය ඇතුළු අනෙකුත් සාධක සියල්ල බොහෝමයක් ගැලපේ නම් කාර්ය වඩාත් සාර්ථකව ඉටුවේ.
තත්කාල ලග්න සාධකය ද ගැඹුරින් විශ්ලේෂණය කළ යුත්තකි. නිවාස ගෙවදීම්වලදී පවා කේන්ද්‍රයේ 3, 6, 11 ස්ථානවල පාපීන් සිටීම නරක නොමැත. 6 හා 11 කෙසේ වෙතත් 3 පාපින් සිටීම විශේෂයෙන් විමසා බැලිය යුත්තකි. 3 පාපියා ප්‍රබලත්වයෙන් ගුරුට හෝ 11 වැන්නට සම්බන්ධයක් නොමැති වූ විට පදිංචි වී සුළු කාලයකින් ගෙවල් හැරයාමට සිදුවූ අවස්ථා ඇත. ව්‍යාපාරවල අලාභ විඳ වසාදැමීමට සිදුවේ. එයට හේතුව 3 භාවය නිවාසය පෙන්වන 4ට 12 වැන්න වීමය. ඒ නිසා 3, 6, 11 පාපී සාධකය සෑමවිටම වළංගු නොවේ. සමහර පංචාංග ලිත්වල පාපී සාධකය ගෙවදීම්වලට යහපත් ලෙස යොදා ඇත.
එසේම නිලතල භාරගැනීම්වලදී දිවුරුම් දීමේදී 6හි ග්‍රහයන් පිහිටුවීම ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුය. එය 11 වැන්නට ප්‍රබල සම්බන්ධයක් හෝ ගුරැගේ දෘෂ්ටියක් නොමැති වූ විට ලැබෙන තනතුරැ කෙටිකාලීන වියහැක. මඟුල් නැකැත්වලදී බොහෝ විට තත්කාලය ගැනීමට අපහසුවන්නේ එම අවස්ථා පංචාංග ලිත්වල පෙන්වන නැකැත් දිනවල යොදාගැනීම නිසාය. මේ නිසා එම අදාළ දිනවල තත්කාල ලග්න ග්‍රහචාරයක් දැඩිලෙස පිළිපදින්නට ගියහොත් නැකැතක් තැනීම තබා එම වකවානුව තුළ විවාහයක් වත් කරගැනීම දුෂ්කර වනවා ඇත.
විවාහයකදී ඉතාම වැදගත් සාධකය වන්නේ රෙජිස්ටාර් ඉදිරියේ අත්සන් තැබීමය. එයට හේතුව විවාහය සිදුවූ බව නීතියෙන් පිළිගන්නේ මෙම අවස්ථාවේ සිට නිසාය. එසේම ඇතැමුන් පළමුව සංසර්ගයේ යෙදෙන වේලාව ද සලකයි. මෙලෙම විවාහයට අත්සන් කිරීම හැමවිටම අපහසු බවද පෙනේ. එබැවින් හොඳම ක්‍රමයවන්නේ මෙලෙස විවාහයට අත්සන් තැබීම මංගල උත්සවයට පෙර සිදුකිරීම බව කිව යුතුය.
එහෙත් සුබ නැකැත් ගැනීමට අමාරුවන්නේ සේවාදායකයාගේ කොන්දේසිවලට යටත් වීමට ජ්‍යොතිෂවේදියාට සිදුවීමය. “මට අහවල් දිනයට පෙර මුල් ගල තබන්න නැකැතක් ඕනෑ. “මේ මාසය ඉවර වෙන්න ඉස්සර මඟුල් නැකැත් හදාදෙන්න. ආදී වශයෙන් දින ඉදිරිපත් කිරීමය. එහෙත් මෙය සැමවිටම කළ නොහැකිය. අහම්බෙන් සේවාදායකයාගේ වාසනාව අනුව කියන දිනවල සුබ නැකැතක් ගතහැකි වන්නට පුළුවන. එහෙත් එවැනි සිදුවීම් ඉතාම දුර්ලභය. මේ නිසා පෙරැත්ත කිරීම්වලට නතුවී කියන වෙලාවට නැකැතක් තනාදී ගැලවීමට ජ්‍යොතිෂවේදියාට සිදුවේ. එසේම ඇතැම් ජ්‍යොතිෂවේදීන් ලැබෙන සුළු හෝ ගාස්තුව ලබාගැනීම සඳහා කියන වෙලාවට කෙසේහෝ නැකැතක් ගලපා දෙන නමුත් එම කටයුතු අසාර්ථක වන බව පෙනෙන්නට තිබේ. මේ නිසා මෙයට ජ්‍යොතිෂවේදියා හා සේවාදායකයා යන දෙදෙනාම වගකිව යුතුවේ.