2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

ආත්මවිශ්වාසය නැංවූ පුංචි පැලේ ගස වෙනා

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 847

මා වැඩිම වාරයක් කියවා ඇති සිංහල පොත් අතරින් එකක් ලියා ඇත්තේ කේ. ජයතිලකය. ඒ පොත පුංචි පැලේ ගස වෙනා නම් වේ. ලේඛකයෙකු ලෙස ඔහුගේ හැදීවැඩීම විස්තර කරන ඒ පොත ආධුනික ලේඛකයෙකු ලෙස මගේ ආත්ම විශ්වාසය වර්ධනය කළේය. චරිතාපදාන සහ මතක කතා සාහිත්‍යය පිළිබඳ මගේ උනන්දුව වර්ධනය කරන්නටද ඒ කෘතිය හේතුවිය. පසු කලෙක මා ලෝ ප්‍රකට ලේඛකයන්ගේ චරිතාපදාන සහ මතක සටහන් සාහිත්‍යය කියවන්නටද ඒවා එක්රැස් කරන්නටද යොමුවූයේ මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක, එදිරිවීර සරච්චන්ද්‍ර, සිරිලාල් කොඩිකාර, මාගම් තෙන්නකෝන් යනාදී ලේඛකයන්ගේ කෘතිවලින් ලද ආරම්භක ආවේශය නිසාය. එහෙයින් මෙම දේශනය චරිතාපදාන සහ මතක කතා සාහිත්‍යය ගැන කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට කැප කරමි. එහෙත් මෙහිදී මම මතක කතා නම් රචනා විධිය ආත්ම ගවේෂණ මෙවලමක් සේ භාවිත කළ හැකි ආකාරයද, එවන් ආත්මගවේෂණ මානයක් මතක කතාවක පවතින කල එය විශිෂ්ට රචනාවක් වන ආකාරයද සාකච්ඡා කරන්නට අදහස් කරමි. විවිධ ආකෘති ගත් මතක කතා කිහිපයක් සිංහල බසින් ලියා ඇති විසිවන සියවසෙහි විසූ ප්‍රධානතම ලේඛකයෙකුට කළ හැකි හොඳම ගෞරවය නම් එම රචනා විධිය ආශ්‍රිත ශාස්ත්‍රීය කතිකාව සමඟ ඔහුගේ කෘති සම්බන්ධ කරමින් ඒ කතිකාව පියවරක් හෝ ඉදිරියට ගෙන යාමය. නවකතා කියවීමට අමතරව මගේ අතිවිශාල කියවීම් කාලයක් මා චරිතාපදාන, මතක කතා ආදිය කියවීමට ගත කරන්නේ මන්ද? මතක කතාව හෙවත් ස්මරණාඛ්‍යානය පාඨකයාගේ ආත්මගවේෂණයට ඉතා උචිත පඨිතමය අවකාශයකි. විශිෂ්ට රචකයෙකුගේ තමාගේම ජීවිතය පිළිබඳ ආවර්ජනයෙහි යෙදෙන මතක කතාව පාඨකයන් වන අපට ඒ රචකයා දෙස බලන්නට කවුළුවක් පමණක් නොව අප දෙසම බලන්නට දර්පනයකි.

කේ. ජයතිලක යනු විවිධ ස්වරෑපයේ මතක කතා ලියූ ලේඛකයෙකි. පුංචි පැලේ ගස වෙනා කෘතිය ස්වයංචරිතාපදානයකට ආසන්න දීර්ඝ ආඛ්‍යානයක් සේ ලියවී තිබේ. දින සටහන් (1967) දිනපොතක ආකෘතිය ගනියි. පුංචි පුංචි නුවණිනා (1994) කෙටි ගද්‍ය රචනා සංග්‍රහයක් වැනිය. සිංහල මතක කතා සාහිත්‍යය වෙත මෙසේ නැවත නැවත විවිධ ස්වරූපවලින් පැමිණ එය පෝෂණය කළ ලේඛකයන් අතර කේ. ජයතිලක ඉදිරියෙන්ම සිටියි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ සිරිලාල් කොඩිකාරද විවිධ ආකෘතියෙහි මතක කතා ලිවූහ. කොඩිකාර තීරුලිපි ස්වරූපයෙන් ලියූ කියමි සිහිකර වැනි කෘතියක්ද මෙම විෂය හදාරන අයගේ සැලකිල්ලට ලක්විය යුතුය.

කේ. ජයතිලක ලේඛකයෙකු ලෙස ප්‍රවීණත්වය ලබාගත් ආකාරයත් දුෂ්කර ආර්ථික කොන්දේසි ජයගත් ආකාරයත් පුංචි පැලේ ගස වෙනා කෘතියෙන් විස්තර වේ. ශාස්ත්‍රාලයීය අධ්‍යාපන පද්ධතියෙන් පිට සිට ලේඛකයෙකු ලෙස වර්ධනය වීම පිළිබඳ දුෂ්කර ක්‍රියාව කෙතරම් වීද යන්න අපට මෙම කෘතියෙන් දැකගත හැකිය. තමාගේම ව්‍යාපාරයක් කරමින් කොළඹ නගරය තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකරගැනීමේ කතාව සමඟ ලේඛකයෙකු වීමේ ප්‍රයාමය පිළිබඳ කතාව එකට වෙලී තිබේ. එහෙයින් මෙම කෘතිය හුදෙක් literary biography හෙවත් සාහිත්‍යයික චරිතාපදාන යන රචනා විධියට වඩා වෙනස් වේ. ඒ නිසා මෙම කෘතිය මැලිබන් මුදලාලි, ඩී.එස්.අයි. මුදලාලි වැනි ව්‍යාපාරිකයෙකුගේ නැග්ම පිළිබඳ කතාවද සාහිත්‍යකරැවෙකුගේ වර්ධනය පිළිබඳ කතාවද සමඟ බැඳී පවතී. කෘතියෙහි වැඩි අවධානය යොමුවන්නේ අර ව්‍යවසායකයාගේ වර්ධනය කෙරෙහිය. සාහිත්‍යකරැවාගේ කතාව පවා අපට කියවෙන්නේ සාහිත්‍ය ව්‍යවසායෙකුගේ වර්ධනය ගැන කියන ස්වරයෙනි. මේ කාරණය ගැන ජයතිලක සවිඥානක වූ නිසාදෝ ඔහු පසු කලෙක පුංචි පුංචි නුවණිනා කෘතිය ලිව්වේය.

ඒ නිසා මෙම කෘතිය සාහිත්‍යය නම් විෂය වෙත අන්තර්දෘෂ්ටි සපයන කෘතියකට වඩා එකල සිංහල සාහිත්‍ය ලෝකය වෙත අන්තර්දෘෂ්ටි සපයන කෘතියකි. පොතපත පළකිරීම, ඒවා විචාරයට ලක්වීම, ඒවාට සම්මාන, ත්‍යාග ආදිය ලැබීම, ලේඛකයන්ට විදේශ සංචාර ආදිය සඳහා අවස්ථා ලැබීම මොන තරම් හිතුමතික ලෙස සිදුවූ දේවල්ද යන්න පුදුම සහගතය. එවක මේ සියල්ල තීරණය වී ඇත්තේ ඉතා කුඩා කණ්ඩායමක ආභ්‍යන්තරික ගතිකයන් අනුවය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ මාර්ටින් වික්‍රමසිංහ යන දෙදෙනා වටා ගොනුවූ කුඩා කණ්ඩායමක් හෝ කණ්ඩායම් විසින් සාහිත්‍ය ලෝකයේ බොහෝ දේ තීරණය වුණු ආකාරයත් සාහිත්‍ය ලෝකයේ අර දැවැන්තයන් දෙදෙනාගේ රැචි අරැචිකම් සහ පක්ෂපාතකම් මත සාහිත්‍ය ලෝකයේ බොහෝ තීරණ ගැනුණු ආකාරයත් ජයතිලක විස්තර කරයි. ජයතිලක යනු අල්පෝක්තිමය ගද්‍ය රචනයෙහි විශිෂ්ටයෙකි. ඔහු කියන දේට අමතර තවත් බොහෝ දේ නොකියා කියයි.

පසුගියදා රදාවාන කේ. ජයතිලක අසපුවේ පැවැත්වූ අනුස්මරණ දෙසුමෙන් උපුටාගත් කොටසකි. 

සේයාරූ - චූලා බන්නැහැක

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00