2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

හොඳ කවි ලියවෙන්නෙ කිහිප දෙනෙක් අතින් විතරයි

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 581

- මහාචාර්ය කුසුමා කරුණාරත්න

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාශයේ සේවය කළ මහාචාර්ය කුසුමා කරුණාරත්න මෙරට භාෂා හා සාහිත්‍ය වර්ධනයට විශාල දායකත්වයක් දැක්වූවාය. විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ලැබූ පසු ඇය සේවාර්ජිත මහාචාර්ය තනතුරකින් පිදුම් ලැබුවාය. මෙයට පෙර “පුංචි කැටේ වතුර ගිහින්” නමින් පළකළ ඇගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය ඉංග්‍රීසි, ජපන් සහ ස්පාඤ්ඤ භාෂාවලට ද පරිවර්තනය වී තිබේ. “සියොතුනේ* ඇගේ ප්‍රථම පද්‍ය සංග්‍රහයයි. එය එස්. ගොඩගේ ප්‍රකාශනයකි.

ඔබේ කවිපොතට ලැබුණේ මොන වගේ ප්‍රතිචාර ද...?

කියවපු අය විවිධ අදහස් පැවසුවා. එක් එක් අය ඔවුන් කැමති කවි ගැන මට පැවසුවා. මම නොහිතූ නොපැතූ ප්‍රතිචාර ලැබෙනවා. ඒක මට සතුටක්.

සියතුනේ පොත ගැන පැවසුවහොත්...?

මේක සරල නිර්මාණ කෘතියක් කියලා කියන්න කැමැතියි. පෞද්ගලික අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත්කිරීමට ගත් උත්සාහයක්.

ඔබ සේවාර්ජිත මහාචාර්යවරියක්, ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වත් චරිතයක්. නමුත් කිවිඳියක් ලෙස ඔබ අයත්වන්නේ අපේ නූතන කවි පරම්පරාවට නේද...?

ඇත්ත ඇත්ත... (සිනාහවෙමින්) දරුවෝ වගේ කවි ලියන තරැණ පෙළක් සමඟ ඔවුන්ගේ නිර්මාණ පිබිදෙමින් සිටිනා වකවානුවක තමයි මමත් කාව්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට එන්නේ. මගේ මේ වැඩිහිටි වියේදී තරැණ පරම්පරාව අතර මමත් හිටගන්නවා. හැබැයි අපේ තරැණ කවීන්ගේ නිර්මාණ කෘතිවල ගැඹුරු අත්දැකීම් අපූරු ආකාරයට ඉදිරිපත් වන බව පේනවා.

අද තරුණ කවීන්ගේ පොත් නිතර පිටවෙනවා. ඔබ ඒ කවි පොත් කියවනවාද...?

හැකි තරමින් කියවනවා. සම්මාන ලැබෙන පොතුත් කියවනවා. පොත් සියල්ලම කියවන බව නම් කියන්න බැහැ.

මේ කවි ඇසුරු කිරීමේදී ඔබට ලැබෙන අත්දැකීම කුමක්ද...?

ඔවුන් අද සමාජය ගැන සියුම්ව බලනා බවත් ඔවුන්ට පුළුල් දැක්මක් සිතුවිලි ධාරාවක් ඇති බවත් පේනවා.

අද කවිය ප්‍රවීණයන් වෙතින් අලුත් පරම්පරාවක් අතට මාරුවී තිබෙනවා. ඔබ ඔවුන්ගේ කාර්යය දකින්නේ කෙසේද...?

හැම දෙයක්ම එක සමානව සිදුවන්නේ නැහැනේ. සමාජයක් වුවත් කලින් කලට වෙනස් වෙනවා. සාහිත්‍ය නිර්මාණවලින් ඒ වෙනස්කම් යුගයෙන් යුගයට පෙන්නුම් කරනවා. අපේ තරුණ කවීන් අලුත් මඟක යන බව පේනවා. එහි සාධනීය පැත්තක් තිබෙන බව තමයි මගේ නිරීක්ෂණයට ලක්වුණේ. සමාජයේ අත්දැකීම් හා තම පෞද්ගලික අත්දැකීම් ඇසුරින් ගැඹුරු කවි සිතුවිලි නිර්මාණ කරන බව දැකගත හැකියි.

ඔබේ අවධානයට ලක්වූ කවීන් කිහිපදෙනෙක් කිව්වොත්...?

ප්‍රවීණයන් වශයෙන් රත්න ශ්‍රී විජේසිංහ හා ලාල් හදගොඩ මා බොහෝ අගය කරන දෙදෙනෙක්. ඔවුන්ගේ නිර්මාණවලින් අපටත් බලපෑමක් ලැබුණා. තරුණ කවීන්ගෙන් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හා ලක්ශාන්ත අතුකෝරාළගේ කවි මම මේ වෙලාවෙත් කියවමින් සිටිනවා. මේ කවි පොත්වල කවිවලින් පමණක් නොවෙයි. පිදුම, පෙරවදන, වගේ අංගවලත් මම යම්කිසි නිර්මාණශීලී බවක් දකිනවා. ලක්ශාන්තගේ “සමහර කමටහන්” පොතේ නියෙන්නේ පිදුම වෙනුවට “නොපිදුම.” ඒකට හේතුව පොත පිදීමට පියා නොමැතිවීම බව එහි කවියකින්ම සටහන් කර තිබෙනවා. ඔවුන් ලියන කවිවලත් අපි නවතාවක් දකිනවා. භාෂාවත් අවශ්‍ය පරිදි මට සියළුම ආකාරයෙන් භාවිත කර තිබෙනවා.

ඔබ තරුණ කවීන් අගය කරනවා. නමුත් සමහර විද්වත් නිර්මාණකරැවන් අලුත් පරම්පරාවේ නිර්මාණ අගය කරන්නේ නැහැ...?

මම නම් ඒ අදහසට එකඟ නැහැ. වැඩිහිටියෝ විදිහට දරුවන්, දරුමුණුපුරන්, තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වගේ අයගේ දක්ෂකම් අගයමින් සතුටුවෙන කෙනෙක් මම. තරුණ කවීන් ඉදිරියට යනවිට මට හරි සතුටක් දැනෙනවා. මට හිතෙන්නේ ඇත්තටම තරුණ කවීන් අපිට වැඩිය දක්ෂයි. ඔවුන්ගේ භාෂා ඥානයේ වගේ දේවල්වල අඩුපාඩු තිබෙනවා නම් නිවැරදි කරගෙන ඉදිරියට යන්න කියලා තමයි අපි කියන්නේ.

හුඟ දෙනෙක් කවි ලිව්වත් අපේ සම්භාව්‍ය සාහිත්‍යය ගැන ඔවුන් හැදෑරීමක් නෑ නේද...?

ඒ කියමනේ ඇත්තක් තිබෙනවා. අද කාව්‍යකරණයේ නිරත වන තරුණ පිරිස අතරින් සමහරැන්ට පැරණි ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය අධ්‍යයනය කරමින් පරිහරණය කිරීමට අවස්ථාවක් නොලැබුණු බව පේනවා. නමුත් එකක් පැහැදිලියි. ඔවුන්ට කවි බිහිකිරීමට සහජ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ හිත දුවනවා අත්දැකීම් හොයාගෙන. ඔවුන් වස්තු බීජවලින් පොහොසත්. සමාජය ගැන ඇහැ ඇරිලා බලාගෙන ඉන්න බව පේනවා. ඔවුන් පැරණි සාහිත්‍යයත් හදාරනවා නම් කවි මඟ තවමත් ඔපවත් වේවී කියලා හිතෙනවා.

භාෂාව ගැන අධ්‍යයනය කළ මහාචාර්යවරියක් විදිහට අලුත් කවීන්ගේ භාෂාව ගැන මොනද හිතෙන්නේ...?

කෙනෙකුට කියන්න පුළුවන් ඔවුන් කටට එන වචන ඒ විදිහටම යොදනවා කියලා. නමුත් කවියාට වෙන්වූ නිදහසක් තිබෙනවා වචන එහෙමෙහෙ කරන්න. පද ව්‍යාකරණානුකූලවම නොයෙදුණත් අපි කවියකදී ඒක බරපතළ වරදක් විදිහට ගන්නේ නෑ. භාෂා ව්‍යාවහාරයේ අඩුපාඩු නැහැයි කියන්නේ නැහැ. නමුත් සරලව කටවහර යොදාගෙන හිතට වන දේ ඒ ආකාරයෙන්ම කවියට යොදාගැනීමත් දකින්න පුළුවන්. නමුත් ඒ කවිවල යටිපෙළක් තිබෙනවා. මම ඒවායෙන් රසයක් විඳිනවා. උදාහරණ විදිහට මහින්ද මස්ඉඹුලගේ ඇහිපියන් ඇහැරිලා පොතේ “දසේ” කවි පන්තිය බලන්න. සමාජයේ තිබෙන දරිද්‍රතාව, පවුල් සම්බන්ධතා කදිමට එහි යොදාගෙන තිබෙනවා.

අද කවි පොත් බහුලව පළවෙනවා. නමුත් ඒ අතරින් නිර්මාණාත්මක හොඳ කවිපොත් තිබෙන්නේ කිහිපයක් බව විචාරකයන් පවසනවා...?

ඒක ඇත්ත... කවි පොත් හුඟාක් පළවෙනවා තමයි. කලකට පෙර කවිපොත් මිලදී ගැනීමට පාඨකයන් තුළ උනන්දුවක් නැතිවීම නිසා ඒවා පළ කිරීමට ප්‍රකාශකයෙක් හොයාගැනීමත් දුෂ්කර වුණා. පොත් හුඟාක් බිහිවුණත් ඉහළ මට්ටමේ පවතින්නේ කිහිපදෙනෙකුගේ කෘති තමයි. හොඳ කවිපොත්වලට වැඩි ඉල්ලුමක් තිබෙන බව පේනවා.

1970 – 80 දශකවල කවිය හා සසඳන විට අද කවිය ගැන මොකද හිතෙන්නේ...?

අද කවිය නිදහසේ ගලායන බව පේනවා. අද තරැණ පිරිස මුණුපොතේ බහුලවම කවි ලියනවා. ඒකත් ඔවුන්ගේ කවිකම මතුවීමට ඉඩසලසන මාර්ගයක් වෙලා. ඒ වගේම ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ වගේ ප්‍රවීණයන්ගේ සැකෙවි කවි ඉතා ඉහළින් තිබෙනවා. තරුණ පිරිසත් ඒ සඳහා උත්සහා කරන බව පේනවා.

 කුසුම්සිරි

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00