2018 ජුලි 21 වන සෙනසුරාදා

සංඝ සමාජයේ විනය බලය මහනාහමිවරුන්ට!

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 342

දැන් ලංකාවේ වැඩ ඉන්නේ ඉස්සර කාලේ හිටපු විදිහේ භික්ෂුන් වහන්සේලාම නෙවෙයි. ඒක නිසා භික්ෂුන් වහන්සේලාට විනය නීති, විනය ශික්ෂා පැනවීම සුදුසුයි කියන අදහසක් මගේ ඔළුවේ තිබෙනවා. ඒ ඒ නිකායවලට අදාළව භික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම, සිවුරු පෙරවීම, ඇවතුම් පැවතුම්, විනය කර්ම ආදිය සිදුවෙනවා.

මහා නායක හාමුදුරැවන්ගේ අවසරය ඇතිව භික්ෂුන් වහන්සේලාට ශාසනික හා නෛතික බලය ඇතිවන විදිහට රාජ්‍ය පරිපාලන සංයුතියකින් යුතුව කතිකාවතක් හැදෙනවා නම් සුදුසුයි.

පසුගිය ආණ්ඩුව කාලෙත් කතිකාවතක් හැදීගෙන ආවා. ඒකේ මහා නායක හාමුදුරැවන්ටත් ඉහළින් තමයි බෞද්ධ කටයුතු කොමසාරිස් හිටියේ. ඒක වෙන්න බෑ.

ලබන ජූලි 20දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව අප සමඟ එලෙස අදහස් දැක්වූයේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමියෝ වෙති.

බෞද්ධ විනය නීති හා රාජ්‍ය නීති කඩ කරන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් පියවර ගැනීමට මහා නායක හිමිවරැන්ට බලතල පැවරෙන නව නිකාය කතිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පත මුලින්ම නැවත සකස් කිරීම ආරම්භ වූයේ 2015 දී කතා නායක කරැ ජයසූරිය මහතාගේ මූලිකත්වයෙනි. ඒ සඳහා එවකට බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද එක්වූහ. කතිකාවත් කෙටුම්පත සම්මත වී පනතක් බවට පත් වූ පසුව ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා විනය කඩ කළ අවස්ථාවල උන්වහන්සේලාට දඬුවම් පැමිණවීමේ බලය මෙන්ම භික්ෂූත්වයෙන් නෙරපීමේ අධිකාරීත්වය ද මහානායක හිමිවරැන්ට පැවරේ. නව නීතිය අනුව ඊට එරෙහිව සිවිල් අධිකරණයේ නඩු පැවරීමට ඉඩක් නැත. නමුත් භික්ෂූන් වහන්සේ නමකට තම මානව හිමිකම් කඩවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

කලින් ඉදිරිපත් කළ කතිකාවතට මමත් පුද්ගලිකව විරුද්ධ වුණා. අලුතින් භික්ෂු ශාසනික සම්ප්‍රදායයන් ආරක්ෂා වන විදිහට භික්ෂු කතිකාවතක් ගෙන එනවාට මගේ විරුද්ධත්වයක් නැහැ* පාතේගම ඥාණිස්සර හිමියෝ වැඩිදුරටත් අප සමඟ පැවසූහ.
කතිකාවත යන්නෙහි අර්ථය භික්ෂු සමාජයේ කටයුතු පාලනය කිරීමට පිළියෙල කරන ලද ආගමික ප්‍රඥප්ති මාලාවකි. අප රටේ පළමු වරට භික්ෂු කතිකාවතක් ගැන සඳහන් වන්නේ පොළොන්නරු යුගයේදීය. භික්ෂුන් මර්දනය කොට, භික්ෂුවට නොගැලපෙන දේ කරන්නා වූ භික්ෂූන් ඉවත් කර ශාසන සංශෝධනයක් කළ බවට සාධක වශයෙන් ගල් විහාර සෙල්ලිපිය හමුවන අතර එය පැවැත්වීමට මුල් වූයේ පළමු වැනි පරාක්‍රමබාහු රජුය. දිඹුල්ගල මහා කාශ්‍යප තෙරැන් එහි ප්‍රධානත්වයක් ගත් බව පැවසේ.

භික්ෂූන් වහන්සේගේ ඇවතුම් පැවතුම්, චර්යා රටාවන් විනයානුකූලව සකස් කිරීම, කාල සටහනකට අනුව චර්යාවන් හැඩගැස්වීම, භික්ෂුන් වහන්සේ විසින් පිටුදැකිය යුතු දෑ ආදි සමාචාරික ශික්ෂාවන්, පැවිදි කිරීම, උපසම්පදා කිරීම් ආදී සම්මුතීන් පොළොන්නරු කතිකාවතේ ඇතුළත්ය. ගල් විහාර පර්වතයේදී එය අදත් අපට දැකගත හැකිය.

ඊට වසර කිහිපයකට පසු කීර්ති නිශ්ශංකමල්ල රජුද කතිකාවතක් ඇති කර ශාසනයේ දුශ්ශීලයන් ඉවත් කොට, සුශීලයන් වහන්සේට නොයෙක් සංග්‍රහ කළ බව හැටදාගේ පුවරු ලිපියේ සඳහන් වේ. දඹදෙණිය යුගයේදී දෙවැනි පරාක්‍රමබාහු රජු ද කෝට්ටේ යුගයේදී හයවැනි පරාක්‍රමබාහු රජු ද කතිකාවතක් සම්පාදනයට මුල් වූ අතර මහනුවර යුගයේදී එයට මුල් වූ රජවරු වශයෙන් රාජාධිරාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරු සඳහන්ය.

භික්ෂූන් වහන්සේ රටේ රජුගේ නියමයට අනුගත විය යුතු යැයි මහා වග්ග පාලියෙදී බුදුන් වහන්සේ දේශනා කර තිබේ. සංඝ සම්මුතියක් ඇතිව ගොඩනැගෙන න්‍යායන් සමාජය තුළ ප්‍රබල බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වේ. එහෙත් රජයේ මැදිහත් වීම සහ දේශපාලන අතපෙවීම් අනවශ්‍ය වේ. එලෙස වූ විට වන්නේ අවුලකි. භික්ෂූන් වහන්සේගේ කතිකාවත් ක්‍රියාත්මක කිරීමට නීතිමය බලයක් අවශ්‍යය. කතිකාවත් සම්මුතියට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමෙන් ඒ නීතිමය බලය හිමිවේ. තමන්ගේ නිකායේ තම නිකාය පාර්ශවයේ භික්ෂූන් වහන්සේගේ පැවැත්ම හා විනය තීරණය කිරීමට ඒ ඒ නිකායන්වල මහා නායක හිමිවරුන්ට කාරක සංඝ සභාවට අවස්ථාව තිබේ.

අප රටේ භික්ෂු ශාසනයේ ප්‍රධාන නිකායන් තුනකි. සියම් නිකාය (මල්වතු/ අස්ගිරි ප්‍රධාන ශාඛා සහිත), අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒවා වේ. මේ නිකායන්වලට අනු පාර්ශව විශාල සංඛ්‍යාවක් තිබේ. නව කතිකාවත් පනත අනුව තමන්ගේ පාර්ශවයේ කටයුතු හා තීරණ පිළිබඳව තීන්දු ගැනීමට මහ නායක හිමිවරුන්ට හා කාරක සංඝ සභාවලට නීතිමය බලයක් හිමි වේ. මෙහි අවදානම් පාර්ශවයකුත් ඇති බව අපට පැවසුවේ රත්මලාන ධර්ම පර් යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ වෙති. භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත මෙයට පෙරත් ඉදිරිපත් වුණා. එහිදී ඉතාම ගැටලුකාරී විසඳාගැනීමට අමාරු දේවල් තිබුණා. දැන් ඒවා ඔක්කොම ඉවත් කර අලුත් පනතක් වශයෙන් සකස් කර තිබෙනවා. මේ පනත අනුව නිකායවල පාර්ශව විසින් ගොඩනගාගෙන තිබෙන කතිකාවත් ලියාපදිංචි කළ යුතුයි. එවිට නීතිමය වලංගුභාවයක් ලැබෙනවා. අපට තිබෙන ගැටලුව තමයි බොහෝ විට ඉදිරිපත් කළ කරුණු නෙවෙයි සම්මත කළ විට තිබෙන්නේ. පසුගිය කාලයේ මේ ආණ්ඩුවෙන් ඉදිරිපත් වූ පනත්වලින් ඒ බව පේනවා. මේ ගැන අස්ථාන භීතියක් වගේ එකක් අපට තිබෙනවා.

උදාහරණ විදිහට භික්ෂු ආරාම සංස්කෘතියට පටහැනිව අසපු සංස්කෘතියක් පවතිනවා. අසපු සංස්කෘතියට සම්බන්ධ විවිධ නිකාය පාර්ශව තිබෙනවා. ඒ නිකායික භික්ෂුන් වහන්සේලා තමන්ගේ නිකායට සම්බන්ධව බලයක් ගොඩනගා ගත්තොත් ඔවුන් ද කතිකාවතක් ගොඩනගා ගැනීමට පුළුවන්. තවත් පාර්ශවයක් විසින් භික්ෂුන් වහන්සේට දේශපාලනයට තරග කළ හැකියි කියා සම්මත කර ගැනීමට පුළුවන්. අසපු සංස්කෘතියේ තියෙන්නේ කල්ලියක ස්වරූපයයි. ඔවුන් තමන්ට අවශ්‍ය විදිහට කතිකාවතක් සම්මත කර ගැනීමට ඉඩ තිබෙනවා. ධර්මය විකෘති කරන තවත් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ද තමන්ට  අවශ්‍ය ලෙස කතිකාවතක් හදා තම මතය අනුව සම්මත කරගැනීමට ඉඩ තිබෙනවා. මේවාට නීතිමය වලංගුතාවයක් ලැබූ විට සමස්ත භික්ෂු ශාසනය අතර පරස්පර විරෝධතාවයක් ගොඩනැගීමට, ගැටුම් ඇති වීමට ඉඩ තිබෙනවා. අපි නම් කියන්නනේ මෙවැනි පනත් සම්මත නොවුණු තරමට භික්ෂු ශාසනයේ පැවැත්මට හිතකර බවයි.

හෑගොඩ හිමියන් පැවසූ අන්දමට මේ ආණ්ඩුවේ බොහෝ පනත් කෙටුම්පත් පනත් බවට පත්වන විට සංශෝධන සිය ගණනකට යටත්ව වෙනත්ම ස්වරූපයක් ගැනීමට ඉඩ ඇත. මේ පනත ද එලෙස නොවී භික්ෂුන් වහන්සේට හා බුද්ධ ශාසනයට හානියක් නොව වර්ධනයට හේතු වන පරිදි ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

♦ කුසුම්සිරි විජයවර්ධන 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00