- සම්මානනීය පරිවර්තක චන්ද්‍ර ශ්‍රී රණසිංහ
චන්ද්‍ර ශ්‍රී රණසිංහ අපට සිටින ප්‍රවීණ ශාස්ත්‍රීය කෘති පරිවර්තකයෙකි. ඔහුගේ පරිවර්තනවලට මේ වනවිට රාජ්‍ය සාහිත්‍ය සම්මානය තුන්වරක් හිමිවී තිබේ. වැඩිම වරක් ශාස්ත්‍රීය කෘති පරිවර්තනය උදෙසා සම්මාන ලබාගත් පරිවර්තකයා වන චන්ද්‍ර ශ්‍රී රණසිංහගේ අලුත්ම පරිවර්තනය ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්ය. මේ කෘතිය මරදාන දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.
මුලින්ම ඔබේ අලුත්ම පරිවර්තන කෘතිය ගැන හැඳින්වීමක් කළොත්?
යටත්විජිත සමයේදී සියලුම උසස් රාජ්‍ය නිලධාරීන් විසින් යටත්විජිත ලේකම්වරයාගේ දැනගැනීම පිණිස රාජකාරි දිනපොතක් පවත්වාගෙන ගියා. ඔවුන් සිදුකරන වැඩකටයුතු ගැන හා පෞද්ගලික අදහස් පවා ඒවායේ ඇතුළත් වුණා. මේක මුලින්ම නියමකර තිබෙන්නේ 1808 දී තෝමස් මෙට්ලන්ඩ් කියන ආණ්ඩුකාරයා විසින්. හම්බන්තොට දිසාපති වශයෙන් පත්වූ තරුණ ලෙනාඩ් වුල්ෆ් ද මේ නිසා දිනපොතක් පවත්වාගෙන ගියා. එහි රාජකාරි කටයුතු වගේම ප්‍රදේශයේ ජනජීවිතය නගාසිටුවීම සඳහා කළ යුතු වැඩ ගැන යෝජනා පවා අඩංගු වෙනවා.
ඔබ සම්පූර්ණ දිනපොතම පරිවර්තනය කර තිබෙනවා. මෙයට පෙර සමහර ලේඛකයෝ දිනපොතේ කොටස් පළකර තිබුණා නේද?
ඔව්. මේක අසංක්ෂිප්ත පරිවර්තනයක්. මේ දිනපොත පරිවර්තනය කිරීමට මට අදහසක් තිබුණේ නෑ. නමුත් දවසක් රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා කතා කරලා මේක පරිවර්තනය කරන ලෙස ඉල්ලා සිටියා. එයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම පාසල්වල උසස් පෙළට නිර්දේශ කර ඇති නිසා ඒ කතාවට පසුබිම් වූ දිනපොතත් පරිවර්තනය කිරීම වැදගත් බවයි. බැද්දේගම කෘතිය ගැන හරිහැටි අවබෝධයක් ලැබීමට නම් දිනපොතත් කියවිය යුතුයි. බැද්දේගම නවකතාව ලියනවිට ඔහු දිනපොතේ තිබෙන සත්‍ය සිද්ධිද නිර්මාණාත්මකව ඇතුළත් කර තිබෙනවා.
ඔබේ ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොත කෘතියට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?
හුඟදෙනෙක් දුරකතනයෙන් කතා කළා. මීගහජඳුරේ දිසානායක කියල මහත්මයෙක් කතා කළා. ඔහුගේ සීයා වුල්ෆ් ආශ්‍රය කළ කෙනෙක්. ඒ වගේ පැරණි මතක සහිත කිහිප දෙනෙක්ම කතා කර අදහස් දැක්වුවා.
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ඉහළ පරිපාලන නිලධාරීන් ලියූ රාජකාරි වාර්තා, දිනපොත්වල සාහිත්‍යයමය අගයක් තිබුණා. නමුත් දැන් ඒ වගේ සටහන් තැබීමක් දකින්න නෑ නේද?
මම දන්නා පරිදි මෑතක් වනතුරු ග්‍රාමසේවකවරුන්ට පවා රාජකාරි දිනපොත් බෙදා දුන්නා. නමුත් අපට බ්‍රිතාන්‍ය යුගයේ වගේ වටිනා අදහස් සහිත දිනපොත් නම් හමුවන්නේ නැහැ. එදා හිටපු දිසාපතිවරු, උප දිසාපතිවරු ජනතාව මැදට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න ගැන විමසා බැලුවා. පසුකාලීනව ඒ තත්ත්වය මඟහැරී ගිය බව පේනවා. යටත්විජිත කාලයේ ලියූ සටහන්වල රාජකාරි ස්වභාවයෙන් ඔබ්බට ගොස් මානුෂික අත්දැකීම් පවා දකින්න ලැබෙනවා. ඒ නිලධාරීන් ජනතාව සමඟ එකට ගැටිලා වැඩ කරපු බව පේනවා.
අද පරිවර්තකයෝ බහුලයි. නමුත් ඒ අතරින් වැඩිදෙනෙකුට මුල් කෘතිය ගැනවත්, මුල් කෘතියට පසුබිම් වූ කරැණු ගැනවත් අවබෝධයක් නැති බවයි පේන්නේ?
පරිවර්තනය සාර්ථක වීමට නම් තමන්ගේ මව්භාෂාව හොඳින් දැනසිටිය යුතු අතර පරිවර්තනය කරන භාෂාව ගැනත් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මුල් පිටපතට අවංකව නිවැරදිව පරිවර්තනය කළ යුතුයි. සමහරු කොටස් අත්හැර පරිවර්තනය කිරීම මුල් කෘතියට අසාධාරණයක්. පාඨකයා මුල් කෘතිය සංසන්දනය කරන්නෙ නෑනේ. ඒ නිසා ඔහු තුළ වැරදි අවබෝධයක් මතුවීමට පුළුවන්. මේක සෑහෙන්න හානියක්. ව්‍යාජ පරිවර්තනයක් නිසා මුල් කෘතියටත් හානියක් වෙනවා.
සිරිල්.සී. පෙරේරා, කේ.ජී. කරුණාතිලක වගේ හිටපු පරිවර්තකයන්ට වඩා අද පරිවර්තකයෝ කෘති කීපයක්ම එක්වර පළකරන බව පේනවා?
ඔව්. ඔවුන් හරි වේගයකින් පොත් පරිවර්තනය කරන බව පේනවා. මේක හරියට තරගයක් වගේ. විවේක බුද්ධියකින් පොත හදාරමින් පරිවර්තනය කරන බවක් පේන්නෙ නැහැ. ඔවුන්ට භාෂාව පිළිබඳ දැනුමත් හරිහැටි නෑ වගේ. මුල් කෘතියේ තිබෙන දේ ඒ ආකාරයෙන්ම අර්ථගැන්වෙන පරිදි පාඨකයාට ඉදිරිපත් කිරීමයි වැදගත් වන්නේ.
ඔබ කියන්නේ අද ආප්ප බානවා වගේ පොත් පරිවර්තනය කරන බවද?
ඔව්, මේක ඉතා වගකිවයුතු දෙයක්. යම්කිසි හොඳ කෘතියක් නරකට පරිවර්තනය කළ පසු වෙනත් දක්ෂ පරිවර්තකයෙක් පවා ඒකට අතගහන්නෙ නෑනේ. ඒ නිසා විකිණෙයි, ජනප්‍රිය වෙයි කියලා හිතාගෙන නම ප්‍රචාරය කර ගැනීමට පරිවර්තනය කිරීමට පෙර තමන්ට ඒකට හැකියාව පවතීද කියලා බලන්න ඕනෑ.
ඔබ ශාස්ත්‍රීය කෘති පරිවර්තනයට තමයි අවධානය යොමුකර ඇත්තේ. නිර්මාණ කෘති පරිවර්තනයට යොමුවීමට අදහසක් නැද්ද?
ඔව්. මම දිගටම ශාස්ත්‍රීය කෘති තමයි පරිවර්තනය කර තිබෙන්නේ. මුලින්ම පරිවර්තනය කළේ ජර්මන් පොතක් වූ අහිකුණ්ඨික ජනකතා. ඒකට 1973 රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා. ඊටපසු මම විවිධ ආයතනවල රුකියා කළ නිසා නිර්මාණ සාහිත්‍ය කෘති පරිවර්තනයට උනන්දුවක් ඇතිවුණේ නෑ. යළිත් සාහිත්‍යකරණයට බැස්සේ විශ්‍රාම ගියාට පස්සේ. ඒ කාලයේ ලොකු ශාස්ත්‍රීය කෘති කිහිපයක්ම කළානේ, ශ්‍රී ලංකාවේ වැද්දෝ, හෙන්රි පාකර්ගේ ලංකාවේ ගැමි ජනකතා, සිංහල සමාජයේ කුල ක්‍රමය වගේ. ඒ නිසා තවම නිර්මාණ කෘතියක් නම් පරිවර්තනයට කාලය ලැබුණේ නෑ.
කුසුම්සිරි