2018 ජුලි 14 වන සෙනසුරාදා

කූඩැල්ලන් ලවා ලේ උරවන පූඩා වෙදකම

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 800

විවිධ රෝග සුවකරගැනීම සඳහා බොහෝ කලක් තිස්සේ කූඩැල්ලන් යොදවාගෙන තිබේ. විශේෂයෙන් නහර කැටිගැසීම හෙවත් වෙරිකෝස් රෝගය සඳහාත්, ඇතැම් අක්ෂි රෝග සඳහාත් කූඩැල්ලන් යොදා කරන පූඩා වෙදකම ඉතා සාර්ථක වෙදකමකි. ලේ විදහැරීමේ වෙදකම හෙවත් රක්ත මෝක්ෂණ වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයේ පැරණිම වෛද්‍ය ක්‍රමයකි. මෙය වර්තමානයේදීද ඉතා සාර්ථක ප්‍රතිකාරයකි. නමුත් වර්තමානයේදී ලේ හැරීමේ වෙදකම සම්බන්ධව බොහෝ දෙනකු තුළ නිසි අවබෝධයක් නොමැතිකම නිසාම එය අභාවයට යමින් පවතින වෙදකමක් බවට පත්වෙමින් පවතී. නමුත් කූඩැල්ලන් යොදා කරනු ලබන වෙදකම අදද ඉතා සාර්ථක වෙදකමක් ලෙසින් හැඳින්විය හැක.

ලේ විදහැරීමේ පිළිවෙළ පැරැන්නෝ ක්‍රම තුනකට සිදුකළහ. එනම් අං යෙදීමෙන්, ලබුකැට යෙදීමෙන් සහ කූඩැල්ලන් හෙවත් පූඩාවන් යෙදීමෙනි.

සර්පයන් විසින් දෂ්ඨ කළ විට කටින් කට ලේ ඉරීමේ සිරිතක් අපේ පාරම්පරික වෛද්‍යවරු භාවිත කරති. නමුත් ලේ හැරීමේ වෛද්‍ය ක්‍රමයද අන් සෑම වෛද්‍ය ක්‍රමයක් මෙන්ම ඉතාමත් සැලකිල්ලෙන් සිදුකළ යුතු වෛද්‍ය ක්‍රමයකි. ඒ සඳහා සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු ලවා ප්‍රතිකාර ලබාගත යුතුය.

උපදංශ රෝගීන් ලේ හැරීමට සුදුස්සන් ලෙස නිර්දේශ කෙරේ. එමෙන්ම බරවා රෝගීන්ටද, රක්තගත වූ වාත රෝගීන්ටද, යම්කිසි විෂක් හේතුවෙන් ලේ දූෂණ රෝගීන්ටද ලේ විදහැරීම කළ හැක.

ලේ අතීසාර රෝගීන්, ශ්වාස රෝගීන්, කාය රෝගීන් මෙන්ම වයස අවුරුදු හැත්තෑවට වැඩි වැඩිහිටියන්ද, වයස අවුරුදු දහසයට අඩු අයද, ඉතා කෙට්ටු සිරැරක් ඇති රෝගීන්ද, ගැබිණි කාන්තාවන් මෙන්ම කිරිදෙන මව්වරුන්ද ලේ හැරීමට නුසුදුසු රෝගීහු වෙති.

චිකිත්සාවෙහි යොදාගනු ලබන කූඩැල්ලන් විෂ සහිත කූඩැල්ලන් සහ විෂ නැති කූඩැල්ලන් ලෙස කොටස් දෙකකට බෙදිය හැක. විෂ නැති කූඩැල්ලන් වැඩිපුර ජීවත් වන්නේ පිරිසුදු ජලය ආශ්‍රිතවය. මෙම කූඩැල්ලන්ගේ උදරය කහ පැහැතිය. නිල් ඉරි ඇත්තෝය. විෂ ඇති කූඩැල්ලන් ජීවත් වන්නේ අපිරිසුදු ජලයේය. විශේෂයෙන් මාළුන්, මැඩියන් බහුල ජලයේ ජීවත් වන එම විෂ සහිත කූඩැල්ලන් එම සත්ත්වයන්ගේ මළ ආදී අපවිත්‍ර දෑ ආහාරයට ගනී. රතු, සුදු සහ කළු පැහැති මෙම කූඩැල්ලන් ඉතා විෂ සහිතය. විෂ සහිත කූඩැල්ලන් ලේ ඉරීම සඳහා බොහෝ විට යොදා නොගනී. මෙවැනි විෂ සහිත කූඩැල්ලන් ලවා ලේ ඉරීමක් සිදුවුවහොත් දැඩි දැවිල්ලක් ඇතිවේ. කැසීම, කරකැවිල්ල පවා ඇතිවිය හැක. ලේ ඉරවූ මුඛය පැසවයි. රෝගියාට උණ ගනී.
ලේ විදීම සඳහා යොදාගනු ලබන කූඩැල්ලා රෝගියාට ප්‍රතිකාර සඳහා යොදාගැනීමට පෙර කහ දියෙහි දමා විනාඩි හතක් පමණ තැබිය යුතුය. එවිට කූඩැල්ලා ඉතා පිරිසුදු වේ. පසුව සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයා විසින් රෝගියාට ප්‍රතිකාර ලබාදිය යුතු සුදුසු තැන්හි කූඩැල්ලා තබයි. ඊට පළමුව ලේ ඉරවීමෙහි පිළියෙළ කළ තැන් හොඳින් පිරිසුදු කළ යුතුය. නමුත් සබන් සුවඳ හෝ තෙල් සුවඳට රැඳී තිබෙන විට කූඩැල්ලන් ලේ උරා බොන්නේ නැත.

කූඩැල්ලා දත ගසා ලේ ඉරීමට පටන් ගත් කල වෛද්‍යවරයා විසින් තෙත පුළුන් කැබැල්ලකින් හෝ තෙත රෙදි කැබැල්ලකින් කූඩැල්ලා වසා තැබේ. වරින් වර මෙම පුළුන් කැබැල්ල හෝ රෙදි කැබැල්ල තෙත් කළ යුතුය. දූෂණය වුණු ලෙයින් කුස පිරුණු පසු කූඩැල්ලා මත් වී වැටේ.

කූඩැල්ලා ලවා කොතරම් ලේ ප්‍රමාණයක් මුදවනවාද යන්නද වැදගත් වේ. එය රක්ත මෝක්ෂණ මාත්‍රාව යනුවෙන් හැඳින්වේ. රෝගියාගේ වයස, ශක්තිය සහ දෝෂ තත්ත්වයද අනුව මෙම රක්ත මෝක්ෂණ මාත්‍රාව වෙනස් වේ.

කෙසේ වුවත් බොහෝ දෙනකුට කූඩැල්ලා අප්‍රියජනක සතෙකි. නමුත් කූඩැල්ලා යනු ඇතැම් රෝග ඉතා සාර්ථකව සුවකරගැනීමට උදව් දෙන සතෙකි. සෑම ආයුර්වේද වෛද්‍යවරයකුටම මේ ප්‍රතිකාරය සිදුකළ නොහැකි අතර ඒ සඳහා මනා පළපුරුද්දක් මෙන්ම දැනුමක්ද අවශ්‍ය වේ. එවැනි සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු ලවා සිදුකරන මෙම පූඩා වෙදකම ඉතා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයකි.

 

ආයුර්වේද වෛද්‍ය 
ඩී.එච්. තෙන්නකෝන්
හිටපු අධ්‍යක්ෂක ආයුර්වේද ශික්ෂණ රෝහල - බොරැල්ල

 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00