නගරයේ හෝ ගෙයින් ගෙට භාණ්ඩ හා සේවා බෙදාහැරීමේ කාර්යය කළවුන් හඳුන්වන පදය අගට බොහෝ විට (කාරයා) යන්න කටවහරේදී යොදාගැනුණේය. මෙම (කාරයා) යන පදය බොහෝ විට යෙදුණේ ඉංග්‍රීසියේ man යන වාච්‍ය කොටසට දෙන අර්ථයක් ලෙසිනි. Milkmanට කටවහරේදී කීවේ කිරිකාරයා කියාය. Postman හට සිංහලෙන් කීවේ ලියුම්කාරයා නැතහොත් තැපැල්කාරයා කියාය. Fisherman යන්න ඉංග්‍රීසියෙන් කියද්දී සිංහලෙන් ඊට මාළුකාරයා කියා කටවහරේ කියවුණේය. මේ ආකාරයේ (කාරයෝ) බොහෝ දෙනෙක් (පත්තර-බෝතල්කාරයා/ පාන්කාරයා/ කරත්තකාරයා) පසුගිය දශක කිහිපය පුරා සේවා සැපයීමේ මහඟු සේවාව ඉටුකළෝය.
කෙසේ වුවද මෙම කාරයා යන්න එම තැනැත්තන් නැති තැන කීවද ඔවුන්ගේ මුහුණට එසේ කීම අපි ඔවුන්ට කරන අගෞරවයක් ලෙස සැලකීමු. අප ඔවුන්ගේ මූණට කීවේ (පාන් මාමා) (ලියුම් මාමා) ආදී වශයෙනි. කාන්තාවන්ට නම් කීවේ අම්මලා කියාය. (වට්ටිඅම්මා) (මාළු අම්මා) ආදී වශයෙනි. ඒ අපේ හැදියාවයි. ඒ පුරුද්දම අනෙක් අතට ගෙන අපි අපේ සහෝදරයන් නැති තැන (මල්ලිකාරයා) (අයියාකාරයා) වශයෙන් ඔවුනට කියන්නට පෙළඹුණු අවස්ථා නැත්තේ නොවේ. ඇතැම් ශිෂ්‍යයෝ ගුරුවරුනට (සර්කාරයා) කියා ඔවුන් නැති තැන කීවෝය.
මෙසේ භාණ්ඩ හා සේවා බෙදාහරිමින් සේවය කළ ආකාරයත් එම සේවා සැපයීමේදී භාවිත කළ වාහනත්, එම සේවා සැපයූවන්ගේ ජීවිතත්, නාගරීකරණය සහ තාක්ෂණයේ වෙනස්වීම සමඟ වෙනස්කම්වලට භාජනය වී තිබේ. එම වෙනස මෙනෙහි කිරීමේදී යම් අපූර්වත්වයක් සිතට නැගේ.
19 වැනි සියවස අග භාගයේ පටන් කොළඹ නගරයේ භාණ්ඩ ප්‍රවාහනය මුළුමනින්ම පාහේ පැවතියේ කරත්තකාරයන්ගේ අතේය. වතු හා දුම්රියපොළවල් හා ගබඩා අතරත් මේ ස්ථාන හා කොළඹ වරාය අතරත් භාණ්ඩ ප්‍රවාහනය කළේ කරත්තකරුවෝය. ඔවුනට පළමු තර්ජනය ආවේ ලොරි රථවලින් නොව දුම්රියෙනි. 1860 දී ඔවුහු කරත්තවලින් දුම්රිය මාර්ග අවහිර කරන්නට තරම් ශක්තිමත් වූවෝය. ඔවුන් ඊළඟ ලොකුම තර්ජනයට මුහුණපෑවේ 1902 දී මෝටර් රථ ලංකාවට ගෙන ආ පසුවයි. මාර්ග නීති අනුගමනය කිරීමේදී කරත්තකරුවන් නොසැලකිලිමත් බැව් එවකට කොළඹ නගරාධිපති බී. හුර්ස්බරෝ කීමෙන් පසු, කරත්ත දක්කාගෙන යන අතරතුර කරත්තය මත හෝ බෝන් ලීය මත වාඩිවී යාම තහනම් කරන ලදී. 1906 කොළඹ කරත්තකාරයන්ගේ වැඩවර්ජනය ඇරඹුණේ ඉන් පසුවයි.
කොළඹ කරත්තකරුවන් එවකට කෙබඳු පිරිසක්ද යන්න ආචාර්ය කුමාරි ජයවර්ධනගේ කරත්තකරුවන්ගේ වැඩවර්ජනය හා ශ්‍රී ලංකාවේ කම්කරු උද්ඝෝෂණයේ මුල් කාලය 1896 – 1906 යන පොතේ සඳහන් වේ.
“සිංහල දෙමළ සහ මුස්ලිම් ජාතිකයන්ගෙන් සමන්විත වූ කොළඹ නගරයේ කරත්තකරුවෝ එඩිතර ආකල්පයක් හා සටන්කාමී ජීවයක් ඇති අය වශයෙන් ප්‍රකටව සිටියහ... ඔවුහු අභීතවූත්, ස්වාධීනවූත්, අධිකාරී බලයට විරුද්ධව නැගීසිටීමට සූදානම් වූත් පිරිසක් වූහ.”
බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමියන් සර් ජෝන් කොතලාවල ගැන වර්ණනා කරන කවියක කරත්තකරුවන්ගේ වැඩවර්ජනය ගැන කියා ඇත්තේ මෙසේය.
“යුතු නොවන ලෙස පැනවූ ගැල් නීතියට කිපෙමින් තද බලේ
සතුරු ලෙස කොළඹට රැස්වූ ගැල්කාර මහසෙන් අරගලේ”
1980 ගණන්වලත් කරත්තකාරයෝ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැනට වඩා රැඳෙමින් ජීවිකාව සරිකර ගත්තෝය. අවසානයේ හාර්ඩ්වෙයාර් ස්ටෝර්ස් (කඩ) ළඟ නැවතී හැකි පමණින් එදාවේල සොයාගත් ඔවුහු ට්‍රේලරය බැඳගත් ලෑන්ඩ් මාස්ටරය පාරට ඒමත් සමඟ කලාතුරකින් පෙනෙන තරමට අඩු විය. කරත්තකරුවන් ගැන ලියැවී තිබුණේ ගැල්කවි පමණක් නොවේ. සී.ටී. ප්‍රනාන්දු ගැයූ බරබාගේ ගීතය බොහෝ විට විනෝද ගමන්වලදී ගැයෙන්නකි. වෝල්ටර් ප්‍රනාන්දු ගැයූ පහත දැක්වෙන ගීයෙන් කරත්තකරුවෝ කාලයත් සමඟ ආ තාක්ෂණයත් සමඟ හැපෙන්නට බැරිව පැරදුණු හැටි හොඳින් පැහැදිලි වේ.
“මේ පුල්ලි ගොනා පුරුදුකාරයා, මංජෙමා කරත්තකාරයා
මේකයි මගෙ බරබාගේ පැයට සැතපුමයි වේගේ
ඔහෙලා හඳට යන්න හදනවා”
වෙනස් වන තාක්ෂණයත් සමඟ තරග කරන්නට නොහැකිව පැරදී නැතිවී ගිය තවත් කෙනෙකි, (රික්ෂෝකාරයා). පැරැණි රික්ෂෝකාරයන්ගේ පින්තූර අන්තර්ජාලයේ සංරක්ෂණය වී තිබෙන බැවින් ඔවුන්ගේ ස්වරූපය අපට දැනගත හැකිය. කොළඹ නගරයේ සිටි අප දන්නා අවසාන රික්ෂෝකාරයාද වැල්ලවත්ත මාරකැට්ටුව ඉදිරියේ බොහෝ කල් රැකියාවේ නිරතව සිටියේය. හොඳ උසකින් යුක්ත වූ ඔහුගේ දෙපා සවිමත් බව බැලූබැල්මටම පෙනුණි. මළල ක්‍රීඩකයකු හා සමාන ශරීරයක් ඔහු සතු විය. පැරණි පින්තූරවල ඉන්නා රික්ෂෝකාරයන් මෙන්ම ඔහු සිටියේ ජටාවක් බැඳලාය. සුදුපාට කැන්වස් සපත්තු ජෝඩුවක් කපා ඔහුට ගැලපෙන අයුරින් සකසාගෙන පැළඳ උන්නේය.
“මම රික්ෂෝකාරයා, මම රික්ෂෝකාරයා - පැදලා ඔහෙ යමු, යන්නේ කොහේද හා හා” යනුවෙන් එකල ජෝතිපාල ගැයුවේය.
පාන් මාමා ගැන පෝල් ප්‍රනාන්දු ගීයෙන් කීවේ සැබෑවකි. ඒ ගීය අනුව පාන් මාමාගේ බයිසිකලයේ සීනු හඬ ඇසුණේ කුරුලු ගී යටපත් කරගෙන නොවේ. උදෑසන සුන්දර කුරුලු ගීයට පාන් මාමාගේ බයිසිකලයේ සීනු හඬින් හානියක් නොවූයේය.
“කුරුලු ලොවේ කුරුලු හඬට මා පිබිදෙනවා
අඳුර මැකී දැන් ටික ටික එළිය වැටෙනවා
බයිසිකලේ සීනුව ළඟ ළඟම ඇහෙනවා
පාන්දරින් පාන් මාමා පාන් ගේනවා”
ඒත් ඉස්සර සිටි පාන් මාමා වෙනුවට ආදේශ වී ඇති චූං පාන්කාරයා එන්නේ කුරුලු ගීය පමණක් නොව ලඩ්විග් වෑන් බීතෝවන්ගේ සුප්‍රසිද්ධ (F’u’r Elise) ෆර් එලීස් වාදනයද මරාගෙනය. සුන්දර කුරුලු ගී ඇසෙන පෙ.ව. 5.00 පමණ පටන් චූං පාන්කාරයාගේ නාදය පාරේ ඇසේ. ඔහුගේ චූං එක හෙවත් නළා හඬ F’u’r Elise වාදනයේ සැබෑ විකෘතියකි. චූං පාන්කාරයා ඉස්සර සිටි පාන් මාමා මෙන් ඉවසිල්ලෙන් ගෙයින් ගෙට යන්නේ නැත. ඔහු නළාව නාද කරගෙන පාරේ දිගටම යයි. උදෑසන මුළුතැන්ගෙවල කටයුතු කරන ගෘහණියෝ නයිටිය පිටින් චූං පාන්කාරයා පිටුපස දිවයති. අලුත් තාක්ෂණය ආදේශවීම නිසා කටයුතු වාණිජ වශයෙන් සාර්ථක වුවද ඒ මගින් සුන්දර මානව සම්බන්ධතා බිඳවැටී ඇත්තේ ඒ ආකාරයටය.
ඉස්සර ගෙයින් ගෙට ගිය පත්තර-බෝතල්කාරයකු සමඟ මම කතාවට වැටී ඇත්තෙමි. ඉන්දියාවේ සිට පිනා මෙරටට ආ ආකාරය ඔහු හොඳ සිංහලෙන් මට විස්තර කොට කීවේය. සුගතපාල ද සිල්වාගේ එක් නවකතාවක (මට මතක හැටියට “ඒ එසේ වී නම් මිනිසුනේ අසව්” නවකතාවයි) එවන් පුද්ගලයකුගේ චරිතය යථා පරිදි විස්තර කොට තිබේ. නිවෙස්වල ගොඩගැසුණු බෝතල් පත්තර ආදිය කසළ ගොඩක් බවට පත්වීමට ඉඩනොදී ඒවා ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාදාමයට එක් කරන්නට බෝතල්-පත්තරකාරයා දුන්නේ අනගි දායකත්වයකි. බොහෝ විට සෑම බෝතල්-පත්තරකාරයකුම තමා පාරේ යන බව දන්වන හඬ නැගුවේ එකම රිද්මයකට එකම ආකාරයටයි.
“බෝ... තා...ල් පත්තරේ...” වැකියේ එන ස්වර සහ ව්‍යංජන අදාළ හඬ සද්දෙට උච්චාරණය වන ආකාරයෙන් ඔහු ගලපාගෙන තිබුණි. පියවි කටහඬින් හඬ නැගූ බෝතල්-පත්තරකාරයාට දැන් ආදේශ වී ඇත්තේ බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයයි. පටිගත කරන ලද හඬක් කෑගසන ස්පීකරයක් ඒවායේ සවිකොට ඇත. පෙර බෝතල්-පත්තරකාරයෝ හඬ මුලින්ම අනුකරණය කරන එම පටිගත හඬ ඉන්පසු ඒකාකාරී හඬින් මිලදී ගන්නා ලැයිස්තුව කියයි.
“පරණ බෝතල් ගන්නවා, යකඩ ගන්නවා, කොම්පියුටර් කෑලි ගන්නවා. ප්ලාස්ටික් පුටු ගන්නවා, පුටුවලට බේසම් දෙනවා”
පටිගත කරන ලද යාන්ත්‍රික හඬ නිහඬ දවාලේ පියවි මිනිස් කටහඬකින් නැගුණු රිද්මයානුකූල හඬ තරම් සුන්දර නැත.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අතුරුපාරවල් පුරා මාළු විකුණමින් ගිය කත්කාරයන් හා මාළු විකිණූ අම්මලා දැන් පෙනෙන්නට නැත. මාළු විකිණූ වට්ටිඅම්මලා ළඟ බොහෝ විට තිබුණේ වට්ටියේ බහාලන්නට තරම් කුඩා කූරිය. කත්කාරයාගේ එක කදක ලී කොටයක්, පිහියක් තරාදියක් විය. කදේ අනෙක් කොණේ තිබුණේ බොහෝ විට ලොකු මාළුය. කද ගෙන යන අතරතුර බොහෝ විට කත්කාරයා (මාළු මාළු) යැයි ඇද පැද නොකියා කෙටියෙන් කියයි. මාළු අම්මලා දිගට ඇද පැද මා...ළූ කීවෝය. කත්කාරයා මාළු වෙළෙන්දා වෙනුවට බයිසිකලයේ පෙට්ටිය බැඳගෙන පැමිණි මාළු වෙළෙන්දාත්, තැපැල් නයින්ටියේ මාළු ගෙන එන මාළු වෙළෙන්දාත් හැරුණු කොට දැන් ත්‍රීවිල් රථයේ, කුඩා ලොරිවල මාළු ගෙන එන වෙළෙන්දෝද සිටිති. තැපැල් නයින්ටියේ මාළු ගෙන යන වෙළෙන්දා මීටර 100 ක් පමණ බයිසිකලය දිගට ඇදෙන තුරු (මා....ලෝ) කියා කෑගසන්නේ තරමක වේගයෙන් යන නිසාය. පාසල් බිග් මැච් කාලයට අප නොවරදවා ගැයූ ගීතයකි. “සුරංගනීට මාළු ගෙනාවා” ගීය, ඉන්පසු කලෙක ප්‍රසංග වේදිකාවට ආ එම ගීය ඉන්දියානු ද්‍රවිඩ ජනයා අතරද දැන් ජනප්‍රිය වී තිබේ. කෙසේ වුවද වඩාත් ජනප්‍රිය වූයේ මූදුමාළු වෙළෙන්දකුගේ චරිතයක් ගැන ගීයක් නොව මිරිදිය මාළු වෙළෙන්දකු ගැන කියන ගීතයකි.
“ඉස්සන් මඟුරන් ලොකු වැලිගොව්වන් මේ දැන් අල්ලපු මාළු, ලාබයි ගන්නකො යාළු
සිලිං තුනයි වැල උඩහ ගෙදර මැගිනෝනට...”
මෙහි එන්නේ මිරිදිය මසුන්ගේ නම්ය. එසේම මාළු වැල්වල එල්ලාගෙන ගියේ නම් ඒ මිරිදිය මසුන් හෙවත් වෙල්මාළුය. මේ විවිධ කෑගැසීම් තිබුණද බොහෝදුරට මාළු වෙළෙන්දා ළඟ එන බව නිවැසියන්ට දැනුම් දුන්නේ ගෙදර සිටින බළලා බවද සඳහන් කළ යුතුය.
මේ ආකාරයේ (කාරයකු) ලෙස නමක් පටනොබැඳුණද කොළඹ නගරය ආශ්‍රිතව බෙදාහැරීමේ සේවාව කළ විශේෂ බයිසිකල්කාරයෝ පිරිසක් සිටියහ. ඔවුන් කළ විශේෂිත සේවාව වූයේ කොළඹ අවට ප්‍රදේශවල ජීවත්වෙමින් කොළඹ රැකියාව කරන අයට ගෙදරින් දෙන බත් පිඟාන උණු උණුවේ කාර්යාලයට ප්‍රවාහනය කර දීමයි. කාර්යාලයට එම සුදුපාට ලොකු ලේන්සුවකින් එතූ බත් පිඟාන ගෙනවිත් දුන්නේ ගෙදරින් එය උදේ 11.00ට පමණ රැගෙන එන බයිසිකල්කාරයා නොවේ. ඔවුන් කළේ තැපැල් සේවාව හා සමාන කටයුත්තකි. ගෙවල්වලින් සුදු ලේන්සුවෙන් ඔතා එවන බත් පිඟාන රැගෙන ඔවුහු කොළඹ නියමිත ස්ථානවල (උදා:- විහාර මහාදේවි උද්‍යානයේ) මුණගැසෙති. එම මුණගැසෙන ස්ථානවලදී තැපැල හුවමාරු කරගන්නාක් මෙන් ඒවා හුවමාරු කරගෙන කොළඹ එක් එක් ප්‍රදේශයට යන අය අදාළ කාර්යාලවලට ඒවා බෙදා දුන්නෝය. රාජ්‍ය ආයතනයක් හෝ පෞද්ගලික ආයතන හවුල් වී කරන විධිමත් කටයුත්තක් සේ නොපෙනුණද මෙම අවිධිමත් සංවිධානය තුළ පැවතියේ විධිමත් යාන්ත්‍රණයකි. ඒ කාලයේ බොහෝ දෙනා හෝටල්වලින් (වෙනත් කෑම කෑවද) දවල් බත කෑවේ කලාතුරකිනි. බත් පැකට් අලෙවියක්ද එකල සිදුනොවූ තරම්ය. එම නිසා ගෙදර පිසින බත් පිඟාන කාර්යාලයට ලැබීම ඉතා වැදගත් අවශ්‍යතාවයක් විය. පැයක් පැය එකහමාරක් වැනි කෙටි කාලයකදී කොළඹට සැතපුම් හත අටක් දුරින් එන බත් පිඟාන කොළඹට යයි. අදාළ පුද්ගලයා එය අනුභව කළ පසු හවසට හිස් පිඟාන බයිසිකලයේම ගෙදර එයි.
එළවළු වෙළෙදාමේ ගිය වට්ටිඅම්මලා සහ එළවළු කරත්ත තල්ලුකරගෙන ගිය වෙළෙන්දන් තමා විකුණන දේ හඬනගා කියනා තමන්ට ආවේණික රිද්මයානුකූල හඬ නැගීම් ඉවහල් කරගෙන තිබිණි.
එක් එළවළුකාරයකු එළවළු වික්කේ “එලෝ එලෝ එලෝ” කියමිනි. නිතර වැල්කොහිල විකිණූ කාන්තාවක් වැල්කොහිල යන පදය අවශ්‍ය ලෙස තලා පෙලා දිගහැරගෙන තිබිණි.
කුඩා කාලයේ අප සිටි වටපිටාවේ උන් ඉහත කී වෙළෙන්දන්/ සේවා සපයන්නන්ගේ ජීවිත බොහෝ විට අප දෑස් ඉදිරියේ කඩාවැටෙනවා අපි දුටිමු. කාලයත් සමඟ ඇතිවූ වාණිජමය වෙනස්කම් හා තරලකොට ජයගන්නට බොහෝ අයට නොහැකි විය. සමහර වෙළෙන්දෝ මානසික ආතතියට ගොදුරු වී උම්මන්තකයන් ලෙස මහමඟ ජීවිත ගත කළහ. ඇතැමුන් හිඟමන් යදිනවා දැක ඇත්තෙමි. කරත්තකරුවකු වූ සිරිබෝ අයියා අසරණ වූ දා කියූ කවියේ අර්ථය මේ සියලු දෙනාටම පොදු වූයේය.
සවි ඇති කලට උක් දණ්ඩේ පැණි සේමා
සවි නැති කලට වැටකෙයියා රොකු සේමා
වෙර නැතිදා කෙතකට බැඳි වැට සේමා
අසරණ දා මල් යායේ කටු සේමා
එහෙත් කාලයේ වෙනසත් සමඟ දිරිමත්ව ව්‍යාපාර කටයුතු කළ අය පමණක් දියුණු වූවෝය.
♦ සමන් පුෂ්ප ලියනගේ