2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

සල්ලි නැතුව ගේන්න හදන ඡන්ද බජට් එක

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 328

ජනතා ගෞරවය දිනාගැනීම අරමුණු කරගනිමින් වත්මන් ආණ්ඩුව බලයට පත්විය. ලබන අවුරුද්ද සඳහා ජනපි‍්‍රය අයවැයක් සකස් කරන්නට උපදෙස් ලැබී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේ වාර්තා කර තිබුණි.  නොවැම්බර් මුල් සතියේදී අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ආර්ථිකය නිසි වර්ධනයක පවත්වාගෙන එහි වාසි ජනතාවට අත්පත් කර දී ගෞරවය බෙදා ගත යුතු ආණ්ඩුව තාවකාලික ජනප‍්‍රියතාව ගැන යුහුසුළුවීමට හේතුවක් තිබේ. ඉදිරියේදී මැතිවරණ මාලාවකට මුහුණ දිය යුතුව ඇත. ඉකුත් පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය සන්ධාන ආණ්ඩුවේ ප‍්‍රගතිය අනාවරණය කළ අවස්ථාවක් වූ අතර ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට ඉඩ ඇති පළාත් සභා, ඉන් පසු එළැඹෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් ජනප‍්‍රිය අය වැය හැර අන් විකල්පයක් නැත.

2017 වසරේ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය සියයට 3.1ක වර්ධනයකට සීමා විය. එය වසර දහසයක් තුළ වාර්තා වූ අවම වර්ධන අගය වශයෙන් සැලකේ. යුද ගැටුම් හා ලෝක ආර්ථික පරිහානිය මැද පවා සියයට පහක සාමාන්‍ය වර්ධනයක් ඉකුත් වසර දහය තුළ පැවැති නමුත් ස්වභාවික විපත්, සංවර්ධන යෝජනා ක‍්‍රම අඩාලවීම, ආදායම් හා වියදම් පරතරය පාලනය කරගත නොහැකිවීම හා රට තුළ ඉල්ලුම පාලනය කිරීම අරමුණු කරගෙන අනුගමනය කරන ලද ක‍්‍රියාමාර්ග මෙම අඩු ප‍්‍රතිශතයක් සහිත වර්ධනයට හේතු වූ බව දළ වශයෙන් සඳහන් කළ හැකිය.

ආර්ථික වර්ධනයක් ඇති කිරීමෙන් තොරව ජනතාවට දැනෙන පහසුවක් සම්පාදනය කළ නොහැකිය. ආර්ථික වර්ධනය උදෙසා ආදායම් මටට්ම ඉහළ යා යුතු අතර රජයේ ආදායම වැඩි කරගැනීම අවශ්‍යතාවය පදනම් කරගෙන දැවැන්ත ආයෝජනයකට යා යුතුය. මාස කිහිපයක් තුළ එවැනි ප‍්‍රාතිහාර්යයකට ඉඩ නැත. ජනතාවට දැනෙන සහන ප‍්‍රකාශයට පත්කර ජනප‍්‍රිය අයවැයක් සඳහා අවශ්‍ය කරන ධනය උත්පාදනය කරගැනීම ගැටලුවකි. වර්ධනයක් රහිතව එය කරගැනීමට නම් දේශීය හෝ විදේශීය ණය ලබා ගැනීමට සිදුවෙයි.

අනෙක රාජ්‍ය ව්‍යවසාය කොටසක් විකුණා දැමීම කළ හැකිය. උද්ධමනය ගැන නොසලකා අලුත් මුදල් මුද්‍රණය කර සංසරණයට නිකුත් කිරීම පහසුම ක‍්‍රමයකි. මෙකී යෝජනා එකක් හෝ පැහැබර ඒවා නොවන අතර පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය තාවකාලික ප‍්‍රබෝධයකින් අනතුරුව තවත් පරිහානියකට යොමු කරන ඒවා බවට සැකයක් නැත. ජනප‍්‍රිය අය වැයක් ඉදිරිපත් කර එයින් ලබා ගන්නා දේශපාලන වාසිය මත මැතිවරණ වලට මුහුණ දී අලුත් ආණ්ඩුවකින් අලුත් ආරම්භයක් අපේක්ෂා කිරීම හැර වෙනත් විකල්පයක් මෙම අවස්ථාවේ දී වත්මන් ආණ්ඩුවට ඉතිරි වී නැත.

අලුත්ම දත්තවලට අනුව ජූලි මාසයේ උද්ධමනය සියයට 5.4කි. මෙම උද්ධමනය පෙන්වන්නේ ජීවත්වීමේ වියදම ඉහළ ගොස් ඇති බවය. මෑත වසර දෙක තුළ වරින් වර පනවන ලද බදු ජනතාව දුෂ්කරතාවයට පත් කර තිබේ. ආණ්ඩුව බදු නංවන තීරණකට නැඹුරු වූයේ අන් විකල්පයක් නැති හෙයින් බව සඳහන් කළ යුතුය. ණය අර්බුදයකට මුහුණ දුන් ශ‍්‍රී ලංකාව ගෙවුම් ශේෂය සම්බන්ධ ගැටලුව හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ඉල්ලා සිටියේය. තාවකාලික ණය සංචිතයක් වාරික හයකින් පිරිනමන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම වාරික එකින් එක අනුමත කිරීම සඳහා අරමුදලේ නියෝජිතයන් රටට පැමිණ එම ණය ගැනීමෙන් පසු ආර්ථිකය දියුණු කරන්නට ගත් ක‍්‍රියාමාර්ග අධීක්ෂණය කරන තැනට කොටු වී තිබේ. අය වැය හිඟය පාලනය කිරීම, ඛණිජ තෙල් හා විදුලිය වැනි අංශ වෙනුවෙන් මිල සූත‍්‍ර හඳුන්වා දී රාජ්‍ය වියදම අඩු කරගැනීම, පෞද්ගලික හෝ ආයතනික බදු පනවා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම, සහන කපා හැරීම සහ පුද්ගලීකකරණය ඇතුළු යෝජනා මූල්‍ය අරමුදල ආණ්ඩුවට ඉදිරිපත් කළේය.

ඒවායේ ප‍්‍රතිඵල වශයෙන් විනිමය අනුපාතිකය හා වානිජ බැංකු පොලි අනුපාත ඉහළ ගියේය. මෙම යෝජනා මෙරට ආනයන හා අපනයන කෙරෙහි බලපෑ අතර භාණ්ඩ මිල දරාගත නොහැකි තරමට පත් කළේය. බදු පැනවීමෙන් අත්කරගත් වාසිය කොපමණදයත් 2014 වසරේ දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.6ක සිට 2017 වසරේ සියයට 13.8 දක්වා ඉහළ ගියේය. මෙම ආදායම පොදු ජනතාවගෙන් අයකරගත් බදු වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ආදායම සියයට 15 තෙක් වැඩි කරන සේ දක්වා තිබේ. එය කිසිසේත් පොදු ජනතාවට හිතකර තත්ත්වයක් නොවේ. 2018 වසරේ අය වැය මගින් සංශෝධනය කරන ලද බදු යෝජනා වලින් ජනතාවට ආහාර මිල හා රේගු බදු අඩු කිරීමෙන් රුපියල් මිලියන 5000 ක සහනයක් දී රුපියල් බිලියනයකට වැඩි මුදලක් මෙම අවුරුද්දේ දී එකතු කරගන්නට යෝජනා තිබේ. අය වැය වාර්තාව අනුව සකස් කළ මෙම ලේඛනය එය මැනවින් අනාවරණය කරයි.

පැණි බීම, ප්ලාස්ටික්, එස්.එම්.එස්., බැංකුවල ගිණුම් මත පනවන ලද ගාස්තු අවසානයේ දී ජනතාවගේ එදිනෙදා පැවැත්ම දුෂ්කර කර තිබේ. මෙම එකතු කර ගත් ධනය වියදම් කරන්නේ මොනවාටද? ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කළහොත් අතිරේක වාසියක් ලැබේ. නමුත් මෑත කාලය තුළ රජයේ වියදම්, මැති ඇමැතිවරුන්ගේ දීමනා, විදේශ සංචාර සහ රජයේ සේවක වැටුප් වැඩි කිරීම යනාදි කරුණු ඉදිරියේ මෙකී බදු ආදායම වේගයෙන් ක්ෂය වී යන තැනට මග පාදා ඇත. මෙවැනි පසුබිමක පොදු ජනතාවට දැනෙන ජනප‍්‍රිය අය වැයක් 2019 වසර සඳහා ඉදිරිපත් කරන්නේ කෙසේද?

ශ‍්‍රී ලංකාවේ අය වැය ගැන අද සිට ආපසු 2014 වසර දක්වා ආපසු හැරී බැලුවහොත් අයවැය යෝජනා වලින් ජනතාවට මැජික් පෙන්වන්නට පුළුවන්කමක් නැති බව මැනැවින් සනාථ වන බව සඳහන් කළ යුතුය. රජයේ වියදම වැඩි, හිඟය පාලනය කරගත නොහැකි තැනට අය වැය ලේඛනය පත්ව ඇති බව පහත අංක දෙක සටහන පෙන්වා දෙයි.

2019 වසරේ දී ජනතාව සතුටු කරන ඉතාම ජනප‍්‍රිය අයවැයක් ඉදිරිපත් කිරීමට පවා මත්පැන්, දුම්කොළ හා රථ වාහන බදු හැර අන් විකල්පයක් නැති බව ආණ්ඩුව ඔප්පු කරමින් සිටී. ජනතාව පුදුම කරන අයවැය යෝජනා සකස් කරන සේ අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දෙන ආණ්ඩුව අනෙක් පැත්තෙන් රජයේ ආදායම් බලධාරීන්ට බදු වැඩි කරන සේ දන්වා ඇති බව පෙනේ. පවුලේ අවශ්‍යතාව සඳහා කුඩා වාහනයක් හෝ මිල දී ගැනීමේ සිහිනයක සිටින මැදි ආදායම් රටක වැසියන්ට  එය තවත් දුෂ්කර කරන අතර මත්පැන් හා සිගරට් සුඛෝපභෝගී දේ බවට පත් කර ඇත. ඒවායේ බදු වැඩි කිරීමෙන් ඇබ්බැහියෙන් මිදී දරු පවුල් වලට සහනයක් ලැබේ යැයි ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එය ඉතාම වැරදි තීරණයකි. නිවෙසට ගෙන එන මාළු කරවල වියදම අඩු කරන මත්පැන් හෝ සිගරට් භාවිතා කරන පුද්ගලයෝ මෙම පිරිවැයද පවුලේ ආදායමෙන් කොටසක් බවට පත් කරගෙ සිටිති. එළවළු, පළතුරු, මස් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල අද පවතින මිල සලකන විට මොනයම් ආකාරයක හෝ බදු ජනතාව පිනවන කාරණයක් නොවේ.

2019 වසරේ අයවැය ජනප‍්‍රිය එකක් කරන්නට නම් රජයේ ආදායම වැඩි කර ගත යුතුය. ගම්පෙරළිය, ග‍්‍රාම ශක්ති සහ ස්ව ශක්ති වැනි වැඩ සටහන් වලින් දැවැන්ත සහන සම්පාදනය උදෙසා තව තවත් ධනය අවශ්‍යය. යෝජනා කර ඇති ණය කපා හැරීමට සම්පත් සොයා ගත යුතුය. ජනතාවට වැඩිපුර සහන වශයෙන් විදුලිය, ඉන්ධන ගාස්තු අඩු කරන්නට නම් මේ කියන මිල සූත‍්‍ර වලින් පලක් නැත. මිල සූත‍්‍ර පැත්තකට දමා, බදු අඩු කර අඩු ආදායම් ජන කොටසට සල්ලි බෙදන්නට නම් විශාල ඔට්ටුවක් අල්ලන්නට සිදුවෙයි. දිනුවොත් හරි නැත්නම් සේසතම අහවර වන ආකාරයේ සූදුවකින් හැර 2019 වසර සඳහා ජනප‍්‍රිය අයවැයක් බලාපොරොත්තු විය නොහැකිය.

♦ ගාමිණී සරත් ගොඩකන්ද