පසුගිය දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා, කෙසෙල් ආදී එළවළු පළතුරු වර්ග කිහිපයක මිල හිටිහැටියේම පහළ ගියේය. සමහර ඇමැතිවරුන් ලාබ එළවළු ආහාර වේලට එකතු කරගන්න කියා ජනතාවට යෝජනා කළ අතර දේශපාලන කරළියද ඒ හේතුවෙන් උණුසුම් විය.
එළවළු පළතුරු ඇතුළු සියලු වෙළෙඳපොළ භාණ්ඩවල මිල ගණන් ඉහළ පහළ යාම සාමාන්‍ය කාරණාවකි. එළවළු පළතුරු මිල පහළ යනවාට පාරිභෝගිකයන් කැමති නමුත් ගොවීන් ඊට අකමැතිය. මඩේ සිටවූ විට හැරමිටිය පවා දළුලන මහ පොළොවක ජීවත් වන ගොවියෝද එදාවේල සරිකරගන්නට දහදුක් විඳින පාරිභෝගිකයෝද එළවළු මිල නැගීමෙන් පීඩාවට පත්වෙති. පසුගිය දිනවල වෙළෙඳපොළේ හරි ලාබෙට තිබුණු එළවළු පළතුරු වර්ග කිහිපයක් චීනය සමඟ එළඹෙන ගිවිසුමක් හරහා චීනයට අපනයනය කරන්නට රජය සූදානම් වන්නේ මේ අතරය. එහි හොඳ නරක කෙසේ වෙතත් සැබෑවට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීම කාටත් වටින්නේය.
ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ඇතැම් නිපැයුම්වලට ලෝක වෙළෙඳපොළේ ඇත්තේ හොඳ පිළිගැනීමක් හා වැඩි වටිනාකමකි. ගැටලුව වී ඇත්තේ ඇතැම් නිෂ්පාදන විධිමත් ලෙස අපනයනය කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොතිබීමය. එළවළු හා පළතුරු වැටෙන්නේ ඒ ගණයටය. යුරෝපයට ලංකාවෙන් අපනයනය කෙරෙන අඹ, අන්නාසි, කෙසෙල් වැනි පළතුරුවලටත් ඇතැම් එළවළු වර්ගවලටත් ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මේ අතර මඤ්ඤොක්කාවලටත් හොඳ ඉල්ලුමක් පවතී. ඊට හේතුව බොහෝ දෙනා මඤ්ඤොක්කා පිළිකා නාශක ඔසුවක් ලෙස සැලකීමය.
මෙරටින් චීනයට අපනයනය කිරීමට සූදානම් වන එළවළු පළතුරු අතර මඤ්ඤොක්කා ප්‍රමුඛය. මෙම අපනයන කටයුත්ත සූදානම් වෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියමය පරිදි හදබිම අධිකාරිය හරහාය. දැනටද සුළු පරිමාණයෙන් මඤ්ඤොක්කා විවිධ රටවල්වලට යවන අපනයනකරුවෝ කිහිපදෙනෙක් වෙති. එය එසේ වුවද පසුගිය සමයේ අධික නිෂ්පාදනය නිසාවෙන් රට තුළ අතිරික්තයක් නිර්මාණය වූ එළවළු පළතුරු අතර මඤ්ඤොක්කා ද ප්‍රධානය. මේ හේතුවෙන් ඒවා වගාකළ ගොවියෝ දැඩි අපහසුතාවයට පත්වූහ. ඊට නිසි මිලක් නොවීමෙන් ඔවුහු අමාරුවට වැටුණාහ. ඒ අවස්ථාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හදබිම අධිකාරියට උපදෙස් ලැබුණේ ගොවීන්ගෙන් මඤ්ඤොක්කා මිලදී ගන්නා ලෙසටය. එම මිලදී ගැනීම් සිදුවුවද අතරමැදියන්ගේ බලපෑම් හේතුවෙන් හදබිමට මිලදී ගැනීමට තරම් මඤ්ඤොක්කා තොග නොතිබුණු බවද කියයි.
සෙසු එළවළු පළතුරු සඳහාද මෙය සිදුවනවා සේම ඊටද හේතුව වී තිබුණේ නිෂ්පාදන වැඩිවන කාලවලදී අතරමැදියන් ගොවීන්ගෙන් නිෂ්පාදන මිලදී නොගෙන සිටිමින් වෙළෙඳපොළ මිල වැඩිකරගැනීමට දරන උත්සාහයයි. මේ කාරණාව තවදුරටත් පැහැදිලි වන්නේ රටේ ඇතැම් පළාත්වල වෙළෙඳපොළවල පසුගිය දිනවල සුලබව ලාබෙට තිබූ එළවළු පළතුරු වර්ග සැලකිය යුතු තරම් දැන් දකින්නට නොතිබීමය.
මෙම තත්ත්වය කෙසේ වුවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත්වීම මත හදබිම අධිකාරිය චීනයට එළවළු පළතුරු අපනයනය සඳහා වන ගිවිසුමකට සූදානම් වෙයි. චීන රජයේ නියෝජිතයෙක් හා චීන තානාපති කාර්යාලය අතර මීට අදාළ සාකච්ඡා සිදුවෙයි. මේ අතර මඤ්ඤොක්කා සහ කෙසෙල් ප්‍රධාන වන අතර වට්ටක්කා පිළිබඳවද සඳහන් වේ. හදබිමට අනුව දිනකට ටොන් 50 ක් මඤ්ඤොක්කා චීනයට අපනයනය කිරීමේ අවස්ථාව ඉදිරියේදී අප රටට උදාවනු ඇත. එහෙත් එවන් සැපයුමක් කරන්නට තරම් ප්‍රමාණවත් නිෂ්පාදනයක් ලාංකික ගොවීන් සතුව නැත. එමෙන්ම දැනට පවතින නිෂ්පාදනද අපනයන ප්‍රමිතියේ නැත. අපනයන සඳහා වගා කළ යුතු ආකාරයත් අස්වැන්න නෙලාගත යුතු ක්‍රමවේදයත් දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් වගාවට වඩා වෙනස්ය.
අපනයන සඳහා වන නිෂ්පාදනය පිළිබඳව හරිත දනව් බිම් සංවර්ධන මධ්‍යම අධිකාරියේ (හදබිම) සභාපති ඉන්දික ගුරුගේ මහතාගෙන් අපි විමසුවෙමු. දැනට අපනයනයට ප්‍රමාණවත් වන තරම් අස්වැන්නක් නොමැති නමුත් හදබිම මැදිහත්වීම මත ගොවීන්ගේ මේ පිළිබඳ උනන්දුවක් ඇතිවී ඇති බව එහිදී සඳහන් විය. අපනයනය කරන සමාගම්ද නියමිත ප්‍රමිතියට වගාකිරීමට සූදානමින් සිටින අතර ඊට පහසුකම් සපයන ලෙස ඔවුන් ඉල්ලා තිබේ. ගොවීන්ට අස්වැන්නට නෙලීම පිළිබඳව පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් සමාගම් දෙකක් සමඟ දැනට සාකච්ඡා කර ඇති බවද සභාපතිවරයා පවසයි.
මෙම අපනයන වැඩපිළිවෙළ හරහා ගොවීන්ට සහ රටට සිදුවන වාසි පිළිබඳව සභාපතිවරයා මෙසේ පවසයි.
“ඍජුවම ගොවියාට හොඳ ආදායමක් ලැබෙනවා හොඳ මිලක් එක්ක. තමන් වගා කරන නිෂ්පාදන විකුණගන්න බැරිවෙයි කියන අවදානම නැතිව යනවා. ඒක තමයි ප්‍රධානම දේ. එතකොට ගොවියා බය නැතුව වගා කරනවා. ඒ වගේම බයි බැක් ඇග්‍රීමන්ට් ගහලා කම්පැණි සම්බන්ධ කළාම ගොවියාට වගා කරන්න ඒ අය උදව් කරනවා. ඒ කම්පැණිවලින් ඒ සමඟ නව ප්‍රභේද හඳුන්වලා දේවි. තාක්ෂණය ලබාදේවි. අනිත් අතට පිටරට සමාගම් ගොඩක් බලාපොරොත්තු වන්නේ ඕගනික් දේවල්. මේ නිසා තෙල් පොහොර ගහන්නේ නැතිව වස විස නැතිව අපේ ගොවියෝ වගාවට පෙළඹීම සිදුවේවි. ඒ වාගේම අපනයනය කරද්දී ලැබෙන සියලු ප්‍රතිලාභ ලැබේවි. හැම පැත්තෙන්ම මේකෙන් වාසියක් මිස අවාසියක් නෑ.”
ඉහත ප්‍රකාශය දෙස බලන විට මෙම අපනයන සැලසුමෙන් රටට අත්වන්නේ වාසි රාශියකි. කෙසෙල් වර්ග කිහිපයක්ද මෙලෙස අපනයනය කිරීමට සූදානම් කර ඇත. ඒ අතර ආනමාලු, කෝලිකුට්ටු, ඇම්බුන්, රත් කෙසෙල් යන වර්ග ඇතුළත්ය. කෙසෙල්ද පසුගිය සමයේ දේශීය වෙළෙඳපොළේ සුලභව පැවතුණ පළතුරකි. මේ වන විටත් විවිධ අපනයනකරුවෝ කෙසෙල් විදෙස් රටවල්වලට අපනයනය කරති. මැඩගස්කරය, කියුබාව මෙන්ම ලතින් ඇමරිකානු රටවල් යුරෝපා රටවලට කෙසෙල් යවන ප්‍රධාන පෙළේ රටවල් වෙයි. ඝර්ම කලාපීය පළතුරු සඳහා ශීත රටවල හොඳ ඉල්ලුමක් ඇති අතර ඊට හේතුව ඒවා රසයෙන් වැඩිවීමය.
පසුගිය සමයේ වැඩිපුර කතාබහට ලක්වුණු එළවළු වර්ගයක් වූයේ වට්ටක්කාය. නිෂ්පාදන අතිරික්තය හේතුවෙන් ගොවීන්ට මිලක් නැතිවී තිබුණද අතරමැදියන් ගොවින්ගෙන් මිලදී ගැනීම අවමකර වෙළෙඳපොළ මිල පාලනයට සමත් වූ අතර මේ හේතුවෙන් රජරට ඇතැම් ගොවි මහතුන් වට්ටක්කා දන්සල් පවා දී තිබිණි. වට්ටක්කාද මෙම අපනයන සැලසුමේ ඇත. එහෙත් වට්ටක්කාද අපනයනය කරනවා නම් ඊට ද විශේෂිත වගා සැලැස්මක් අවශ්‍යය. සාමාන්‍යයෙන් ලංකාවේ වට්ටක්කා රසයෙන් ඉහළ යැයි පිළිගැනීමක් තිබේ. මීට අමතරව මුරුංගා, තක්කාලි සහ උඩරට ඇතැම් එළවළු වර්ගද අපනයනය කළ හැකි බව කියැවේ. ඒ සඳහාද නිශ්චිත වගා සැලැස්මක් අවශ්‍යය.
මෙම අපනයන කතාව සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අප කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ කරගත් විට හෙළිවූ තවත් වැදගත් තොරතුරක් වූයේ කොළ පාට පිපිඤ්ඤා මෙට්‍රික් ටොන් දසදහසක් වාර්ෂිකව යුරෝපයට අපනයනය කිරීමට ඔවුන් පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹ තිබෙන බවය.
“මේ ගිවිසුමත් එක්ක මඩකලපුවේ අක්කර පන්සීයක ගොවීන් පන්සීයක් අපනයනය සඳහා කොළ පිපිඤ්ඤා වගා කරන්න සූදානම් වෙනවා. පසුගිය සතියේ අපි වගාකිරීම සඳහා වන ගිවිසුම් ගොවීන් අතර බෙදාහැරියා. දැන් ඒගොල්ලන්ට බය නැතුව වගා කරන්න පුළුවන්. වගාකිරීම සඳහා අවශ්‍ය සියලුම උපාංගත් ලෝක බැංකු ආධාර මත ලබාදෙනවා.” යැයි ද අපට තොරතුරු ලබාදුන් නිලධාරියා පැවැසීය.
අපනයන කතාවේ තවත් පැතිකඩක සිටින්නේ මෙරට පාරිභෝගිකයන් වන මහජනතාවය. එළවළු පළතුරු සඳහා අතරමැදි ඒකාධිකාරියක් පවතින රටක අපනයන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී එළවළු පළතුරු මිල අධික ලෙස ඉහළ නොයනු ඇතැයි කාට නම් සහතිකයක් දිය හැකිද? ගොවීන් හා පාරිභෝගිකයන් පිළිබඳ ගැටලුවේදී රැවුලත් කැඳත් දෙකම බේරාගැනීමට පාලකයන් සැමදා අසමත් බව අතීතයේ සිටම උදාහරණ තිබේ. ලක්සරි මඤ්ඤොක්කා, සුපිරි වට්ටක්කා, අත මිට සරු අයට පමණක් මිලදී ගත හැකි කෙසෙල් වර්ගද මෙරට වෙළෙඳපොළට පැමිණියහොත් අප පුදුම විය යුතු නැත. මිල පාලනය හා අතිරික්තය බෙදාහැරීම සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් සැකසීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීමකි. හදබිම අධිකාරිය මේ සඳහා සැලසුම් සකස් කරන බවද කියැවේ. එහෙත් ඒවා ක්‍රියාත්මක වී සාර්ථක වනතුරු අනාවැකි නොකිව යුතු බව ඉතිහාසය විසින් අපට කියා දී තිබේ.
►චමිඳු නිසල් ද සිල්වා