තාරාවෝ ඉගිලෙති නාට්‍යය ලූෂන් බුලත්සිංහල නම් නාට්‍යකරැවා ඉතා ජනප්‍රියත්වයට පත් කළේය. ඔහු 1974 දී රතුහැට්ටකාරී නාට්‍යයට රාජ්‍ය සම්මානද හිමිකර ගත්තේය. 1980 දශකයේ රටපුරා ජනප්‍රිය වූ තාරාවෝ ඉගිලෙති තිළිණ කළ ලූෂන් වෙස්මූණු ගලවන්න වේදිකාවට ගෙන එන්නේ ඉන් වසර 35කට පසුවය. පසුගිය 12-13 දිනවල එහි මංගල දර්ශනය කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත විණි.
සංගීතමය සහ ෆැන්ටසිමය නාට්‍යයක් ලෙස වෙස්මූණු ගලවන්න ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන තිබේ. පසුතල දර්ශනවලින් තොර වේදිකාවේ එකම පසුබිම වෙස්මූණු රඳවනය සහ පුටු කීපයක් පමණි. මෙම සරල රංග උපකරණ ඔස්සේ ඔහු වර්තමානයේ සජීවී කතා තේමාවක් රංගගත කරන්නේ විශාල නළු නිළි කැලක් යොදාගනිමිනි. වේදිකාවට අලුත් මුහුණු රැසක් හඳුන්වාදීමද ඒ අතරම සිදුකර තිබේ.
කතාවේ බොහෝ අවස්ථා ගෙවීයන්නේ අද සමාජයට අත්‍යවශ්‍ය අංගයක් තරමට මුල්බැසගත් කැරොකි සමාජ ශාලාවක් තුළය. මේ කතාව ඉදිරිපත් කිරීමට ආධාරක වශයෙන් රංග පූරිකාවක්ද (දිනූෂා ලක්ෂානි) යොදාගැනේ. පූරිකාව ඉතා ප්‍රසන්න නිතර සිනහ මුහුණෙන් සිටින්නියකි. විටෙක ඇයත් සමාජ ශාලාවේම චරිතයක් බවට පත්වේ. මේ උතුරේ යුද්ධයේ අවසන් කාලසීමාව බව විටින් විට ඉදිරිපත් කරන වීඩියෝ දර්ශනවලින් පැහැදිලි වේ. උතුරේ යුද්ධ කරන අතර දකුණේ ඇමැති පුතුන්, ව්‍යාපාරිකයන්ගේ දරුවන් සමාජ ශාලාවල සැප විඳිති. ගාමිණී කාලවර්ණ නම් පරණ බඩු ව්‍යාපාරිකයාගේ පුතා වන සාලිය ඒ සමාජ ශාලාවේ නළඟනක් වූ අශෝකමාලාට පෙම් කරයි. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කරයි.
සාලියගේ අතිජාත මිත්‍ර ඇමැති පුතා ඔහුට අශෝකමාලා බලෙන් හෝ ලබාදීමට උත්සාහ කරයි. පසුව අශෝකමාලා පවසන්නේ තමන් සිංහල තරුණියක ලෙස වෙස්වලාගෙන සිටින කොටි සෙබළියක බවත් තමන්ට අවශ්‍ය මවත් සමඟ ඕස්ට්‍රේලියාවට පැනයාම බවත්ය. සංකීර්ණ කතාවක් මැවීමට උත්සාහ කළ බව පෙනෙතත් අවසානයේ නාට්‍යය ඉක්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ තත්ත්වයට පත්වේ. ඒ අතර සියලුම මිනිසුන් එකම බවත්, ඔවුන් ජීවිතයේ විවිධ අවස්ථාවලදී එකිනෙකාට ආදරය කරන බවත් පැවසේ. යුද්ධය නිෂ්ඵලයි. සියලුදෙනා ආදරය කළ යුතුයි. ඒ සඳහා තමන් පැළඳ සිටින වෙස්මූණු ඉවත් කළ යුතු බවත් පැවසීම අධ්‍යක්ෂ ලූෂන්ගේ අරමුණු වූ බව පෙනේ.
ඔහු එම පණිවුඩය ප්‍රබලව ප්‍රේක්ෂකයා තුළ කම්පනයක් ඇතිවන අයුරින් ඉදිරිපත් කරනවාද යන්න පැනයකි. නාට්‍යයේ සමහර අවස්ථා සංස්කරණය කර මූලික තේමාව තවදුරටත් ප්‍රබලව ඉස්මතු කළ හැකිව තිබූ බව අපගේ විශ්වාසයයි. මෙහිදී අශෝකමාලා සාලියට පවසන්නේ තමන් සිංහල මිනිසුන් සමඟ ජීවත්වෙමින් සිටියත් සිංහල රාජ්‍ය නායකයන්ගේ අසාධාරණකම් නිසා කොටි සෙබළියක වූ බවයි. එහෙත් සාලිය තම අවංක ප්‍රේමය ඇයට පුද කරයි. මෙහිදී අශෝකමාලාගේ චරිතයේ පෙර අවස්ථාවල විඳි ගැහැට ඇය වචනයෙන් පවසනවා හැරෙන්නට අපට ඉදිරිපත් නොකෙරේ.
චරිත වේදිකාවට පැමිණ තමන් පැළඳ සිටින වෙස්මූණු ගලවා තබයි. යථාර්ථවාදී මුහුණෙන් වේදිකාවේ රඟපායි. එහෙත් එලෙස වෙස්මුහුණු ගැලවීමේ සම්බන්ධයක් පවතීද යන්න සමහර අවස්ථාවල මතුවන පැනයකි.
නාට්‍යය අවසානය දක්වා ප්‍රේක්ෂක අවධානය රඳවාගැනීමට රංග පූරිකාවගේ සජීවී රංගනය ඉවහල් වේ. සාලියගේ පියාගේ තුවක්කුව දකින ඇය වේදිකාවෙන් ඉවතට විසිවීමේ අවස්ථාව කදිමය. සාලිය ලෙස රඟපාන ප්‍රභාත් චින්තකට නම් තවදුරටත් තම ප්‍රතිභාව ඔපමට්ටම් කරගත යුතුව ඇත. ඔහුගේ මුහුණේ ඉංගිත ආදිය චරිතයේ සංකීර්ණ මනෝභාවයන් ප්‍රකට නොකරයි. ඉෂාරා කෞශල්‍යා කැරොකි නළඟන අශෝකමාලා ලෙස සාර්ථක ඉදිරිපත් කිරීමකට වෙහෙස දරයි. ගාමිණී කාලවර්ණ ලෙස දිලිප් රෝහණ අඛණ්ඩව චරිතය බිඳනොවැටී පවත්වාගැනීමට උත්සාහ දරයි. මංගල කපුආරච්චි ලෙස රඟපාන නිව්ටන් ගුණසේකරද අගය කළ යුතුය. හර්ෂ බුලත්සිංහලගේ සංගීතයද මෙහි අවස්ථා ඉස්මතු කිරීමට ඉවහල් වේ. උපාලි හේරත්ගේ පසුතල නිර්මාණයද අගය කළ යුතුය.
සමස්තයක් ලෙස ගත්විටනම් වෙස්මූණු ගලවන්න තවදුරටත් සංස්කරණය විය යුතු බව පෙනේ. එය සමහර අවස්ථාවලදී දීර්ඝ ලෙස ඇදීයන ස්වභාවයක් පළ කරයි. තාරාවෝ ඉගිලෙති මෙන් වේගවත් ගලායාමක් නාට්‍යයට ලබාදුන්නේ නම් ප්‍රේක්ෂකයාට වෙහෙසක් නොදැනී නාට්‍ය රසවිඳීමේ අවස්ථාව උදාවේ. වීඩියෝ දර්ශනවලින් ඉදිරිපත් කෙරෙන ප්‍රවෘත්තිද තවදුරටත් අඩුකළ යුතු බව අපගේ හැඟීමයි. එවිට නාට්‍යයේ සංගීතමය පක්ෂය ඉස්මතු වී එය ගලායාමේ රිද්මය බාධා නොපැමිණෙනු ඇත.
වේදිකාව අත්හැර සිටි ප්‍රවීණයන් ක්‍රමයෙන් වේදිකාවේ පය තැබීම සතුටට කරුණකි. කපිල කුමාර කාලිංග බැංකු හොරා සමඟ වේදිකාවට පැමිණියේය. ලූෂන් ආවේ වෙස්මූණු ගලවන්න රැගෙනය. ධර්මසිරි බණ්ඩාරනායක, කේ.බී. හේරත් වැනි ප්‍රවීණයන්ද ඉදිරියේ වේදිකාවට නැඟිය යුතුය. අපේ නාට්‍ය කලාව ඉදිරියට යාමට එය අත්වැලක් වනු ඇත.
කුසුම්සිරි