පංච කල්‍යාණියට අනුව තරබාරුකම අයත් වන්නේ මාංශ කල්‍යාණයටය. නමුත් මාංශ කල්‍යාණය වර්ධනය වීමෙන් තරබාරැකම ඇතිනොවේ. තරබාරැකම ලෙස ආයුර්වේදයේ හඳුන්වනු ලබන්නේ මාංශ කල්‍යාණය වසාගෙන ඇඟපතෙහි ඇතිවන මහත්වීමය. ආයුර්වේදයට අනුව මේදස් නම් (තෙල) ධාතුව වර්ධනය වීමෙන් තරබාරුව ඇතිවේ.
සමට යටින් මේදස් හෙවත් මේදය තැන්පත් වීමට අමතරව වෙනත් ස්ථාන තුළද මේදය තැන්පත් වීම තුළින් තරබාරැකම සිරැරේ දක්නට ලැබේ. මේ නිසා ස්ත්‍රී හා පුරැෂ දෙපාර්ශ්වයේම පියයුරු පෙදෙස, නිතඹ පෙදෙස හා උදරය පෙදෙස තරබාරුව වැඩි වශයෙන් පෙන්නුම් කරන පෙදෙස් වේ.
තරබාරු සිරුරක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු
පාරම්පරික බව
අධිපෝෂණය
ව්‍යායාම් රහිත වීම
දහවල් කාලයේදී නිදාගැනීම.
එකම ආහාර වර්ග වැඩිපුර ගැනීම.
බොහෝ දෙනා අනවශ්‍ය ලෙසින් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර ගනිති. එහෙත් ආහාර වේලකදී ගන්නා ආහාර ප්‍රමාණාත්මකව වැඩිවීම තුළින් හා දවස පුරා නිතර නිතර ආහාර ගැනීම තුළින් ද නොදැනුවත්වම ශරීරයට අවශ්‍ය ආහාර ප්‍රමාණයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ශරීරයට ලැබේ. කෙනකු ආහාර ගත යුත්තේ කුසගින්නට මිස පෙරේතකමට නොවේ.
එමෙන්ම අද බොහෝ දෙනෙක් උදේ ආහාරවේලට ගත් ආහාරම දහවල් ආහාරවේලටද ගැනීමට පුරුදුව සිටිති. රාත්‍රියේ දී පාන් වැනි පිෂ්ඨ අධික ආහාරයක් ගනිති. නමුත් එකම වර්ගයේ එළවළු හා ආහාර නිසා ශරීරයට නිතරම ලැබෙනුයේ එකම රසයෙන් සහ ගුණයෙන් යුත් ආහාර පමණි. මෙමගින්ද තරබාරුකම ඇතිවීමට පුළුවනි.
අද බොහෝ දෙනා ව්‍යායාම් සඳහා ව්‍යායාම් ආයතනවලට (ජිම්) යාමට පුරැදුව සිටිති. නමුත් මේ තරබාරැකම මට්ටු කරලීමට එවැනි ව්‍යායාම් කට්ටල සහ එවැනි ආයතන අවශ්‍ය වන්නේ නැත. සාමාන්‍ය ජීවිතයේදී නිවෙස තුළදී තමන්ගේ වත්තේ පිටියේ හොඳින් ශරීරයට දැනෙන ලෙස හොඳින් දහඩිය පිටවන වැඩවල නිරතවන්නේ නම් එයින්ද හොඳ ව්‍යායාමයක් ශරීරයට ලබාගත හැක. බොහෝ දෙනා ව්‍යායාම් ලෙස උදෑසන සහ හවස ඇවිදීමට පුරැදුව සිටිති. නමුත් තවත් කෙනකු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඇවිදින විටදී ඔබේ සිරුරට ව්‍යායාම් නොලැබේ. මේ සඳහා ඉතා සුදුසු වන්නේ පිරිසුදු වාතාශ්‍රය ලැබෙන පරිසරයක ඇඟට දැනෙන ලෙස, ඇඟට දහඩිය දමන ලෙස ඇවිදීමයි. ව්‍යායාම් කරද්දී හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමද අවශ්‍යය.
නමුත් ඔබ තරබාරු කෙනෙක් නම් ව්‍යායාම් කිරීමට පළමුව සුදුසු වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය. ඇතැම් රෝග තත්ත්වයන් තුළදී ඇතැම් ව්‍යායාම් කිරීම සුදුසු නොවේ.
එවැනි රෝග වන්නේ දියවැඩියාව (මධුමේහය), අධික රුධිර පීඩනය, හන්දිපත් වේදනාව, කොන්ද කැක්කුම, හෘද රෝග ආදියයි.
මීට අමතරව තරබාරු පුද්ගලයෝ බොහෝ දෙනෙක් මෙම රෝග තත්ත්වයන්ට මුහුණදෙති. ජීවිතයේ අවසාන කාලයේදී මෙම රෝගී තත්ත්වයන්ගෙන් අඩුම තරමේ එක රෝග තත්ත්වයකට හෝ මුහුණදෙති. බොහෝ දෙනා තරබාරැකම පිළිබඳව විශාල ලෙස කම්පා වන්නේ එයින් තමන්ගේ රූපයට සිදුවන අවලස්සන හේතුවෙනි. නමුත් තරබාරැකම හේතුවෙන් ජීවිතේ පසුකාලීනව ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඊට වඩා වැදගත් වේ.
ශරීරය තරබාරු වීමත් සමඟම හතිය, පිපාසය දැනීම, ඇඟපත පණ නැතිවීම (අප්‍රාණික බව), බඩගිනි වැඩිවීම, දහඩියෙහි දුගඳක් හැමීම, ශක්තිය පිරිහීම වැනි තත්ත්වයක් ඇතිවිය හැක. මෙම රෝග ලක්ෂණ බොහෝවිට මධුමේහය (දියවැඩියාව) වැනි රෝග ලක්ෂණවලට සමාන වේ.
මේ නිසා යම් කෙනකු ඇවිදීමේදී ඔහුගේ හෝ ඇයගේ තට්ටම්, පියයුරු, උදරය චලනය වන්නේ නම් ඒ අය තරබාරු අයකු ලෙස හඳුනාගැනීමට ආයුර්වේදයේදී උපදෙස් ලැබේ.
තරබාරු මට්ටු කළ හැකි ඖෂධ ආයුර්වේදයේදී සඳහන් වේ. නමුත් ඒ ඖෂධ ලබාගත යුත්තේ පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ උපදෙස් මතය. තරබාරුකම මට්ටු කරලීමට කැකිරි, පිපිඤ්ඤා වැනි දියර සහිත එළවළු ඉතා යෝග්‍ය වේ. එමෙන්ම පළතුරු වැඩිපුර ආහාරයට එක්කරගන්න. මේද පදාර්ථ සහිත ආහාර ගැනීමෙන් වළකින්න. පිෂ්ඨය සහිත ආහාර හැකිතාක් ඈත් කරන්න.
මීට අමතරව තරබාරැ කෙනකුට සිරුර කෙට්ටු කරලීමට අවශ්‍යනම් කොල්ලු තැම්බූ වතුර පානය කරන්න. මුංඇට තැම්බූ වතුර පානය කිරීමද තරබාරැකමට හොඳ ඔසුවකි. ඊට අමතරව ත්‍රිපල් චූර්ණය මී පැණියෙන් උදේ හවස සුදුසු මාත්‍රාවකින් ගන්න. එමෙන්ම මී පැණි තේ හැඳි දෙකකට ජලය මේස හැඳි දෙකක් පමණ දමා පානය කරන්න.
නිතරම තම ගෙදර දොරේ වැඩවල හැකිතාක් නිරතවන්න. අද බොහෝ නිවෙස්වල වැඩ කටයුතු වෙනුවෙන් සේවක සේවිකාවන් යොදාගනී. ගෙදර හිමියන් දැඩි ලෙස තරබාරු පුද්ගලයන් වන විට ගෙදර සේවිකාව ඉතා කෙට්ටු සිරුරකට හිමිකම් කියන්නේ මේ වැඩ කටයුතු හේතුවෙනි. මේ නිසා හැකි අයුරින් තම ගෙවත්තේ වැඩවලට හවුල් වෙන්න.
වැඩිපුර ජලය පානය කරන්න. නමුත් අනවශ්‍ය වේලාවලදී අනවශ්‍ය ආහාර ගැනීමෙන් වළකින්න. හැකිතාක් හිතේ සතුටින් කාලය ගත කරන්න. තරබාරැකමට වෙනත් රෝගද හේතුවිය හැක. මේ නිසා නිතරම තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. තරබාරුකම මට්ටු කිරීමට නිවැරදි යෝග අභ්‍යාසයන්ද ඉතා ප්‍රයෝජනවත් වේ.
ආයුර්වේද විශේෂඥ වෛද්‍ය
ඩී.එච්. තෙන්නකෝන්
හිටපු අධ්‍යක්ෂ ආයුර්වේද ශික්ෂණ රෝහල - බොරැල්ල