2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

ඒමේඅත පැද්දෙන මරණයේ තොණ්ඩුව

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

ඔය අපරාධකාරයෝ එකෙක් දෙන්නෙක් එල්ලුවා නම් හරි පසුගිය දශක තුන පුරා රටේ අපරාධ සිදුවෙන විට බොහෝ දෙනා මෙලෙස කියන්නට ඇත. ඒ මෙරට 1976 වර්ෂයේ සිට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවුණු නිසාවෙනි. ගෙවුණු කාලයේ විටින් විට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කතාබහ ඇති වුණද ඒ කතාබහ කාලයත් සමඟ යටපත් විය. නමුත් මෙවර නැවත කරළියට පැමිණ ඇති මරණීය දණ්ඩනය පිළිබඳ සංවාදය වෙනදාට වැඩියෙන් බරපතළ සංවාදයක් ඇතිකර තිබේ.

ඒ අනුව පක්ෂ විපක්ෂ මතවාද බොහෝමයක් මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පළවෙමින් තිබේ. මුලදී එල්ලුම් ගහ ඉල්ලා ප්‍රබල හඬක් රට තුළින් මතු වුවද දැන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මේ සම්බන්ධව විරෝධතා මතු වෙමින් තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර පැවති උත්සවයකදී තමන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් තැබීමට සූදානම් බව පැවසීම මේ කතාවේ ආරම්භය විය. පසුව පසුගිය 10 වැනි දින ජනපති ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ මරණීය දණ්ඩනය නියම වී සිටිමින් සිරගෙදර සිට ජාවාරම් මෙහෙයවන වැරදිකරුවන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමටයි. පොළොන්නරුවේදී 21 වැනිදා පැවති උත්සවයකදී ජනපතිවරයා නැවත ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බවයි. මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී ඇති පිරිසගේ ලැයිස්තුවක් ද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මඟින් කැඳවා තිබේ. මේ දැනට පවතින තත්ත්වයයි. දැන් දේශීය හා විදේශීය වශයෙන් මේ සම්බන්ධව එල්ල වී ඇති විරෝධතා විමසා බැලිය යුතුය.

ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කනස්සල්ල පළකර තිබේ. කොමිෂන් සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ අත්සනින් යුතු ලිපියක් පසුගියදා 13 ජනාධිපතිවරයාට යොමු කර තිබිණි. එම ලිපිය අනුව 2016 ජනවාරි 01 දා කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම අහෝසි කළ යුතු බවට නිර්දේශ කරමින් ලිපියක් යොමුකර ඇතැයි සිහිපත් කර තිබේ. තවද මෙම ලිපියෙන් හෙළිවන තවත් කාරණාවක් වන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකාව 2016 වසරේදී ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඡන්දය දී ඇති බවයි. මෙහිදී මරණ දඬුවම ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කරනු ලබන කෘෘර අවමන් සහගත නිශ්ඵල දඬුවම් ක්‍රමයක් ලෙස හඳුන්වා ඇත. සිරකරුවන් බන්ධනාගාර තුළ සිට සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමට විසඳුම වන්නේ ආරක්ෂක කටයුතු නවීන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීම හා නිලධාරීන් අවධානයෙන් සිටීම බව ද මෙහි දක්වා ඇත.

මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊට පක්ෂ අදහස් ද සමාජය තුළ වෙයි. පසුගිය කාලයේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ පවා පැවැත්විණි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ මූලික අපේක්ෂාව නම් පොදු සමාජයේ අතිමහත් බහුතරයකගේ පැවැත්මට හානිකර පුද්ගලයන් ඉවත් කිරීම හා සමාජය තුළ වැරදි කිරීමට බිය ඇති කිරීමය. මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බහුතරයකගේ අපේක්ෂාව වන්නේ මෙම දඬුවම ක්‍රියාත්මක කිරීම හරහා අපරාධ අවම වනු ඇති බවයි. මෙහි සත්‍යතාවය පිළිබඳ ලොව පුරා විවිධ පර්යේෂණ සිදුවී ඇති අතර මතවාද රාශියක් තිබේ. එහෙත් පොදු එකඟතාවයක් නැත.

මේ අතර යුරෝපා සංගමය ද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සැලසුම පිළිබඳ ඕනෑම වතාවරණයක් යටතේ දැඩිව හා අවිවාදාත්මකව විරුද්ධත්වය පළ කරන බව ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශයට බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව හා නොවේජියානු යන තානාපති කාර්යාල ද කැනඩා මහ කොමසාරිස් කාර්යාලය ද යුරෝපා සංගමය සමඟ එකතුව ඇත. වසර 40කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පළවෙන වාර්තා පිළිබඳ ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් විමසා ඇති බව සඳහන්ය. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම හරහා ලංකාවට GSP+ බදු සහනය අහිමි වීමේ අවදානමක් පවතින බව යුරෝපා සංගමයේ දේශපාලන, වෙළෙඳ හා සන්නිවේදන අංශ ප්‍රධාන පෝල් ගොඩ්ග්‍රි මහතා සඳහන් කරයි.

මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් එල්ලවන විරෝධය එක්තරා දුරකට අනිසි බලපෑමකි. අමෙරිකාව, ජපානය, චීනය වැනි රටවල මෙම දඬුවම ක්‍රියාත්මක වන විටත් මැද පෙරදිග ඉතා කෘෘර අමානුශික ලෙස ක්‍රියාත්මක වන විටත් යුරෝපා සංගමය බලපෑම් කරනවා ද යන්න මෙහිදී නැගෙන පැනයයි. ලෝකයේ කුඩා රටවල් අරභයා එක පිළිවෙතක් බලවත් රටවල් අනුගමනය කරයි. මෙරට පාලකයන් ද සිදු කරන්නට යන්නේ එල්ලුම් ගහ පෙන්වා අපරාධ අවම කර තම අවශ්‍යතා ඉටු කර ගැනීමය. යුරෝපා සංගමය ද කරන්න යන්නේ GSP+ පෙන්වා බය කර ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමකි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සුදුසුද නුසුදුසුද යන්න වෙනත් ප්‍රශ්නයකි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව මෙරට ප්‍රබල සමාජ බලයක් සහිත ආගමික නායකයන්ගෙන් සැලකිය යුතු විරෝධත් මේ වනතෙක් එල්ල වී නැත. පසුගිය මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය සම්බන්ධව සිදු වූ සිදුවීම් හා සංවාද මෙම තීරණයට හේතු වූ බව පෙනී යයි. දිගින් දිගටම ආණ්ඩුව පාර්ශවයට එල්ල වූ චෝදනා හා පාලකයන් ශක්තිමත් නොවන බවට ගොඩනැගුණු සමාජ මතය හරහා මෙවන් තීරණයකට එළඹීමට ආණ්ඩුව පොළඹවා තිබන බව පෙනේ. ආගමික නායකයන් විසින් ආරක්ෂා කරන නිහඬ බව සඳහා ද හේතු වී ඇත්තේ ප්‍රතිපත්තිමය කාරණාවන් නොව වාස්තවික සමාජ හැසිරීමයි. තවත් පසකින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම යනු දේශපාලන තුරැම්පුවක් ද විය හැකිය. කාරණාව කවරක් වුවත් මෙවන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී පාලකයන් සබුද්ධික විය යුතුය.

මරණ දඬුවම සම්බන්ධයෙන් ලෝක තත්ත්වය විමසීමේදී දැනට ලෝකයේ රටවල් 54ක පමණ එය ක්‍රියාත්මක වන බව පෙනීයයි. එයින් චීනය, ඉරානය වැනි රටවල් ඉදිරියෙන් සිටී. ශ්‍රී ලංකාව වැනි පසුගිය දශකයේ සහ ඊට වඩා වැඩි කාලයක් මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ රටවල් 29ක් පමණ ලොව පුරා වෙයි. එමෙන්ම ලොව රටවල් 105ක පමණ සම්පූර්ණයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ නැත. ලොව දැනට පවතින ප්‍රවණතාව රටවල් තුළින් මරණ දඬුවම අහෝසි කිරීමයි. ආණ්ඩුවලට සිය පුරවැසියන් ඝාතනය සඳහා ලබාදෙන බලපත්‍රයක් සේ මරණ දඬුවම හඳුන්වන අතර ජීවත් වීමේ අයිතිය මේ ඔස්සේ උල්ලංඝනය වන බව සැලකෙයි.

ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම සිවිල් සංවිධාන, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රාශියක් මේ වන විටත් සිය කනස්සල්ල පළ කර ඇත. ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙනි. ඊට ප්‍රධාන හේතුව වන්නේ බන්ධනාගාර තුළ මරණ දඬුවම නියම වී සිටින ඇතැම් ප්‍රබල ජාවාරම්කරැවන් සිර ගෙදර සිටිමින් සිය ජාවාරම් මෙහෙයවමින් සිටීමයි. මේ හා සම්බන්ධ කටයුතු කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ගොස් පිලිපීනයට හා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටරාටේට එල්ල වී ඇති චෝදනා සිහිපත් කරගැනීම මෙරට පාලකයන්ට වටිනු ඇත. මත්ද්‍රව්‍ය වර්ධනයට සහ බන්ධනාගාරවල තත්ත්වය පාලනයට විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව මේවන විට මතුව ඇත. එහෙත් එය මරණ දඬුවම පැනවීමෙන් පමණක් සාර්ථක කරගත හැකි දැයි යන්න ගැටලු සහගතය.

 චමිඳු නිසල් ද සිල්වා