2018 ජුලි 14 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

 පහුගිය දවස් ටිකේම රටේ ලොකුම මාතෘකාව වුණේ අර අනුරාධපුරයේ තාත්තා. තමන්ගේ දුවගේ නිරුවත රැකගන්න සටන් කරලා ඒකට පස්සේ මැරුම් කෑවා ඒ තාත්තා. මේ තාත්තා ගැන සමාජයට අනේ කියවුණු වාර අනන්තයි. හැබැයි පැය විසිහතරක් යන්න හම්බවුණේ නෑ ඒ තාත්තව මහා අපරාධකාරයෙක් කළා. තාත්තා විතරක් නෙමෙයි ඒ දුවව, අම්මව අශීලාචාර කාන්තාවන් බවට පත් කළා. කවුද මේ කරන්නේ ශ්‍රී ලංකා පොලීසිය. 

දැන් මේ තාත්තව කෑලි කෑලිවලට කපලා මැරුවම පොලීසියේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මාධ්‍ය අහන්නේ මොකක්ද මේ සිද්ධියට හේතුව කියලා. බැලූ බැල්මට මේ තියෙන්නේ පවුල් දෙකක් අතර කෝලහාලයක්. ඒ කාරණය ඉස්මතු නොකර මාධ්‍ය ප්‍රකාශතුමා කියනවා “ඔය මැරිච්ච එක්කෙනාටත් නඩු පහක් තියෙනවා. එකක් කාන්තා අතවරයක්. අනෙක්වා පහරදීම්” ඊට පස්සේ මාධ්‍ය අහනවා ඒ දරුවගේ ඇඳුම් ගැලෙව්වා මරපු මිනිස්සු මීට කලින්. මාධ්‍ය ප්‍රකාශක කියනවා ඒ සිද්ධිය ගැන ප්‍රකාශයක් දීලා නෑ. ඒක අමූලික බොරුවක්. අර මිනිස්සු කියනවා කටඋත්තරේ දුන්නා කියලා.

දැන් මේ මාධ්‍ය ප්‍රකාශතුමා ඒ ගැන හාන්කවිසියක් හොයන්නේ නැතුව තරහා ගිහින් කියනවා “නෑ එහෙම කරලා නෑ. ඒක පොලීසියේ නැත්තන් දැන්ද මතක් වුණේ. ඊට කළින් ඉහළ අයට කියන්න තිබ්බානේ” වගේ කතා. දැන් මේ මාධ්‍ය ප්‍රකාශකතුමා කෝචොක් එක දාන්නේ කාටද? හයිකාරකම් දාන්නේ කවුද? මරපු මිනිස්සුද? නෑ පොලීසිය.

මැරුණු පියාගේ පැත්තෙන් කියනවා මගේ මහත්තයට ලිංගික අතවර චෝදනාවක් නෑලු. මේක කිව්ව ගමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට යකා නැගලා කියනවා “ආහ්... එහෙම කොහොමද? ඒ වීඩියෝ එක අපි ළඟ තියෙනවා. හිතුණොත් ඒකත් මාධ්‍යට මුදා හරිනවා” යකෝ මෙහෙම තර්ජනය කරන්නේ කොහොමද, මිනිස්සුන්ට.

මැරිච්චි මිනිහෙක්ට පොලීසිය ඉන්නේ අපහාස කරන්නද? නැත්තන් ඒ මනුස්සයට සිද්ධවෙච්ච අසාධාරණය විසඳන්නද? දැන් ඒ මනුස්සයා මැරිලා. හරි එහෙම කරපු වීඩියෝවක් තිබ්බා කියමු. ඒක එළියට දැම්මා කියමු. ඒක දාලා කොහොමද මේ දරුවෝ ගෙවල් වල යන්නේ. මේ දරුවෝ, බිරිඳ ජීවත්වෙන්නේ කොහොමද? ඒක පැත්තකින් තියමු. මේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ කාන්තාවන්ගේ කට වහන්න කරන වක්‍රාකාර තර්ජනක් නෙමෙයිද? කාන්තාවන්ට බලපෑමක් නෙමෙයිද? උඹලා කියවනවා නම් මම උඹලට ෂොට් එක දෙනවා කියලා නෙමෙයිද මේ කියන්නේ. පොලීසිය සටන් කරන්න ඕනේ අපරාධකාරයෝ එක්ක මිසක් මේ අහිංසක ගෑනු එක්කද? මේ කාන්තාවෝ කොච්චර අසරණ වෙලා ඉන්නකොටද මේ දේවල් කියන්නේ.

ඒ නිසා මාධ්‍ය ප්‍රකාශකවරයා සමාව ගන්න ඕනේ මේ මිනිස්සුන්ගෙන්. මේ කරපු තර්ජනයට ඔහුට එරෙහිව විනය පියවර ගන්න ඕනේ. නීතිය තියෙන්නේ යුක්තිය සාධාරණය සඳහා මිසක් අයුක්තිය අසාධාරණය සඳහා නෙමෙයි. මේ කරන්නේ අමු තක්කඩිකමක්.

මිනිස්සු පොලීසියට ගරු කරන්නේ දැන් කැමැත්තට නෙමෙයි බයට. හේතුව මොනවා පටලවයිද කියලා. දැන් ඒක එළිපිට කරනවා. කියනවා. පොලිස්පතිතුමා භාවනා ඉගැන්නුවට හරියන්නේ නෑ. කකුළුවෝ යන්නෙම ඇදේට. අනික භාවනාවෙන් සමාජ සබඳතා ගොඩගන්නත් බෑ. ඒක වෙනමම ගනුදෙනුවක්. පොලීසිය කියන්නේ ගෞරවනීය රැකියාවක්. ඒ රැකියාව අවනීතියට යටත් කරන්න නරකයි. ඉතිහාසයේ ඉඳලම වුණේ ඒක. අපි හොයන්නේ අපි එක්ක ගහගන්න පොලීසියක් නෙමෙයි. අපිත් එක්ක ප්‍රශ්න විසඳගන්න පුළුවන් පොලීසියක්. එහෙම පොලීසි ලංකාවේ අඩුයි. සමාවෙන්න පොලිසි නෙමෙයි, පොලිස් මහත්වරු අඩුයි. ඉන්නෙම මරාගන්න.

පොලීසිය සමාජයට එපා කළේ මේ ගනුදෙනුවේ අවුල හින්දා, ඒ ගනුදෙනුව හොඳට තිබ්බා නම් අදටත් ලංකාවේ ආදරය කරන වැඩිම පිරිසක් ඉන්නේ පොලීසියේ. එහෙත් කරුමෙකට කාකි ඇඳුම් දැක්කම මිනිස්සු “අපෝ” ගෑවෙන තැනට පොලීසිය පත්වෙලා. ඒ පොලීසියේ වැඩ නිසා. නීස බාල් නටලා අපරාධකාරයන්ගේ කරේ අතදාන පොලීසියක් නෙමෙයි අපිට ඕනේ. අපිට ඕනේ නිවැරදි මිනිස්සු ආරක්ෂා කරලා වැරදි කාරයන්ට දඬුවම් දෙන පොලීසියක්.

එකට එක, කරට කර කරන්න ඕනේ නම් පොලීසිය රටට වැඩක් නෑ. ඒ නිසා එන්න දැන්වත් හරිපාරට. අපි ලැස්තියි ඒ පාරේ මල් පලසවල් දාලා පිළිගන්න.

මම
බ්‍රෝ