2018 ජුලි 14 වන සෙනසුරාදා

මම සම්මාන සටනෙ නැහැ

2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:0092

- ප්‍රවීණ ලේඛක ගුණරත්න ඒකනායක

ප්‍රවීණ ලේඛක ගුණරත්න ඒකනායකයන්ගේ අලුත්ම නිර්මාණය වන “ගන්ධබ්බයන්ගේ රාත්‍රිය - නඩුකාරයාගේ කතාව” නැමැති නවකතාව පසුගියදා නිකුත් විය. මෙය ඔහුගේ 90 වන කෘතිය මෙන්ම 31 වන නවකතාවද වෙයි. ඔහු නවකතා මෙන්ම කෙටිකතා යොවුන් නවකතා, උපදේශන ග්‍රන්ථ, විෂයානුබද්ධ අධ්‍යාපන පොත්, විචාර ග්‍රන්ථ ආදි විවිධ කේෂ්ත්‍රවල නිර්මාණ බිහිකළ ලේඛකයෙකි. තම ප්‍රථම කවිපොත ළඟදීම නිකුත් කෙරෙන බව ඔහු කියයි. ඔහුගේ දිවියට මේ ජුලි මස 22 දිනට වසර 70 සම්පූර්ණ කර ඇත.

ඔබගේ නවතම නිර්මාණය ගැන යමක් කියතොත්...?

ගන්ධබ්බයන්ගේ රාත්‍රිය - නඩුකාරයාගේ කතාව යන ග්‍රන්ථය ඉන්දියානු චරිත සහ පරිසරය යොදාගෙන නිර්මාණ කර තිබෙනවා. නඩුකාරයකු ගැන මෙවැනි කතාවක් මෙතෙක් ලියා නැහැ. නඩුකාර ලෝගුවට මුවාවී කරන වංචා, දූෂණ, මෙයින් පිළිබිඹු වෙනවා. නඩු තීන්දු කියවන විට විත්තිකරුවන් විඳි මානසික වාතාවරණය, ඔවුන්ගේ හදවත් ගැහුණු විලාශය යම් දිනක ඔහුට විඳින්නට සිදුවෙනවා. ඔහු සමාජ විරෝධි ක්‍රියාවලට මෙම උසාවි ලෝගුව යොදාගත්තා. එහි විපාකවලට ජීවිතය අවසානයේදී ඔහුට මුහුණ දෙන්නට සිදුවීම වැළැක්විය නොහැකි වුණා.

ඔබට මේ වස්තු බීජය ලැබුණේ කෙසේද?

මෙයට ගන්ධබ්බ සංකල්පය තමා තේමාව කරගෙන ඇත්තේ. ගල්කිස්ස මහ මඟ අබියස “නිසල සෙවණ” යනුවෙන් නම් කළ සොහොන් බිමක් පිහිටා තිබෙනවා. එය බොහෝ සුන්දර පරිසරයකයි ඇත්තේ. එතැනින් ගමන් කරන විට මට කල්පනා වුණ මෙම සොහොන් භූමියේ ගන්ධබ්බයො සිටිනවා කියලා. මෙම ගන්ධබ්බ සංකල්පය බොහෝදුරට අපේ බෞද්ධාගමට බද්ධ වී තිබෙනවා. සොහොන් වැටියට එකතුවුණු ගන්ධබ්බයන් අතරින් කතා කිරීමට පටන්ගත් එක් චරිතයක් හා එහි අත්දැකීම් පාදක කරගෙන තමයි මා මේ නවකතාව ලිව්වේ. ඉදිරියේදී ගුරුවරයා, වෙදමහතා, කුවේනිලා, භික්ෂූන් වහන්සේලා ආදින්ගේ චරිත යොදාගෙන මේ ආකාර තවත් පොත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ වෘත්තිය ලේඛකයෙක් නේද?

මා මේ වනවිට පූර්ණ කාලීනවම ලේඛනය වෙනුවෙන් කැපවෙලා තමා ඉන්නේ. ඒත් මා වෘත්තිය ලේඛකයෙක්ම යැයි කියන්න බැහැ. විශ්‍රාම වැටුප සහ වෙනත් ආදායම් මට තියෙනවා. එහෙත් මට මෙයින්ද සැලකිය යුතු ආදායමක් ලැබෙනවා. ඒත් එම ආදායම ජීවත්වීමට ප්‍රමාණවත් නැහැ. මා මෙම වෘත්තියට පිවිසුණේ ආදායමක් ලබා ගැනීමේ පරමාර්ථයෙන්ම නොවෙයි. කුඩා කාලයේ සිට පැවැති ආශාවක් ඉටුකර ගැනීමටයි.

ඔබේ ලේඛන දිවියේ පසුබිම ගැන කතා කළොත්?

මා උපන්නේ මහනුවරින් සැතපුම් 15ක් පමණ එපිට කිසිදු පහසුකමක් නොමැති ගොමගොඩ, එළමල්පොත යන ගමේ. පොඩි කාලයේ සිට උත්සාහ කළත් ලේඛකයකු වෙන්න බැරි වූණා. මගේ මුල්ම පොත “දහසක් පැතුම් පතාලා” කළේ 1970 වසරේ මිතුරෙකු සමඟ එකතුවෙලයි. ඊළඟට 1973 දී “පියෙක් ඇති පුතෙක්” යන ඓතිහාසික නවකතාව කළා. පසුව ඇතිවූ විවිධ දුෂ්කරතා නිසා ලේඛක දිවියට තාවකාලිකව සමුදුන්නා. දෛවයේ සරදමකට වගේ පසුව 1996දී වාරි මාර්ග හා විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක තනතුර ලැබිලා මට කොළඹ එන්න සිදුවූවා. ගුණසේන ප්‍රකාශන ලෙස පොත් කළා. මුලදිම “විත්තිකරැවෝ තුන් දෙනෙක්* යන කෙටිකතා පොත කළා. ඒ පොත ජයවර්ධනපුර සරසවියේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව කරනවිට නිබන්ධනයක් ලෙස ඉදිරිපත් කළ එකක්. මා ගුණසේන මෙන්ම මල්පියලි, ගොඩගේ, සරසවි, ස්ටැන්ෆර්ඩ් ලේක් ආදි ගණනාවක් මගින් පොත් ප්‍රකාශ කළා. 2007 වනවිට මගේ ලේඛන ශක්තිය ක්‍රමයෙන් වර්ධනය වූ අතර 2008දී මගේ “බෝධිසත්ව ගුණේපේත” යන ග්‍රන්ථය ප්‍රකාශ කිරීමට “විශ්ව ලේඛා” ප්‍රකාශන ආයතනයකට බාරදෙනවා.

එතැනදී එය අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම නිසා මම ඒ පොත හිතුවක්කාර ලෙස කර්තෘ ප්‍රකාශනයක් ලෙස නිකුත් කළා. ඒ වනවිට ප්‍රකාශනය ගැන කිසිවක් දන්නේ නැහැ. එය තමා මගේ කර්තෘ ප්‍රකාශන ජීවිතයේ ආරම්භය. දැන් වසර 10 තිස්සේ “නිපුන් පොත්” යනුවෙන් මගේ පුතාගේ නමිත් පොත් ප්‍රකාශන ආයතනයක් කරගෙන යනවා.

අද සාහිත්‍ය සම්මානදීම්වලදී ලේඛකයාට සාධාරණය ඉටු වෙනවද?

ලේඛකයාට සාධාරණය ඉටු වෙන බවක් කියන්න බැහැ. මුහුණු බලලා, නම් බලලා පෞද්ගලික හිතවත්කම් මත කල්ලි මත සම්මාන සහ ත්‍යාග දෙන බවයි කිව යුතුවන්නේ. සමහරුන්ගේ පොත්වලට සැමදාම සම්මාන ලැබීමෙන් එය පැහැදිලියි. එම කටයුතු සිදුකරන සංවෘත ඒකාධිපති ක්‍රමය නිසා සුදුසු අයට සාධාරණය ඉටුවන්නේ නැහැ. මම ප්‍රතිපත්තියක් වශයෙන් සම්මාන තරගවලට පොත් ඉදිරිපත් කරන්නේ නැහැ. සම්මාන ලැබෙන පොත ඒ කාලයේ උණු උණුවේ අලෙවි වුණාට පසුව එම නිර්මාණයද ලේඛකයාද කේෂ්ත්‍රයෙන් අතුරුදන් වෙනවා. ඒ නිසා මා හිතන්නේ පාඨකයා තුළ සදාකාලිකව රැඳෙන්නේ පියවරෙන් පියවර විධිමත්ව පාඨකයා ළඟට යන පොත් සහ එම ලේඛකයන් පමණයි. 

ඔබ නිර්මාණවලට අත්දැකීම් ලබාගන්නේ කෙසේද?

සමාජ ගවේෂකයකු ලෙස අත්දැකීම් ලබාගන්න පුළුවන්. තමාගේ අත්දැකීම්, තමන්ට අසන්නට දකින්නට ලැබෙන ඒවා. තමාගේ සිතුවිලි. මේ සියල්ලම තුළින් වස්තු බීජ ජනනය කළ හැකියි. තම ප්‍රතිභාව හා සතතාභ්‍යාසය තිබෙනවා නම් අත්දැකීම් ප්‍රතිනිර්මාණය කළහැකියි. සමහර ප්‍රවීණ ලේඛකයන්ට පවා ජීවිතයේ කල්යනවිට නිර්මාණකරණය සඳහා අත්දැකීම් නොමැතිවන අවස්ථා තිබෙන බව කියනවා. ඒ වුණාට මට නම් තවම අත්දැකීම් නැති වුණේ නැහැ. මේ වනවිට මට තවත් නිර්මාණ 15ක් පමණ කරන්න අත්දැකීම් තිබෙනවා.

ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමට ඔබේ නිර්මාණ කෙලෙස මහෝපකාරි වුණාද?

2003 දී ඩී.ආර්. විජයවර්ධන සම්මාන ප්‍රදානයේ 3 වන ස්ථානය ලබාගත් යාපනේ තවමත් ඈතයි කෘතිය සහ උතුරෙන් දකුණට, කඳවුරේ සිරකරැවෝ කඳවුරෙන් නික්මී යන තුන් ඇඳුණු නවකතා තුළින් මා ජාතීන් අතර සමගිය සංහිඳියාව ගොඩනැගීමට උත්සාහ ගත්තා. එය යම් පමණකට හෝ සාර්ථක වූ බවට ලැබුණු ප්‍රතිචාරවලින් පෙනෙනවා.

 යසවර්ධන රුද්රිගු