- ප්‍රවීණ නාට්‍යවේදී අතුල පීරිස්
නාට්‍යකරුවකු වශයෙන් වේදිකාව තරණය කළ අතුල පීරිස් සරුංගල් මාමා, සුබ සරණාගත, පස්මහ බැලුම්, මහ ඕඩිපස් යන වේදිකා නාට්‍යවලට සම්මාන රාශියක් හිමිකර ගත්තේය. පසුව ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිෂ්පාදකවරයෙකු ලෙස සේවයට එක්වන ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ඒකාංගික ටෙලිනාට්‍ය සහ වාර්තා වැඩසටහන් ජාත්‍යන්තර සම්මානයට බඳුන් විය. පසුගියදා රැසියාවේ මොස්කව් හි පැවති 20 Detective Fest සම්මානයට බඳුන්වීමට අතුලගේ “සහෘදයෝ” ටෙලිනාට්‍යය සමත් විය. වර්තමාන ටෙලිනාට්‍ය කලාව ගැන ඔහු දැක්වූ අදහස් කීපයකි මේ.
පසුගියදා සම්මානයට ලක්වුණු ඔබේ නිර්මාණය ගැන කිව්වොත්?
සහෘදයෝ කියන්නේ ඒකාංගික ටෙලිනාට්‍යයක්. එහිදී අපි කතා කළේ මානව හිතවාදය ගැන. ජාතීන් අතර මිනිසුන් අතර විවිධත්වයක් වෙනසක් නැති බවත් ලෝකයේ ඉන්නේ එකම මිනිස් ජාතියක් බවත් මේ ටෙලිනාට්‍යයට තේමාව වී තිබෙනවා. ලෝකය පවතින්නේ සියලු මිනිස් වර්ගයාගේ සහසම්බන්ධතාවයෙන් බව පැවසීමට මට අවශ්‍ය වුණා.
ඔබගේ ටෙලිනාට්‍යවලට මෙයට පෙරත් සම්මාන ලැබී තිබුණා නේද?
මම රූපවාහිනියට පැමිණීමට පෙර “අරුණ උදාව” නමින් ඒකාංගික ටෙලිනාට්‍යයක් කළා. එය ජගත් නිවාස වසර වෙනුවෙන් තේරෑ ප්‍රශස්ත ටෙලිනාට්‍යයක් වුණා. රූපවාහිනියේ සේවයට පැමිණි පසු නිර්මාණය කළ පැටීලාගේ කතාව ටෙලිනාට්‍යයට ජාත්‍යන්තර ඇගැයීම් දෙකක් ලැබුණා. සිංදු කියන උණ පඳුර (පිටපත: රත්න ශ්‍රී විජේසිංහ) ටෙලිනාට්‍යයට හොඳම ළමා ටෙලිනාට්‍යයට හිමි ජාතික ටෙලි සම්මානය ලැබුණා. පිංකම සහ තෑග්ගෙන් තෑග්ග යන ටෙලිනාට්‍යයත් ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට ලක්වුණා.
මෙලෙස ජාත්‍යන්තරව සම්මාන ලැබුණත් අපේ රටේ හුඟදෙනෙක් මේ නිර්මාණ ගැන දන්නේ නෑ නේද?
ඒක හරි... මේ විදිහට ජාත්‍යන්තර සම්මාන ලැබුණත් ඒවා දේශීය වශයෙන් ඇගැයීමට ලක්වුණේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා නම් අවබෝධයක් නැහැ. උදාහරණ විදිහට “වාපි” කියන වාර්තා වැඩසටහන ජාත්‍යන්තර සම්මාන උත්සව දෙකකදී ඇගැයීමට ලක්වුණා. ජපානයේ NHK ආයතනය එය මිලදීගෙන ඔවුන්ගේ නාළිකාවේ විකාශය කළා. නමුත් අපේ රාජ්‍ය ටෙලිසම්මාන උළෙලෙදී නිර්දේශ වුණේවත් නැහැ.
ඔබ එයට හේතුව දකින්නේ කෙලෙසද?
ලංකාවේ සම්මාන උත්සවල සමීක්ෂණ මණ්ඩලවල අයගේ විෂය දැනුම ගැන මට ගැටලු තිබෙනවා. අනිත් එක ඔවුන් පුද්ගල අභිවන්දනය තමයි පෙරටුකොට ගන්නේ. 1970 දශකයේ නාට්‍ය සම්මාන උත්සවවල හිටපු සාමාජිකයෝ නිර්මාණවලට සම්මාන ලබාදීමට හේතුව පසුව පැහැදිලිව කියනවා. මහාචාර්ය ඈෂ්ලි හල්පේ, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා වගේ අය තමයි ඒ කාලේ විනිශ්චය මණ්ඩලවල සිටියේ. දැන් විනිශ්චය මණ්ඩවල ඉන්න සමහර විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ට ප්‍රායෝගික දැනුම ගැන ගැටලුවක් තිබෙනවා.
80-90 දශකවල ජාතික රූපවාහිනියෙන් පූර්වගාමී ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. අද පෞද්ගලික රෑපවාහිනි නාළිකා බහුලවීම මත ටෙලිනාට්‍ය කලාව වල්වැදී ඇති බව පේනවා?
මුල් අවදියේ දී ලංකාවේ ටෙලිනාට්‍ය නිර්මාණය කළේ සිනමාව ගැන හොඳ අවබෝධයක් තිබුණු ඩී.බී. නිහාල්සිංහ, වේදිකාව ගැන දන්නා ධම්ම ජාගොඩ, පරාක්‍රම නිරිඇල්ල, බන්දුල විතානගේ වගේ දැවැන්ත පුද්ගලයන්. ඔවුන්ට පොතපතේ දැනුම, ප්‍රායෝගික දැනුම සහ ජීවිත ඥාණය ද තිබුණා. ඔවුන් කවදාවත් මිනිසුන්ගේ ප්‍රඥාවට හානිවන දේකට ගියේ නැහැ. පසුකාලීනව වෙළෙඳ සමාජයත් සමඟ මිනිසුන් වගේම නිර්මාණත් විකිණෙන්න පටන්ගත්තා. නාළිකා අතර තරගකාරීත්වය නිසා වැඩි ලාභයක් සොයා අඩු වියදමකින් නිර්මාණ කිරීමට උත්සාහ කළා. ඒක ඉස්සර වට්ටෝරු සිනමාව වගේ වුණා. විෂය පිළිබඳ නොදන්නා අය නිර්මාණ ඉදිරිපත් කිරීමට පැමිණියා.
වෛද්‍යවරයකුට ලෙඩෙක් පරීක්ෂාකර බෙහෙත් දීමට උපාධියක් සහ වෛද්‍ය සභාවේ අනුමැතිය ඕනෑ. නීතිඥවරයකුට නීති විභාග සමත් විය යුතුයි. නමුත් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ට කවුරුවත් සහතිකයක් දෙන්නේ නැහැ. ඉස්සර චිත්‍රපට අධ්‍යක්ෂණයට ඒමට නම් ඊට පෙර කෙටි චිත්‍රපට කර පෙන්විය යුතුයි, තමන්ට චිත්‍රපටයක් නිර්මාණය කළ හැකි බව. අද සල්ලි තියන ඕනෑම කෙනෙකුට ටෙලිනාට්‍යයක් කරන්න පුළුවන්. අද අවශ්‍ය වන්නේ අධ්‍යක්ෂවරයෙක් නොවේ. සංවිධායකවරයෙක් පමණයි. අද පිටපත පවා ලියන්නේ නළු නිළියන්ගේ මුණ දිහා බලලයි.
මෙගා ටෙලි රැල්ල නිසා ටෙලිනාට්‍ය කලාව තවත් පල්ලෙහාට බැහැලා නේද?
ඔව්... ඒක සෝප් ඔපෙරා කියන නමින් බටහිර රටවල ආරම්භ වූ දෙයක්. නමුත් ඩින්ස්ටි වගේ මෙගා ටෙලිනාට්‍යවල තාක්ෂණික පැත්ත ඉතා ඉහළ මට්ටමක පැවතුණා. අන්තර්ගතයත් ප්‍රබලව පවත්වා ගැනීමට උත්සාහ කළා. නමුත් ලංකාවට එන මෙගා ටෙලිනාට්‍යවලින් මිනිස් රසඥතාවයට හානි කළා. 1977 දී පෞද්ගලික බස් සේවය ආරම්භ කළා වගේ තමයි අපේ රටට මෙගා රැල්ල ආවේ. කිසිම ප්‍රමිතියකින් තොරව දැන් මිනිස්සු අබිං කෑවා වගේ මේවාට පුරුදු වෙලා. රජය විසින් මේවාට ප්‍රමිතියක් සැකසිය යුතුයි. ඔය ප්‍රමිතිය ගැන ඉල්ලීම ටෙලිනාට්‍ය සංවිධානවලින් කාලයක පටන් කරන දෙයක්. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ.
මෙගා ටෙලිනාට්‍ය නිසා අපේ සමාජයට සිදුවූ විපාක මොනවාද?
මිනිසුන්ගේ මනස විනාශ කර නිර්මාණ ශක්තිය මොට කළා. පොතපත කියවීමෙන් ඈත් වුණා. රුචිකත්වය අන්තිම පහළ අඩියට වැටුණා.
අද නිර්මාණය වන ටෙලිනාට්‍යවලින් විශාල ප්‍රමාණයක් රාජ්‍ය රෑපවාහිනි මාධ්‍යවල සමීක්ෂණ මණ්ඩලවලින් ප්‍රතික්ෂේප වෙනවා. මෙවැනි දුර්වල ටෙලිනාට්‍ය නිෂ්පාදනය වන්නේ ඇයි?
මෙලෙස ප්‍රතික්ෂේප කළා කියලා කිව්වට ඒවා පසුව යළිත් අවස්ථාවක් ලැබුණු ගමන් විකාශනය කිරීමට නිෂ්පාදකවරු උත්සාහ කරනවා. ඔවුන් කුමන හෝ නාළිකාවකට අඩුවට හෝ විකුණනවා. දැන් උදේටත් දවල්ටත් රෑටත් ටෙලිනාට්‍ය පෙන්වනවා. රූපවාහිනිය කියන්නේ ටෙලිනාට්‍යම නොවේ. රසඥතාවය පිරිහෙනවා කියන්නේ රට විනාශ වෙනවා කියන එකයි.
කුසුම්සිරි