2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

සිකුරා ලැබිල්ල හැමෝටම හොඳ නැහැ

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2089

බොහෝ අය සිතනවා ඇත්තේ සිකුරු ග්‍රහයා යහපත් ග්‍රහයකු කියා විය හැකිය. එහෙත් සිකුරාගේ හොඳ නරක දෙකම තිබේ. කෙනකුට සිකුරු ලැබුවා යැයි කියන්නේ යහපතක් උදාවූ විටය. සිකුරා සිකුරටම යහපත උදාකරනවාද විය හැකිය. සිකුරා කාමුක ග්‍රහයකු ලෙසද හැඳින්වේ. සිකුරු සඳු ග්‍රහයන් එකට යෙදුණුවිට කාමුකත්වයේ උපරිමය දක්වයි.

කෙසේ වුවද සිකුරු ග්‍රහයා ඇතැම්විට යහපතටද තවත් අවස්ථාවල අයහපතටද හේතුවන බව කිව යුතුය. හොඳට හොඳ මෙන්ම නරකට අන්තිමම නරකය.

සිකුරුට නම් කිහිපයක් ඇත. ශුක්‍ර, කිවි යන නම්වලින්ද සිකුරු හැඳින්වේ. පංචකාම සම්පත්තිය මෙහෙයවනු ලබන්නේ සිකුරුය. එසේම ප්‍රියජනක අලංකාර දේ පාලනයෙහි දක්ෂයෙකි, සිකුරු. මේ සියලුම දේ වන්නේ සිකුරු හෙවත් කිවි ශුභ ග්‍රහයකු වශයෙන් ප්‍රතිඵල ලබාදෙන විට බව සැලකිය යුතුය.

එහෙත් සිකුරු අසුභ වන මොහොතේ වාසනාව පෑලදොරෙන් පලායන ස්වභාවයක් ගනී. අවාසනාව ඉදිරි දොරෙන් ඇතුළු වේ. පවුලේ අඩදබර ඇති කිරීමට උපන් හපන් ග්‍රහයෙකි. අසුභ සිකුරු ධන හානි ගෙන දෙයි. දුක් අඳෝනා මැසිවිලි නගයි. චිත්ත පීඩා, රෝග පීඩා ඇති කරයි. විශේෂයෙන්ම භාර්යාව ස්වාමියාගෙන්ද, ස්වාමි භාර්යාවගෙන්ද වෙන්වීම සිදුකෙරෙන්නේද අපල ගෙන දෙන අශුභ සිකුරැ නිසාය.

මුත්‍රාශය ආශ්‍රිත රෝගාබාධ, වකුගඩු ආබාධ, සෙම්ගෙඩි, ගර්භාෂයේ ආබාධ සිකුරු උත්පාදනය කරයි. මෝහිනී දිෂ්ටියෙන් පිරිමි දුක් විඳින්නේ අශුභ සිකුරු නිසාය. එසේම ස්ත්‍රීන් කළු කුමාර දිෂ්ටියෙන් දුක් විඳින්නේද කිවි නිසාය. එපමණක් නොව, කළු යක්ෂ කාමුක පෙරේතයන්ගේ ඇල්ම බැල්ම සිකුරු අශුභ වූ විට ඇති කරයි. එයින් විපත්ම සිදුවේ.

යම්කිසි ජන්මියෙකුගේ කේන්ද්‍රයේ සිකුරු ශුභ දිෂ්ටියෙන් සිටින විට බුද්ධිය ඇති කරයි. දියුණුව මෙන්ම උසස් අයගේ ආශ්‍රය ළංකර දෙයි. පවුල් සංස්ථාවේ ප්‍රීතිය සංතුෂ්ටිය ඇති කරයි. සිකුරු කොහොමත් ලෞකික සැප සම්පත්වලට ඇලෙමින් ගැලෙමින් කටයුතු කරන ග්‍රහයෙකි. ගීතය, සින්දුව, ගායනය, වාදනය ආදී විවිධ කලා අංගවලට දක්ෂයෙක් බවට පත් කරයි. හොඳ සමාජශීලී, දයාව, කරුණාව ජන්මියෙකුට ඇතිවන්නේ සිකුරු දශාව උච්ච වී සිටින විටදීය. සිකුරු දශාවේදී විපත් කරදර බාධක ඇතිකරන්නට සිකුරු මැලි නොවන්නේ පෙර සසරේ කරන ලද වැරදි ක්‍රියාදාමයන් හේතුකොටගෙනය. ඒවා අතර ජන්මියාගේ සැපතට බාධා කළ, එසේම ඉරිසියා කළ පෙර සසර පුරුදු නිසා මෙකලදී සිකුරු ඒ අයගේ සැපතට බාධා කරයි. එසේම ඇඳුම්, ආභරණ, කන කර අලංකාර ආයිත්තම් සොරකම් කර තිබේ නම් පෙර සසරේ වැරදිවලට මෙලොවදී අපල ඇතිකරවයි. අසරණ ස්ත්‍රීන්ට හිරිහැර කරදර කළ, කාම අපචාර කළ අයටද සසර පුරුද්දට පටහැනිව සිකුරු දඬුවම් ලබා දේ. විපත් උවදුරු, ලෙඩරෝග ඇතිකරන්නට සිකුරු උත්සුක වේ. සසරේ යම් යම් නරක පුරුදුවලට ඇලුණු ගැලුණු ජන්මියන්ට සුව කරන්නට නොහැකි රෝගාබාධවලට ගොදුරු කරයි. සමහර රෝගවලින් සුවයක් ලබන්නට බොහෝම කාලයක් ගත කරවයි.

සිකුරු අපලය දුරුකරගන්නට විවිධ ක්‍රම සහ විධි තිබේ. විවිධ පාට මල් සහ කොඩි, සුවඳ මල්, සේපාලිකා, සමන්පිච්ච මල් සුවඳ, හඳුන් එළඟිතෙල් මිශ්‍ර කරන ලද කිරිබත්, දෙළුම්, ඇපල් ආදී පළතුරු වර්ග පූජා කළහොත් සිකුරු අපල සඵල කරගත හැක. සිකුරාදා දිනයක පූජාවන් අරඹා සිකුරාදා දිනෙක අවසන් කිරීමෙන් ප්‍රතිඵල වැඩිය. තදබල අපලවලදී සිකුරාදා දින විසි එකක් පූජා පැවැත්විය යුතුය. සිකුරු හිමි දිශාව නැගෙනහිරයි. වඩාත් සුදුසු නැගෙනහිර බලා පූජා පැවැත්වීමයි. තවද එක්දහස් එකසිය වාරයක් පිරිත් කරන ලද අභිසම්භිදාන යන්ත්‍රය හා ජනරථන යන්ත්‍රය පැළඳීම සිකුරු අපලයට හොඳයි. සඳුන් තෙල් පිරිත් කර නළලේ තිලකය තැබීමද යහපත්ය. මාරක අපලය යෙදුණුවිටදී සතුන්ට අභය දානය දීම, සිල්වත් අයට දන්දීම හොඳයි. කරඳ පැළයක් රෝපණය කර සාත්තු කිරීම යහපත්ය. කරඳ ගහේ ප්‍රයෝජන බොහෝ අය ලබන විටද අපලය සඵල වේ. පත්තිනි මෑණියන්ට පින් පැමිණවීම, බෞද්ධ දේව මෑණිවරුන්ට පුදා පින්දීම යහපත්ය. සුදු වස්ත්‍ර හා සුවඳ විලවුන් පරිත්‍යාග කිරීමද අපලයට පිළියමකි. කන්‍යා ස්ත්‍රීන්ට රෝගී කාන්තාවන්ට හා ගර්භණී මව්වරුන්ට ආහාර ඇඳුම් පැළඳුම් දීමද සිකුරු අපලය නැතිකර ගැනීමට මඟකි.

දේශමාන්‍ය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,
මහාචාර්ය හේමපාල පතිරණ