රජ දවස සිට එන තනතුරක් තමා වෙල් විදානේ කියන්නේ. ඉස්සර සිංහල රජවරුන් රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න වෙල් විදානේලා පත් කළා. රජු වෙනුවෙන් එයා රාජකාරි කරපු හින්දා ඒක උසස් තනතුරක් වුණා. මේ තනතුර අද වෙනකොට එච්චර තදින් ක්‍රියාත්මක නොවුණත් ඒ පරපුරෙන් පැවතගෙන එන අය තවමත් ගම්වල ඉන්නවා. එයාලට අදත් අමතන්නේ වෙල් විදානේ කියලයි.
රටේ ගොවිතැන් බත් කිරිල්ල සැලසුම් කළේ මේ මුලාදෑනියා තමා. එකම දිනයක ගොවිතැන් කිරිල්ල, ඕනෑ කරන බිත්තර වී සැපයිල්ල, කුඹුරු මඩ කිරිල්ල, පෝරු ගෑම වගේ මුලින් කරන වැඩ තමන්ගේ වැයික්කියේ එකම කාලයකට කරන්න කටයුතු කළේ මෙයයි. ඊටපස්සේ ගොයම වැඩෙන කොට ඕනෑ කරන වතුර බැඳිල්ල, ලියැදි සකස් කිරිල්ල, නියරවල් හරහා වැඩි වතුර ඊළඟ කුඹුරට බැස්සිල්ල වගේ කටයුතුවලදී කිසිම ගොවියකුට අසාධාරණයක් නොවෙන්න ඒවා සංවිධානය කිරීම මේ මුලාදෑනියාගේ රාජකාරි වුණා.
ඒ එක්කම ගොවිරාළලා අතර ඇතිවෙච්ච ප්‍රශ්න කෝලාහල ගැටුම් දක්වා දුරදිග යන්න දෙන්නේ නැතිව මුල් දවස්වලම විසඳන්නට මෙයාට තිබුණේ ලොකු හපන්කමක්. ගොවි ගැටලු ගම්මුලාදෑනියා ළඟට හරි ආරච්චිරාළ ළඟට හරි යන තරමට මෝරන්න ඉස්සරවෙලා විසඳලා ඉවරයක් කරලා දැම්මේ හරියට නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරොවෙන් කපන තරමට ලොකු වෙන්න ඉස්සරයි.
අද වාගේ කුලියට කුඹුරු වැඩ කරන පුරුද්දක් ඒ කාලේ තිබුණේ නැහැ. සමහර කුඹුරු අයිතිකාරයොම වැඩ කළා. තවත් ඒවා වැඩ කරන්න අත්තමට වගේම අඳේටත් ගොවියන්ට දීලා තිබුණා. අඳේට වැඩ කරන ගොවි රාළගේ වියදම ඇරලා අස්වැන්න දෙන්න බාගේ බාගේ බෙදාගැනිල්ල තමයි සිරිත වුණේ. බාග වෙලාවලට අඳ ගොවියා හරියට පංගුව දෙන්නේ නැතුව බොරු කළොත් ඒ දෙන්නා අතර හිත් නොහොඳ නෝක්කාඩුකම් ඇතිවෙනවා. සෑම කුඹුරු අයිතිකාරයෙක්ම තමන්ගේ කුඹුරු කන්නෙට වී බුසල් කීයක් ගන්ඩ පුළුවන්ද කියන එක ගැන දැනුවත්ව තමයි හිටියේ. ඒ හින්දා කාට බොරු කළත් එයාට බොරු කරන්නට අමාරුයි. ඉතින් මෙහෙම කන්න දෙක තුනක් තමුන් රැවැට්ටුවොත් ඒ අඳේ ලෙහලා දාන්ඩ කුඹුරු අයිතිකාරයා කටයුතු කළා.
සමහර අය පරම්පරාවෙන්ම අනුන්ගේ කුඹුරු කරලා තමයි ජීවිතේ ගැටගහ ගත්තේ. එහෙම දිගට වැඩ කරන ගොවියාට අඳ බුක්තියකුත් ලැබෙනවා. ඒ හින්දා ලෙහෙසියෙන් අඳේ ලෙහන්න අමාරුයි. ඒවගේ වෙලාවල ඇතිවෙන ආරවුල් ලෙහිල්ල මුළුමනින්ම පැවරුණේ වෙල් විදානෙටයි. ගොවි පරම්පරා ගැන හොඳින් දන්න කෙනකුට හිටියේ වෙල් විදානේ හින්දා එයා තමා මේවා විසඳන්න මූලික වුණේ. අඳ ගොවියාගේ බුක්තිය දිගටම දෙනවද එහෙම නැතිනම් ඉවර කරනවද කියන එක ගැන අවසන් විසඳුම දුන්නේ වෙල් විදානේ තමයි. සමහර වෙලාවට දඬුවම් පංගුවක් දීලා ආයි වැඩ දුන්නා.
ඒ වගේම රජ කාලේ නම් අස්වැන්නෙන් රජතුමාගේ කොටස රජ ගෙදරට යවන්න මූලික වුණේ වෙල් විදානෙයි. ඊට පහු කාලවල ගොවියා ආරච්චිලා මාර්ගයෙන් රජ ගෙදරට යවන බදු සල්ලි නිසියාකාරව ගණන් බලලා බාර අරගෙන ලැබෙන්න සැලැස්සිල්ලත් වෙල් විදානෙට අයිති රාජකාරියේම කොටහක් වුණා. කොටින්ම කිව්වොත් ගොවියයි මහ මුලාදෑනියයි අතර සම්බන්ධෙ ගොඩනගන්න මෙයා ලොකු වගකීමක් ගත්තා.
►යසවර්ධන