2018 ජුලි 28 වන සෙනසුරාදා

ළමා හිංසන ඉහළට

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 193

2018 අගෝස්තු මස පළමුවැනි බුධ දින ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට නීච රාශි භවන වූ කන්‍යා රාශියට පිවිසෙනු ඇත. සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටියට හසුවන සිකුරැ බලවත් අයුරෙන් පීඩාවට පත් වේ. 2018 සැප්තැම්බර් මස 1 වැනි ශනි දින දක්වාම බොහෝ පීඩාවට පත්ව ගමන් කරන සිකුරැ හේතුවෙන් ලොව පුරා අයහපත් වූ සිදුවීම් රැසක් වාර්තා වනු ඇත.

අප රටට ඇතිවන්නා වූ ප්‍රතිඵල විමසා බැලීමේදී ස්ත්‍රීන්ට ඉතා අයහපත් වූ බලපෑම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. මහජන මුදල් හානියට පත්වීම වැඩිවේ. ළමයින්ට සිදුවන අපරාධ හා හිංසන ක්‍රියාවල වර්ධනයක් ද වනු ඇත. රට තුළ විවිධ හේතු මත ස්ත්‍රීන් සහ දරුවන් විපතට වැටීම් සහ මරණයට පත්වීම් වැඩි වශයෙන් වේ.

කුඩා දරුවකුට අමානුෂික ලෙස සිදුකළ වද හිංසාවක් පිළිබඳව ආන්දෝලනාත්මක සිදුවීමක් ප්‍රචලිත වනු ඇත. ගායිකාවකට ගායකයකුට මෙන්ම කලා කටයුතුවල නියුතු රංගන හා ගීත ක්ෂේත්‍රවල ප්‍රකට කලාකාරියකට හෝ කලාකරුවකුට මාරක වනු ඇත. නිතර තෙත ගතියෙන් යුක්ත සුළං හමන කාලයක්ද වේ.

විදේශීය වශයෙන් අයර්ලන්තය, පර්සියාව, සයිප්‍රසය, ජෝර්ජියාව හා ආසියානු රටවල ජාතික මුදල් තත්ත්වයේ පහළ බැසීමක් සිදුවේ. වෙළෙඳ හා බැංකු මූල්‍ය ආයතන ආශ්‍රිතව අශුභ සිදුවීම් වාර්තා වනු ඇත.

තුර්කිය, ස්විට්සර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, සීලසියාව, බ්‍රසීලය, ග්‍රීසිය ආශ්‍රිතව වසංගත රෝග පැතිර යාමත් යාත්‍රාවක් අනතුරට පත්වීම හේතුවෙන් 50කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වීමක් ද වාර්තා වනු ඇත.

ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, මැසිඩෝනියාව, ලිතුවේනියාව, මෙක්සිකෝව යන රටවල ප්‍රසිද්ධ කාන්තාවකට මාරකයක් ඇතිවන තර රාජ්‍ය  ප්‍රධානියකුට අපල ද මාරක ද ඇති වනු  ඇත.

පෘතුගාලය, ලිබියාව, සහරාව යනාදී රටවල ස්ත්‍රීන්ට හා කුඩා දරුවන්ට ඉතා අශුභ වන්නාවූත් වකවානුවක් වේ.

මේෂ - හදිසි රෝග

අයහපත් ඵල වර්ධනය වන අතර ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇතිවනු ඇත. ඔබගේ කාලත්‍රයාට හදිසි රෝග පීඩාවක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවේ. 

වෘෂභ - පෙම් පලහිලව්

ප්‍රේමයට බාධා ගෙන දෙන අතර ආදරවන්තියන්ගේ සිත් පළුදු වීම්වලට පත්වන්නාවූත් කාලයක් වේ. කලා කටයුතුවල නිරත වී සිටින අයට ද අයහපත් වූ ඵල ගෙනදෙනු ඇත.

මිථුන - අසල්වැසි ගැටලු

හිතේ ප්‍රශ්න වැඩිවන කාලයක් වනු ඇත. තමා පදිංචි ස්ථානය ආශ්‍රිතව සහ අසල්වැසියන් පිළිබඳ ගැටලු ද ඇතිවනු ඇත.

කටක - සිතේ සහනය අඩුයි

ලේඛන කටයුතුවල නිරත අයට අයහපත් වන අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලි අයට ද අයහපත් බලපෑම් ඇතිවනු ඇත. සිතේ සහනය අඩුවන අතර නිතර යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත.

සිංහ - ආර්ථික ප්‍රශ්න

පවුල් ජීවිතයේ සමගියට බාධා ඇතිවන අතර ආර්ථික ප්‍රශ්න ද ගෙන දෙනු ඇත. අන් අයගේ දෝෂාරෝපණවලට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

කන්‍යා - විඩාව වැඩියි

ඔබගේ කටයුතුවලට ඇතිවන බාධා නිසා සිත් කලකිරීමට පත්වන අතර නිතර විඩාබරව ගත කිරීමට සිදුවනු ඇත. හිතමිතුරන්ගෙන් ද යම් යම් ප්‍රශ්න ඔබට ගෙන දෙන කාලයක් වේ.

තුලා - සතුන්ගෙන් පීඩා

ඔබට අයහපත් ඵල වැඩි වන අතර ඔබගේ කටයුතුවලට විවිධ බාධා ගෙන දෙයි. පවුල් දිවියේ ද ගැටලු වර්ධනය වන වකවානුවකි. සතුන්ගෙන් හදිසි ශරීර පීඩාවක් ඇති විය හැකි බැවින් ප්‍රවේසම් වන්න.

වෘශ්චික - ධනය ලැබීමට බාධා

සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන අතර හිතමිතුරන්ගෙන් ද ප්‍රශ්න ගෙන දෙනු ඇත. ධනය ලැබීමේ මාර්ගවලට බාධා ගෙන දේ.

ධනු - අයහපත් නැහැ

එතරම් අයහපත් බලපෑමක් නොවන නමුත් සේවා ස්ථානය ආශ්‍රිතව අනිකුත් සේවකයන්ගෙන් තමන්ගේ කටයුතුවලට බාධා ඇතිවේ. නව රැකියාවක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉටු නොවනු ඇත.

මකර - කටයුතු සුපුරුදු ලෙස

ඔබට ද අයහපත් නොවන අතර ඔබගේ කටයුතු සුපුරැදු ලෙස කරගෙන යාමට හැකියාව ලැබේ. හිස පිළිබඳ පීඩාවක් ගෙන දෙනු ඇත.

කුම්භ - පවුලේ ආරවුල්

ඔබට අයහපත් වෙයි. ඔබගේ කටයුතුවලට බාධා වැඩි වන අතර පවුල් දිවියේ සමගිය ද පළුදු වන වකවානුවක් වනු ඇත.

මීන - නීති ගැටලු

ව්‍යාපාරික කටයුතුවල නිරත අයට අයහපත් වනු ඇත. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් අවධානයෙන් සිටින්න. ලියවිලිවලට අත්සන් කිරීමේදී ද පරිස්සම් විය යුතු වේ. නීති ප්‍රශ්නයකට මැදි විය හැක.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00