2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ඉටිසලාට් ඈවරයි.. දෑවරයි

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 448

සෙල්ටෙල් එටිසලාට් වීම දක්වා කතාව බොහොම දීර්ඝය. මේ ඒ කතාව නොවේ. ලංකාවේ එටිසලාට් සමාගම බංකොලොත් වීමට යන බවට පසුගිය දිනවල පළවුණු වාර්තාවල ඇතුළු කතාවයි. පසුගිය කාලයේදී එටිසලාට් විරෝධයක් මෙරට ඇතිවුණ බවත් අපට මතකය. ඒ හේතුව හා තවත් අභ්‍යන්තර කළමනාකාරීත්වයේ ගැටලු හේතු කොටගෙන අද වනවිට මෙම සමාගම අර්බුදයකට මුහුණ පා සිටියි. මේ ඒ පිළිබඳ හෙළිදරව්වකි.

1989 දී ශ්‍රී ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය ලෙස සෙල්ටෙල් ශ්‍රී ලංකා (Celltel Sri Lanka) ආයතනය ආරම්භ වන අතර එය ලෝකයේ 36 වැනි දුරකථන සමාගම විය. එදා මෙම ජාලයේ තාක්ෂණය TACS නම් වූ අතර එය මෝටරෝලා (Motrola) සමාගමේ හඳුන්වා දීමක් විය. ජංගම දුරකථනය සෙල්ටෙල් එකක් ලෙස හැඳින්වීමට මෙරට වැසියන් පෙළඹෙන තරම්ම මෙම සමාගම සිය ඒකාධිකාරිය ගොඩනගාගෙන තිබුණි. 1998 වන විට GSM තාක්ෂණය සමඟින් ඩයලොග් (Dialog) ආයතනය ලංකාව තුළට පැමිණීම සෙල්ටෙල් වෙළඳපොළ ඒකාධිකාරිය බිඳවැටීමට හේතු විය. පසුකාලීනව මෙම බිඳවැටීම් සමඟ 2007 වන විට අමෙරිකානු මිලිකොම් ඉන්ටර්නැෂනල් ආයතනයට මෙම සමාගම විකුණා දමන අතර ටිගෝ (Tigo) යුගය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. 2007 සිට 2010 දක්වා පැවති ටිගෝ යුගය නිමා කරමින් 2010දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි මූලස්ථානය කරගත් එටිසලාට් සමාගම මෙහි හිමිකාරීත්වයට පත්වෙයි. මේ අතීත කතාව සැකෙවින් හෝ ඔබට කීවේ වර්තමාන කතාව කියන්නට පූර්විකාවක් ලෙසය.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන වෙළඳපොළ ඉතා සූක්ෂම තරගකාරී වෙළඳපොළකි. එටිසලාට් ආයතනය ලොව පුරා රටවල් දහසක පමණ ව්‍යාප්තව පැවතියත් ශ්‍රී ලංකාවේදී පැහැදිලි සාර්ථකත්වයක් ලබාගැනීමට නොහැකි විය. එටිසලාට් ලංකාවට පැමිණ නොබෝ කලකින්ම ලංකාව තුළ ඇති වූ හලාල් විරෝධය එක් හේතුවක් විය. ශ්‍රී පාදස්ථානය අවට හෝටල් ඉදිකිරීමට යාම පිළිබඳ කතාබහද මෙම ආයතනයට විශාල බලපෑමක් එල්ල කරනු ලැබීය.

මේ සියල්ල හමුවේ 2014 වසර වන විට ආයතනයේ ලාංකික ප්‍රධාන විධායක නිලධාරීන් වෙනුවට විදේශිකයකු එම තනතුරට පත් කරන්නට එටිසලාට් ආයතනය කටයුතු කරයි. අනාවරණය වන පරිදි නව කළමනාකාරීත්වය හරහා එතෙක් පැවති ගැටලු විසඳීම වෙනුවට සිදුව ඇත්තේ නව ගැටලු ඇතිවීමය. 

2015 වර්ෂය වනවිට ඉංජිනේරු හා තාක්ෂණික නිලධාරීන් පිරිසක් ද මෙම ගැටලුව හරහා අසාධාරණයන්ට ලක්ව සිටින බවත් කියවේ. මෙසේ දිගින් දිගටම බිඳවැටෙද්දී නව කළමනාකාරීත්වය ප්‍රධාන තාක්ෂණික තොරතුරු නිලධාරී තනතුරට ඊජිප්තු ජාතික කාන්තාවක් පත්වෙයි. ඒ සමඟම මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස තවත් ඊජිප්තු ජාතිකයෙක් පත් කෙරේ.

මෙම පිරිස වියදම් අඩු කරමින් ආයතනය පවත්වා ගැනීමට ගත් තීරණ හරහා ආයතනයේ සේවකයන්ගේ පාර්ශව අපහසුතාවට පත්වන්නට විය. පසුව Mobiserve Holdings නම් ඊජිප්තු සමාගමකට මෙහෙයුම් කටයුතු භාරදීමට කළමනාකාරීත්වය ගත් තීරණය හරහා ලාංකික ඉංජිනේරැවන් සමාගමේ සේවය හැර යන තත්ත්වයක් උදා වූ බව කියවෙයි. මේ සියල්ල හරහා ලංකාවේ එටිසලාට් සමාගමේ ඉදිරි ගමන දිගින් දිගටම අවිනිශ්චිත වූ බව පැහැදිලිය.

එටිසලාට් සමාගමේ කතාව මෙසේ ඉදිරියට ඇදෙන අතර තවත් කරුණු කිහිපයක් විශේෂයෙන් සඳහන් කළ යුතුය. 2009 පමණ වනවිට දුරකථන ගාස්තු නියාමනය කිරීමේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මකවූ අතර එය පාරිභෝගිකයන්ට සුබ වුවත් දුරකථන සමාගම්වලට අසුබ විය. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් යන සමාගම් සමඟ තීරක බලය රජය සතු වීම සෙසු සමාගම්වලට ගැටලුවක් විය. ක්ෂේත්‍රයේ පස්වැනි තරගකරුවා ලෙස ඉන්දියානු එයාටෙල් සමාගම මෙම යුගයේ ලංකාවට පැමිණි අතර තත්ත්වය බරපතළ විය. හච්, එයාටෙල් සහ එටිසලාට් යන සමාගම් තම මවු රටවල සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබලව සිටිය ද ලාංකික ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රබලයන් නොවූහ. රජයේ බදු ප්‍රතිපත්ති, නිතර වෙනස් වෙන රැපියලේ අගය, විදුලි ගාස්තු මේ සියල්ලට බලපෑ හේතූන් අතර කිහිපයක් පමණි.

පසුගිය සමයේ පළවූ ප්‍රවතක් වූයේ එටිසලාට් සමාගම හා හච් ආයතනය ඒකාබද්ධ වීමට යන බවයි. 2018 අප්‍රේල් 26 දින ඒකාබද්ධ නිවේදනයක් මෙම ආයතන දෙක විසින් නිකුත් කර තිබිණි. එය එසේ වුවත් එටිසලාට් ආයතනයේ ඉහළ තනතුරු දරන විදේශික නිලධාරීන් පිරිස මෙම ඒකාබද්ධ වීම පිළිබඳ එතරම් කැමැත්තක් නොදක්වන බව කියවෙයි. එසේ වීමට හේතුව මෙම ඒකාබද්ධ වීමෙන් හච් ආයතනයේ පාලනයට එටිසලාට් නතුවීමත් සැලකිය යුතු වැඩි කොටස් ප්‍රමාණයක් හච් සතුවීමත් වශයෙන් අනුමාන කළ හැකිය. කළමනාකාරීත්වයට මෙමගින් අවාසි සිදුවුණ ද මෙම සමාගම බංකොලොත් වී ලාංකික සේවකයන්ට දැඩි අසාධාරණයක් සිදුකර රටින් පිටව යනවාට වඩා මෙලෙස ඒකාබද්ධවීම යහපත් වනු ඇත.

එටිසලාට්හි හිමිකාරීත්වය දරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි මූලස්ථානය කරගත් එමිරේට්ස් ටෙලිකොමිනිකේෂන් සමූහ ව්‍යාපාරයයි. මෙම ආයතනයේ 2017 වාර්ෂික වාර්තාවේ (Annual Report 2017) හි ශ්‍රී ලංකාව පිළිබඳ කොටසේ ආරම්භයේම ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ තරගකාරී අභියෝගාත්මක අවාසි සහගත තත්ත්වයන් පවතින බවයි. මේ සම්බන්ධ තොරතුරු එටිසලාට් මව් සමාගමේ වෙබ් පිටුවට පිවිසීමෙන් සනාථ කරගත හැක. මේ සියල්ල හරහා එටිසලාට් ලංකා අර්බුදයේ සත්‍යතාවක් පවතින බව අවබෝධ වෙයි.

එටිසලාට් ආයතනය ගෙවුණු කාලයේදී ලෝකයේ විවිධ රටවලදී ද අර්බුදවලට මුහුණ දුන්නේය. ඉන්දියාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් සම්බන්ධ සිද්ධියකට මෙම සමාගම මුහුණ දී සිටී. ඇති වූ අර්බුදය හරහා ඉන්දියාවෙන් එටිසලාට් සමාගම පිටව යන අතර ඒ පිළිබඳව තොරතුරැ ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය 2012 පෙබරවාරියේදී හෙළි කරයි. 2016 වර්ෂයේදී සුඩානයේදී ද බැංකු සහ කොටස් සම්බන්ධ අර්බුදයකට එටිසලාට් ආයතනය පැටලී තිබේ. ඒ පිළිබඳ තොරතුරු Sudan Tribune වෙබ් අඩවිය වාර්තා කරයි. 2017 වර්ෂයේදී නයිජීරියාවේ දී ද අර්බුදයකට මුහුණ පාන එටිසලාට් සමාගම පිළිබඳ තොරතුරු BBC වෙබ් අඩවිය පවා වාර්තා කර තිබේ. මුළු සමාගමේ කළමනාකාරීත්වයේ යම් ගැටලුවක් හේතුවෙන් මෙම අර්බුද ඇතිවූවා විය හැක.
එහෙත් සමාගමේ මුළු රාජ්‍ය හා ඇෆ්ගනිස්ථානය හා තවත් රටවල් කිහිපයක ඒකාධිකාරියක් සහිතව මෙම සමාගම ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ එටිසලාට් ලැබූ අසාර්ථක වීම බංකොලොත් වීමක් දක්වා ගමන් කළ හැකි බව ඇතැම් වාර්තාවල කියවේ. ඒවායේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙම සමාගමේ සේවය කරනු ලබන ලාංකිකයන්ගේ අනාගතය පිළිබඳ රජයට වගකීමක් ඇත. තවද අප මෙම සටහන තබන්නේ රට තුළ සන්නිවේදන ක්ෂේත්‍රයේ බරපතළ යමක් සිදුවීමට පෙර බලධාරීන්ගේ අවධානය යොමු වීම පිණිසය.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට එටිසලාට් ආයතනයේ කළමනාකාරීත්වය ඇමතීමට ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ විය. විදුලි සංදේශ නියාමන කොමිසමෙන් මේ පිළිබඳව කළ විමසීමේදී අදාළ තොරතුරැ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා යළි දැනුම් දෙන බව පැවසුවත් එය ඉටු වූයේ නැත.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00