ගිනිදැල් හා රන් පැහැයෙන් දිලිසෙන ගිනි අඟුරු මතින් ඔහු ගමන් කරද්දී උණු වතුර සිරුරට දමා ගනිද්දී සංවේදී හිත් ඇති නරඹන්නන් ඒ දෙස නොබලා අහක බලාගන්නේ සිරුර පිළිස්සී යාවි යැයි කියා බියට පත්වීම නිසාය. ඔහු ගිනි දැල් හා ගිනි අඟුරු මතින් පියවර තබන්නේ අපි පාරක ඇවිද යන හැටියට යැයි කීවොත් එය මුසාවක් නම් නොවේ.
ඒත් ඔහු ගින්දර සමග මේ විදිහට සෙල්ලම් කරන්නේ සුළු හෝ පිළිස්සුම් තුවාලයක් හෝ නොලබාය. ගින්දර එක්ක මේ විදිහට ඔහු නොපිළිස්සි විස්කම් පාන්නේ කිසියම් ගුප්ත බලයකින් හෝ දේව වරමකින් කියා සමහර විට ඔබ සිතනවා නොඅනුමානය. එහෙත් ඔහු මේවා කරන්නේ කිසිම දේව බලයකින් හෝ ගුප්ත බලයකින් නම් නොවේ.
ගින්දරත් එක්ක සෙල්ලම් කරන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබඳව හිටපු කථිකාචාර්යවරයෙක් වන එච්.පී දයාසිසිර මහතාය. දයාසිසිර මහතාගේ පදිංචිය ගම්පොළය. මේ වනවිට ඔහු මානව විද්‍යා පර් යේෂකයෙක් ලෙස කටයුතු කරයි.
දේවාලවල කපුවන් සතිගණන් මස් මාළු නොකා මත්පැන් නොබී ලිංගික සම්බන්ධතා පවා නොපවත්වා පේ වී ගිනි පාගද්දි ඔහු ගිනිමැල පිළිස්සුම් තුවාල නොලබා තරණය කරන්නේ ඒවා සියල්ලම කිරීමෙන් පසුව වීම විශේෂත්වයකි. දේව බලයෙන් ගුප්ත බලවේගවලින් කපුවන් හාස්කම් බව පවසමින් කරනවා යැයි කියන ඕනෑම දෙයක් එවැනි කිසිම බලයක් නොමැතිව මට කරන්න පුළුවනි යැයි දයා සිසිර මහතා කිව්වේ අප සමග කතාබහට මුල පුරමිනි.
දයා සිසිර මහතා තවදුරටත් අප සමඟ කතා බහ කරමින් මේ සම්බන්ධව තොරතුරු ගොනු කළේ මෙසේය.
ගිනි දැල්, ගිනි අඟුරු මතින් ගමන් කිරීම, උණුවතුර ඇඟේ හලා ගැනීම, කපුරු පෙත්තක් දිව මත තබා දල්වා ගැනීම, කටු ගැසීම දේව බලවේග වලින් කරන දේවල් කියා තමා කපුවන් කියන්නේ. එහෙම කියා කපුවන් ජනතාව මුලාවේ දමා මඩිය තරකර ගන්නවා. මේවා කිරීමට දේව වරමක් අවශ්‍ය යැයි කීම පට්ටපල් බොරුවක්. මේ සෑම කටයුත්තක් පිටුපසම තියෙන්නේ විද්‍යාත්මක සංසිද්ධි දාමයක් බව බොහොම පැහැදිලිවම කිව යුතුයි.
සමහර කපුවන් මන්තර ජප කරමින් සුවඳ දුම් අල්ලමින් පොල් ගෙඩි කරකවනවා. බිත්තර ගෙඩි වලින් ලේ අරගෙන පෙන්නනවා. මතුරන ලද වතුරෙන් සවුන්දර දල්වා පෙන්වීම වගේ දේවල් කර පෙන්නනවා. මේ වගේ දේවල් කරන්න මන්තර ජප කරන්න අවශ්‍යතාවයක් නැහැ. මන්තර බලයකින් තොරව මේවා කරලා පෙන්වන්න මට පුළුවනි. කපුවන් කරන්නේ ඔවුන් ළඟට එන අය රුවටීමක්. මේ වගේ පට්ටපල් බොරුවලට රැවටෙන්නත් එපා. මම මේවා කියන්නේ බොහෝම වගකීමකින්.
ගින්දරත් එක්ක කරන මේ භයානක සෙල්ලම ඔබ කරන පුරුදු වුණේ කොහොමද? මම ඔහුගේ කතාවට බාධා කරමින් විමසුවෙමි. මේ ඒ ප‍්‍රශ්නයට ඔහු දුන් පිළිතුරයි.
මට බයෝසයන්ස් ඉගැන්වූ සර් කෙනෙක් හිටියා. තුසිත සෙනවිරත්න කියලා. තුසිත සර් මේ වගේ මිත්‍යා විශ්වාස වලට දැඩි ලෙස විවේචනය කළා. ඒ සර් නිසා මම ගුප්ත විද්‍යායැයි කියා ඒවා ගැන ගවේෂණය කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට උසස් පෙළ ඉගෙන ගන්නා සිසුවෙක්. 2004 වසරේ අපේ ප‍්‍රදේශයේ කෝවිලක උත්සවයක් තිබුණා. මේ කෝවිලේ ගිනි පෑගීමක්ද ලෑස්ති කර තිබුණා. ගිනි පෑගීමට යන අය සතියක ඉඳලා මස් මාළු නොකා මත්පැන් පානය නොකර කිලිවලට අසු නොවී පේවී ඉඳලා තමා ගිනි පෑගීමට ඉදිරිපත් වුණේ. මමත් ඒ විදිහට පේවී සිටිය කෙනෙක් බව කියා ගිනි පා ගන්න ඉදිරිපත් වුණා. පූසාරියා කිව්වා බැරි වේලාවත් පේ නොවී ගිනි පෑගුවොත් පිළිස්සුම් තුවාල ලබනවා කියා. මමත් එදා මුල්වරට ගිනි පෑගුවා. හැබැයි මම මස් මාළු කාලා කිසිම පේවීමකින් තොරව නොපිළිස්සී ගිනි පෑගුවා. ගිනි පාගන්න දේව වරමක් අවශ්‍ය නොමැති බව මම එදා සත්‍යවශයෙන්ම තේරුම් ගත්තා.
එදා මෙදාතුර දයා සිසිර මහතා ගිනි පෑගීමේ පමණක් නොව ගිනිදැල් අතරින් ගමන් කිරීම, උණුවතුර නෑම සහ කපුරැ පෙත්තක් දල්වාගෙන සිටීම වැනි ගින්දර සමග කරන කි‍්‍රයා කිසිදු දේව බලයකින් තොරව කරන්නේ ජනතාව දැනුවත් කිරීමටයි. මේ ළඟදී දවසක දයා සිසිර මහතා ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකින් පැමිණි සිසු සිසුවියන් පිරිසකට පේරාදෙණියේ දී ගිනි පාගා ගිනි දැල් අතරින් ගමන් කර පෙන්වා ඇත්තේ ඔවුන් විශ්මයට පත් කරවමිනි.
කැලණි හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වලද රජ රට වෛද්‍ය පීඨයේද ගිනි පෑගීමේ හා ගිනි දැල් අතරින් ගමන් කිරීමේ සංදර්ශන පවත්වා තිබෙනවා. එම විශ්ව විද්‍යාලවල සිසු සිසුවියන් පවා කිසිම දේව වරමකින් තොරව ගිනි පෑගුවා. කැලණි හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල ගිනි පෑගීම සඳහා ශිෂ්‍ය භික්ෂු වහන්සේලාද සහභාගි වුණා යැයි දයා සිසිර මහතා පැවසීය.
මට තව දෙයක් පවසන්න තියෙනවා. ගිනි පෑගීමට ඉදිරිපත් වන අය ඊට සුළු මොහොතකට දිය නාගෙන දිය ඇඳුම් පිටින් තමා ගිනි පාගන්නේ. මම එහෙම නොකර ගිනි පාගන්න පුළුවන් බව පෙන්වා දුන්නා ඔහු කියයි.
මම මේවා කරන්නේ අපගේ සංස්කෘතියේ පවතින දේවල් අවඥාවට ලක් කිරීමට හෝ පුරාණ ශිල්ප ක‍්‍රම බාල්දු කරන්නට හෝ නොවේ. මගේ උත්සාහය මේ සෑම දෙයක්ම ඇති විද්‍යාත්මක පදනම පැහැදිලි කරමින් ජනවිග‍්‍රහය අවදි කිරීමටයි. ඔවුන් කරන බොරැව පෙන්වා දීමටයි.
ගිනි පෑගීමේ ඉතිහාසය ගැන මේ තොරතුරු ඉදිරිපත් කරන්නේද දයා සිසිර මහතාය.
දේවගැතියගේ ගිනිපෑගීමේ ලෝක වාර්තාව
1976 දී ඉන්දියාවේ කෝමාර් නැමැති පූජකයා ෆැරන්හයිට් අංශක 1494ක උෂ්ණත්වයක් සහිත ගිනිමැලයක් එංගලන්තයේදී පාගා ගිනිපෑගීමේ ලෝක වාර්තාවක් තැබුවේය. එවකට එංගලන්ත පර් යේෂකයන් එය විග්‍රහ කළේ කෝමාර් මෝහන තත්ත්වයකට පත්වීමෙන් එම හැකියාව ලබාගත් ලෙසටය.
භෞතිකවාදීහු ගිනි පාගති
1930 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ භෞතික පර්යේෂණ අංශය මුල්වරට ගිනිපෑගීමේ සංදර්ශන දෙකක් පවත්වා ඇත. ඉන්පසුව 1935දී ඉන්දියානුවකු සමග බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් දෙදෙනෙකු අඩි 12ක් දිග ෆැරන්හයිට් අංශක 800ක උෂ්ණත්වයක් සහිත ගිනිමැලයක් පාගා ඇත. යළිත් 1937 දී ඉස්ලාම් හා හින්දු භක්තිකයන් සමග පර් යේෂකයන් ගිනි පාගා ඇත. කිසිවකුට කිසි හානියක් නොවිණි. 1997 ඔක්තෝබර් 18 ලොව වඩාත්ම උණුසුම් ගිනිමැලය පෑගීමේ සංදර්ශනය අමෙරිකාවේ වොෂින්ටන්හිදී සිදුවිය.
දේවගැතියගේ ලෝක වාර්තාව බිඳ දැමූ සරසවි දියණියෝ
1998 ජූලි 02 ලොව දිගම ගිනිමැලය පෑගීමේ සංදර්ශනය ද පැවැත්වුනේ වොෂින්ටන් නගරයේ දීය. ඩේවිඩ් විලීගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අඩි 120ක් දිග ගල් අඟුරැ මැල තරණය කර ඇති අතර ඒවායේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1000-1800 දක්වා පරාසයක විය. සංදර්ශනය සූදානම් කළ භෞතික විද්‍යා මහාචාර්ය ඩේවිඩ් විලි පවසන්නේ එම හැකියාව සාමාන්‍ය භෞතික විද්‍යාවෙන් විග්‍රහ කළ හැකි බවයි. අමෙරිකාවේ 1977 සිට ටොලි බර්කන් හා පසුව ටෝනි රොබින්ස් අමෙරිකාවේ මෙන්ම එංගලන්තයේද ගිනිපෑගීමේ පුහුණු වැඩමුළු පවත්වා මේ වනවිට පුහුණුකරුවන් දහසකට වඩා සහ ගිනිපෑගීමේ අභ්‍යාස කළ ලක්ෂ තිහකට වැඩි පිරිසක් ලොවට බිහිකර ඇත.
ගිනිපෑගීමට භෞතික තත්ත්වයන් මෙන්ම මානසික සූදානම ද අත්‍යවශ්‍යය. පුහුණුව හා මානසික සූදානම මගින් අසාමාන්‍ය දේ කළ හැකි බව ගිනිපෑගීම මගින්ම ඩේවිඩ් විලිගේ සිසු සිසුවියන් පෙන්වා දී ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය