2018 ජුලි 28 වන සෙනසුරාදා

ගාලු ක්‍රිකට් පිටියට ආණ්ඩුවෙන් ගුග්ලි

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 217

පසුගිය සෙනසුරාදා (21 දින) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්පිටිය අසලට විශාල පිරිසක් එක්රොක්ව සිටියහ. ප්‍රදේශවාසීන්, දේශපාලනඥයන් මෙන්ම ක්‍රීඩාලෝලීහු ද ඒ අතර වූහ. ඔවුන් ක්‍රීඩාංගණයේ සිට බස් නැවතුම්පොළට පෙළපාලියකින් පැමිණියේ සටන් පාඨ කියමිනි. බොහෝ විට උද්ඝෝෂණ පැවැත්වෙන්නේ ක්‍රීඩාපිටියක් හෝ වෙනත් අවශ්‍යතාවක් ලබාගැනීම සඳහාය. මෙදින උද්ඝෝෂණය පැවැත්වුණේ ගාල්ල ක්‍රීඩාපිටිය කඩා ඉවත් නොකරන ලෙස ඉල්ලමිනි. මෙම ක්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට රජය ගෙන තිබූ තීරණය හකුලා ගන්නට සිදුවුණේ මහජන විරෝධය නිසා බව එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ ප්‍රකාශ කළේය. මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසුවේ ශ්‍රී ලංකාව තුළ කෙරෙන අරගල ප්‍රමාණවත් නොවන්නේ නම් යුනෙස්කෝ සංවිධානය ඉදිරිපිටට ගොස් හෝ අරගල කරන බවකි. 

ගාල්ල ඕලන්ද කොටු පවුර ඉදිරිපිට තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණය ගාලු පුරයට අභිමානයක් මෙන්ම අලංකාරයක් ද ගෙනදේ. එම ක්‍රීඩා පිටියට ලාංකිකයෝ පමණක් නොව විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයෝ පවා ආදරය කරති.
ගාල්ල ක්‍රීඩාංගණය ඉවත් කරන බවට ප්‍රකාශ වූ සැණින් එයට එරෙහිව මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද යුද්ධයක් ආරම්භ විය.  “ගාල්ල ක්‍රීඩාංගණයට අත නොතබනු යනුවෙන් සඳහන් ෆේස්බුක් පිටු ද ආරම්භ විය.
ක්‍රීඩාංගණය ඉවත් කරනවාය යන අදහස මතුවන්නේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සති තුනකට පමණ පෙර කළ ප්‍රකාශයකිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පින්නදූව ප්‍රදේශයට ගෙනයන බවත් ඒ සඳහා අක්කර 50ක භූමියක් වෙන්කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. ඒ සඳහා හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් මතුව තිබෙන බවත් ඊට හේතුව කොටු පවුර ඉදිරිපිට තිබෙන ක්‍රීඩාංගණයේ හා අවට අවිධිමත් ඉදිකිරීම් බවත්ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ක්‍රීඩාංගණය වටා ඇති අවිධිමත් ගොඩනැගිලි ඉවත් කර එය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ලෙස නොව පාසල් සිසුන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සඳහා වෙන්කරන බවය.
පසුගිය ජූලි 17දී උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි සමඟ සෙත්සිරිපායේදී පැවැති සාකච්ඡාවේදී පැවසුණේ ඉදිරි දින දෙක තුළ ක්‍රීඩාංගණයේ සියලු අනවසර ගොඩනැගිලි කඩා ඉවත් කරන බවත් ක්‍රීඩාංගණය වක්වැල්ල ප්‍රදේශයට ගෙනයන බවත්ය. එම තීරණය එයට පෙර අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී ගෙන තිබූ බවද පැවසුණි. එම සාකච්ඡාවේදී ගාල්ල ක්‍රීඩාංගණයේ පරිපාලනය බාරව සිටින බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ පවසා තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරියටත් පවත්වාගෙන යායුතු බවත් එය ඉවත් කිරීම ජාතික අපරාධයක් බවත්ය.

යුනෙස්කෝ ලෝක උරුමය

පෘතුගීසි ජාතිකයන් විසින් ගාලුකොටුව ඉදිකිරීම් ඇරඹුවේ 1589දීය. වර්ෂ 1658 දී ලන්දේසින් මෙරට මුහුදුබඩ පළාත්වල පාලනය ලබාගත් අතර ඔවුන් ගාල්ල කොටුව වඩාත් ශක්තිමත් කොට 1760 වනවිට කාලතුවක්කු 19ක් රුඳවිය හැකි පරිදි ඉදිකර තිබුණි. 1796දී බ්‍රිතාන්‍යයෙන් අප රටේ මුහුදුබඩ පළාත්වල බලය තහවුරු කරගත් විට ගාල්ල ද ඔවුන්ගේ කේන්ද්‍රස්ථානයක් විය. ඔවුහු ඕලන්ද කොටුව තම බලකොටුව බවට පත්කර ගත්හ.

ගාලුකොටුව 1974 දී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්විය. මෙම ඓතිහාසික උරුමයේ වැදගත්කම සලකා එය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළේ 1988 දීය. ඒ අනුව ලෝක උරුම කොටු නගරය තුළ පිහිටි සියලුම නිවාස, ගොඩනැගිලි ඇතුළු සමස්ත ප්‍රදේශයම පුරාවිද්‍යා ස්මාරක වේ.

එම ගොඩනැගිලි වෙනස් කිරීම හෝ අලුතෙන් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහනගර සභාව යන රාජ්‍ය ආයතනවලින් පූර්ව අවසරය ලබාගත යුතුවේ. ගාලු උරුමය පදනම ද ගාල්ල කොටුවේ ආරක්ෂාව වෙනුවෙන් තිබෙන සංවිධානයකි. ගාල්ල කොටුව තුළ ඇති ඕලන්ද ගොඩනැගිලි, නිවාස බොහෝමයක් ඇතුළතින් ‍හොර රහසේ වෙනස් කර ඇති බව ප්‍රකට රහසකි. 

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය

බලකොටු ප්‍රාකාරය ඉදිරිපිට තිබෙන තැනිතලා භූමිය මුලින්ම ක්‍රීඩාපිටියක් බවට පත්වූයේ ඉංග‍්‍රීසි පාලන සමයේදී එනම් 1876 දීය. තුරඟ තරග සඳහා එය ක්‍රීඩාපිටියක් ලෙස සකස් කළ බව පැවසේ. තුරඟ තරගවලින් පසු ක්‍රිකට් තරග සඳහාත්, පාසල් ක්‍රීඩා සඳහාත් මේ පිටිය භාවිත කෙරුණි. හෙක්ටයාර් 4.2 විශාලත්වයෙන් යුත් මේ ක්‍රීඩාංගණය 1927 වනවිට ඉංග්‍රීසි ජාතිකයන්ගේ ක්‍රිකට් කෙළිමඬලක් බවට පත්විය. එයට යොදා තිබුණේ ලණුපැදුරු තණතිල්ලකි. 1945 දී එය නවීකරණය කර එහි සැබෑ තණතිල්ලක් ඉදිකෙරුණි. 1984 වනවිට පසුපෙළ ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩාංගණය භාවිත විය.

මෙය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට පත්වූයේ 1998 ජූනි 3දා ඇරඹි ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගය සමඟිනි. එය මෙරට හත්වැනි ජාත්‍යන්තර ක්‍රිකට්පිටිය බවට පත්විය.
ගාල්ල මහ නගර සභාවේ අයිතිය යටතේ පැවති ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බදු ඔප්පුවකින් පවරා දෙනු ලැබීය. ඒ වසර 30ක කාලසීමාවකට යටත්වය. මෙම ගිවිසුම නිමාවන්නේ 2028 අප්‍රේල් 2දාය. බදුදීමේ දී ප්‍රධාන කොන්දේසි 27කින් සමන්විත ගිවිසුමකට අත්සන් තැබුණි. එහි කොන්දේසි අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට අමතරව ජාතික සහ ප්‍රාදේශීය තරග සඳහා ද ගාල්ල මහනගර සීමාවේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ පාසල්වල මලල ක්‍රීඩා සඳහා ද ක්‍රීඩාංගණය ලබාදිය යුතුය. මෙහි ක්‍රීඩාලෝලීන් 35000කට තරග නැරඹීමට ඉඩකඩ පවතී.

වාසනාවන්ත ක්‍රිකට්පිටිය

මෙම ක්‍රිකට්පිටිය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට්වලට වාසනාව ගෙනදුන් ස්ථානයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙන්ම ක්‍රීඩා ලෝලීහුද සලකති. නගර අන්තය සහ ගාල්ල අන්තය යනුවෙන් පැති දෙකකින් යුත් මෙහි මේ වනවිට ටෙස්ට් තරග 31ක් සහ එක්දින තරග 6ක් පවත්වා තිබේ. ඒ අතරින් ටෙස්ට් තරග 18ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන අතර තරග 6ක් ජයපරාජයෙන් තොරව අවසාන වී ඇත. එළැඹෙන නොවැම්බර් 10 දින ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මෙහි ආරම්භ වීමට නියමිත අතර දැනටත් එහි ටිකට්පත් 3000කට අධිකව අලෙවි වී ඇති බව පැවසේ. ලොව මෙතෙක් බිහි වූ දක්ෂතම දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් තමන්ගේ 800 වැනි ටෙස්ට් කඩුල්ල ලබාගනිමින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් වාර්තා කළේත් මේ ක්‍රීඩාංගණයේදීය. එමෙන්ම ඕස්ට්‍රේලියානු දඟපන්දු ශූරයා ෂේන් වෝන් 500 වැනි ටෙස්ට් කඩුල්ල බිඳ දැම්මේත් මේ ස්ථානයේදීය.

ක්‍රියේට් ගෝල්

ගාල්ල නගරය සංචාරක පුරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නව නගර සැලැස්මක් රජය විසින් ඉදිරිපත් කර ඇති අතර එය ක්‍රියේට් ගෝල් නම් වේ. එම සැලැස්ම යටතේ නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය එහි මූලිකත්වය ගෙන ක්‍රියාකරයි. ගාල්ල ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම්ද ඒ යටතේ ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව සමහරැ පවසති. 

යුනෙස්කෝ අවදානමක් නැහැ

රෝමයේ පිහිටි සංස්කෘතික දේපල ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ආචාර්ය ගාමිණී විජේසූරිය පවසන්නේ යුනෙස්කෝව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හෝ එහි ඉදිකිරීම් ඉවත් කළ යුතු බවට සිය අලුත්ම වාර්තාවේ සඳහන් කර නැති බවයි. ඉකුත් ජූලි මුල ලෝක උරුමය පිළිබඳ කමිටුවේ 42 වැනි සභාවාරය පැවැත්වුණි. එහිදී ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ගැන සාකච්ඡා නොවූ බවද ඔහු පවසයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කරියවසම් (24 දා) පැවසුවේ ගාලු කොටුවේ ලෝක උරැම තත්ත්වයට බාධාවන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාගාරයේ කොටස් කිහිපයක් පමණක් ක්‍රමානුකූලව ඉවත් කිරීම සිදුවන බවය. මෙම ප්‍රේක්ෂකාගාරය ගාලු කොටුවේ ලෝක උරුම තත්ත්වයට බාධාවක් බව යුනෙස්කෝ සංවිධානය වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා කීවේය. ගාලු කොටුව ලෝක උරුමයක්ය යන්න ගැන සැලකිල්ලක් නොදක්වා මහින්ද රාජපක්ෂ සමයේ ඉදිකිරීම් කර ඇති බවත් ඔහු කීවේය.

මේ වනවිට යුනෙස්කෝ අවදානම් තර්ජනයට පාත්‍රවී ඇති ස්මාරක 54ක ලැයිස්තුවක් යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත්කර ඇත. රටවල් 33ක ස්මාරක එහි ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ කිසිදු ස්මාරකයක් එම ලැයිස්තුවේ නැත. වැඩිම ස්මාරක සංඛ්‍යාවක් අවදානමට ලක්ව ඇත්තේ සිරියාවේය. බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රියාව, බොලිවීයාව, ඉන්දුනීසියාව, මධ්‍යම අප්‍රිකාව ඇතුළු රටවල් රැසක ස්මාරක එලෙස අවදානමට ලක්ව පවතී. 

ක්‍රීඩා මණ්ඩපය

යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාවේ මහලේකම් ලාල් රණවීර 23දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ද ක්‍රීඩාංගණය තුළ ඇති මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය හා ඊට දෙපසින් ඇති ක්‍රීඩා මණ්ඩප ද්විත්වය සහ එහි ඉදිකර ඇති වෙළෙඳසල් සහ පුහුණුවීම් කරන ස්ථාන ඉවත් කළ යුතු බවයි. වර්ෂ 2019 දෙසැම්බර් 1 දිනට පෙර මෙම තත්ත්වය නිවැරදි නොකළහොත් ගාලුකොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමට ලක්විය හැකි බවද ඔහු සඳහන් කර තිබේ.
ගාල්ල ක්‍රීඩාංගණයට පාරාවළලක් වී ඇති මෙම ක්‍රීඩාමණ්ඩප ඉදිකර ඇත්තේ 2007 හා ආසන්න කාලයකය. එවකට ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දසනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් යවමින් (2007 ඔක්. 3) පවසන්නේ මෙම ඉදිකිරීම් පිළිබඳව ගාල්ල මහ නගර සභාවෙන් හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පූර්ව අවසරයක් ලබාගෙන නැති නිසා එම තත්ත්වය නිවැරදි කිරීමට මැදිහත් වන මෙන්ය. මෙම ක්‍රීඩා මණ්ඩපය නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ අතර එවකට එම අධිකාරිය අයත් වූයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයටය. ගාලු කොටුවේ ආවක්ශීය දර්ශනයට බාධාවන පරිදි ඉදිකළ එම ක්‍රීඩා මණ්ඩපයට මහින්ද රාජපක්ෂ නාමය ලබාදී තිබුණි. 

පුරාවිද්‍යා පනත

1949 අංක 9 දරණ පුරාවිද්‍යා පනතේ 27 වැනි වගන්තිය අනුව කොටුවේ සිට යාර 400ක දුරින් කෙරෙන ඉදිකිරීම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත යුතුවේ. එහෙත් ක්‍රීඩාංගණයේ එවකට කළ ඉදිකිරීම් සඳහා එවැනි අවසරයක් ලබාදුන් බවක් වාර්තා නොවේ.

කෙසේ වුවත් අනවසර ඉදිකිරීම් ඇත්නම් ඉවත් කරනවා විනා ලෝකයේ අලංකාරකම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වළපල්ලට යවන ආකාරයේ දේශපාලන ප්‍රකාශ කිරීම නම් කිසිවකුත් අනුමත කරන දෙයක් නොවේ. “ගාල්ලේ තිබෙන වටිනාකම සියලුම දෙනා දන්නවා. ගොඩනැගිල්ලක යම් ප්‍රශ්නයක් ඇත්නම් එයට පිළිතුරක් ලබාදෙනවා මිසක් එයට දේශපාලන කෝණයකින් විසඳුම් ලබා නොදිය යුතුයි. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන බීබීසී සිංහල සේවයට පවසා තිබූ අදහස දේශපාලන බලධාරීන් හිතට ගතයුතු වේ.


කුසුම්සිරි විජයවර්ධන