හැත්තෑ ගණන්වල මුලදී හාල්පොත හැරුණුකොට අතිරේක ආහාර සහන මිලට මිලදී ගන්නට සුදුපාට කාඩ්පතක්ද හඳුන්වා දී තිබුණි. පිටි, සීනි, ලූනු (ලූනු නම් 1973 සිට 1976 දක්වා ඇසට පෙනෙන්නට සමුපෙට ආවේ නැත) අල පමණක් නොව ඇතැම් විට රෙදි පවා දුන්නේ මෙම කාඩ්පතටයි. ගෙදර ඉන්න අයගේ හාල්පොත් ගණන අනුව කාඩ්පතින් සහන මිලට ගත හැකි ප්‍රමාණය වෙනස් වූයේය.
1973 – 1974 වන විට සහල් ප්‍රමුඛ සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟවී මහා පෝලිම් යුගය එළිදුටුවේය. සමුපකාරය යුදපිටියක් බවට පත්වූයේ සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය එතැනින් ලබාගත යුතු වූ නිසාය. බාහිර කඩවල සහල්, මිරිස්, සීනි ආදිය අලෙවි කරන්නට තහනම් වූවා පමණක් නොව, සහල් හා මිරිස් ප්‍රවාහනයද තහනම් වූයේය. පාරවල්වල මිරිස් සහ සහල් පරීක්ෂා කරන්නට යෙදූ බැරියර සහල් පොල්ල, මිරිස් පොල්ල යනුවෙන් ජනයා හැඳින්වූවෝය. කළුකඩයේ හාල් සේරුවක මිල රුපියල් දහය ඉක්මවා ගියේය. පාන්ගෙඩිය දුන්නේ ඉහත කී කාඩ්පතේ සලකුණු කරලාය. ඒ සමුපකාරයේ නොව මැම්බර්ගේ ගෙදරය.
රටේ ආහාර හිඟයට පිළියම් වශයෙන් වගා සංග්‍රාමය ප්‍රකාශයට පත් කෙරිණි. කෘෂිකර්මාන්තය නගාසිටුවීමේ ප්‍රචාරක වැඩපිළිවෙළ පෘථුල ලෙස දියත් විය. මෙවර වී වගාව පමණක් නොව ගෙවතුවල අල, බතල, මඤ්ඤොක්කා වගා කරන ලෙස ප්‍රචාරාත්මකව ගුවන්විදුලියෙන් උපදෙස් ලැබුණේය. රජයෙන් කළ එම ඉල්ලීමට නාගරික ජනයා පවා අවනත වූවෝය. ඔවුහු හැකි පමණින්, ටින්, මල්පෝච්චි ආදියේ පවා මිරිස් සිටුවා ගත්තෝය. මඤ්ඤොක්කා වගාවද වැඩි වැඩියෙන් සිදුවිය.
සහල් හිඟයට පිළියමක් වශයෙන් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල හෝටල්වල බත් ආහාර පිණිස විකිණීම තහනම් විය. ප්‍රධාන ආහාරය වූ බත තම හෝටලයේ අලෙවි කිරීම නිසා අත්අඩංගුවට පත්වූ හෝටල් හිමියෙක් අද ඒ ගැන රසකතා කියති.
මේ කාලයේ ප්‍රචාරය වූ දේශාභිමානී ගීත අතර ප්‍රචාරාත්මක නොවූ ඇතැම් සාර්ථක ගීතද එළිදුටුවේය. කෙසේ වුවද බොහෝ ගීතවල සාගතයට හේතුව ලෙස කියවුණේ දේශපාලන ප්‍රතිපත්තිවල ලුහුඬුතා ගැන නොව ජනතාවගේ කුසීතකම ගැනයි. ප්‍රබුද්ධ ගීත යනුවෙන් උදෑසන ප්‍රචාරය වූ ගීත අතර ප්‍රේමසිරි කේමදාසයන් සංගීතය නිර්මාණය කළ ඇතැම් ගීත අදටත් ආසාවෙන් රසවිඳිය හැකිය.
සොඳුර මට සමුදෙන්න
ඈත ගමේ සරු පස පෙරළන්නට මා යනවා අද උදෑසනින්
හැත්තෑ හතේ මැතිවරණය සමීපවන විට ජේ.ආර්. ජයවර්ධන ඇමතුවේ ආහාර හිඟයෙන් බැට කෑ ජනතාවකටයි. ඔහුගේ එක් ඡන්ද පොරොන්දුවක් වූයේ ධාන්‍ය රාත්තල් අටක් එක් පුද්ගලයකුට සතියකට සහනාධාරයක් ලෙස ලබාදීමයි. එසේ ලබාදෙන්නේ කුමන ධාන්‍ය වර්ගයදැයි හරි හැටි නොකී නිසා මිනිසුන් ඊට කීවේ ඇට අට කියාය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මුල් දිනවල ධාන්‍ය වෙනුවට පාන්පිටි නිකුත් කෙරිණි. විවෘත වෙළෙඳපොළට සහල් නිදහසේ එන්නට ඉඩ හැරියේය.
පුරුද්දක් හැටියට මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රචාරයට පෙර එන තේමා වාදනය වෙනස් වූයේය. ඇට අට නොදීම පිළිබඳව මැසිවිලි කියා පලක් නොවූ නිසා අයෙක් ප්‍රවෘත්ති වාදනයේ තනුවට ගීයක් හැදුවෝය.
ඇට දෙන්න බැරි හින්දා - පිටි දුන්නා රොටි කන්න
ඒ ගීතේ මුල් පද එලෙසය. 1977 නොවැම්බර් මාසයෙන් හාල්පොතේ කතාව නිමවිය. ඒ මාසයේ රුපියල් දෙක බැගින් සේරැවකුත් සේරු භාගයක් නොමිලේත් නිකුත් වූයේය.
යටියන්තොට පැත්තේ තරුණ කැලක් සහල්පොත ගැන ශෝක ප්‍රකාශයක් මුද්‍රණය කොට බෙදාහැරියෝය.
අහෝ දුකකි
උපත 1946 විපත 1977
හාල්පොත් වහන්සේට සිදුවූ ධර්මිෂ්ට අනතුරකින් අභාවප්‍රාප්ත වූ සේක. ආදාහනය
පසුව දැනුම් දෙනු ලැබේ.
අදාළ මුද්‍රණාලයට ගිය පොලීසිය මෙය කළෝ කවුරහුදැයි මුද්‍රණාලය හිමියාගෙන් විමසා දැනගත්තේය. පොලීසියෙන් තමන්ව සොයන බව දැනගත් ඊට මුල්වූ තරුණයෙක් ආචාර්ය එන්.එම්. පෙරේරා හමුවිය. මරණ දැන්වීම දුටු ආචාර්ය එන්.එම්. පෙරේරාට සිනහ පහළ විය.
අයිසෙ මේකෙ තමුංව අත්අඩංගුවට ගන්න තරම් හේතුවක් නෑ. කියූ ආචාර්ය එන්.එම්. පෙරේරා ඔහුට අවශ්‍ය වුවහොත් භාවිත කරන්නට ලිපියක් දුන්නේය. එම තරුණයාව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තරයේ අවවාද කොට නිදහස් කර ඇත. පොලීසියට නොදුන් එම ලිපිය තවමත් ඔහු සතුව ඇත.
ඉන් පසුව සහල්පොත භාවිත වූයේ මැතිවරණ කාලවලදීය. ඒ ප්‍රචාරක කටයුතු සඳහා අච්චුගැසූ ඒවාය. 1982 ජනාධිපතිවරණ සමයේදී ප්‍රචාරක කටයුතු සඳහා අච්චුගැසූ ව්‍යාජ හාල්පොතක් සම්බන්ධයෙන් ඔසී අබේගුණසේකර මහතාව අත්අඩංගුවට ගත් පුවතක් එකල පළවූයේය.
සහල් නිෂ්පාදනය වැඩිකරන්නට සෑම රජයක් විසින්ම අවංකව ගත් උත්සාහය ඵලදරා මේ වන විට එක් අයකුට වසරකට කිලෝග්‍රෑම් 100කට ආසන්න වන තරමේ සහල් ප්‍රමාණයක් දේශීයව නිපදවන්නට දැන් හැකියාව ලැබී ඇත. ඒකපුද්ගල සහල් පරිභෝජන ප්‍රමාණය වූ එක් අයකුට කිලෝග්‍රෑම් 105 – 110 කරා ළංවන්නට පිටරටින් ගෙනෙන්නට සිදුවී ඇත්තේ සුළු ප්‍රමාණයකි. වසරකට ඉතා සුළු ප්‍රමාණයක් (මෙට්‍රික් ටොන් 2000 – 3000 ක් වැනි) අපනයනය කිරීමද සිදුවී ඇත. වගාබිම් ප්‍රමාණය වැඩිවීමත් අක්කරයට ලැබෙන අස්වැන්න වැඩිකරගැනීමත් නිසා මෙම තත්ත්වයට ළඟාවන්නට හැකියාව ලැබී තිබේ.
උපතින් ලද අයිතියක් ලෙස ඒ යුගයේ සැලකූ හාල්පොත දැන් නැත. විවෘත වෙළෙඳපොළේ සහල් වර්ග ඇති තරම් තිබේ. මිල වැඩි වුවද ආණ්ඩු පෙරළීමට තරම් බලපෑමක් සහල්වල මිල නිසා සිදුවන බවක් නොපෙනේ.
සමන් පුෂ්ප ලියනගේ