(මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළවිය)
මුලින්ම බෙල්බොටම් මෙරටට ආවේ ඩෙනිම් කලිසම ආශ්‍රයෙනි. ඉන් පසු වෙනත් රෙදිවලින් බෙල්බොටම් කලිසම මසනු ලැබීය. මංගල ඇඳුම් කට්ටලවලට පවා බෙල්බොටම් භාවිත වූයේය. විලාසිතා ලෝකයෙන් සාමාන්‍ය කලිසම ඉවත්වන තරමට බෙල්බොටම් කලිසම විලාසිතා ලෝකය ආක්‍රමණය කරනු ලැබීය. සියලුම දේශීය විදේශීය සංගීත කණ්ඩායම් ප්‍රසංග ඉදිරිපත් කළේ බෙල්බොටම් කලිසම සහිතවයි.
අපේ එක්තරා මිත්‍රයෙක් පළමු බෙල් කලිසම මසා ගෙදර ඇවිත් එය ඇඳ පෙන්වූ විට ඔහුගේ පියා බෙහෙවින් සතුටට පත්වූයේය. ඔහුගේ පියා පරණ විශාල කකුල් සහිත කලිසම් ඇන්ද අයෙකි. ඔහු අප්‍රිය කළේ හැට ගණන්වල මුල ජනප්‍රිය වූ පහතට වන්නට කකුල් සිහින්වන බම්බු කලිසමයි.
“බොහොම හොඳයි පුතා ඔන්න ඔහොම ලොකුවට තමා කලිසම් කකුල් මහන්න ඕනා”
බෙල්බොටම් යනු විලාසිතාවක මූලාරම්භය වග ඔහුගේ පියා එවකට දැනසිටියේ නැත. පියාට තමා දුන් ඔවදන ගැන පසුතැවිලි වන්නට සිදුවූයේ පුතාගේ අලුතින් මසන කලිසම්වල කකුල් මසින් මස ලොකු වී ඒවා අලි කකුල් තරමට විශාල වූ විටයි.
අලි කකුල් ඇති “එලිෆන්ට් පෑන්ට්ස්” බවට බෙල්බොටමය කෙමෙන් පරිවර්තනය වූයේ ඒ ලෙසයි. පසුව දෙපැත්තේ සාක්කු ඇති Wrangler වර්ගයේ කමිසයද ඒ සමඟ ජනප්‍රිය වූයේය. එකල පාසල් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩකයන් පමණක් නොව මෙරටට පැමිණි ඔස්ට්‍රේලියා හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩකයන්ද ඇඳ සිටියේ විශාල කකුල් සහිත එලිෆන්ට් පෑන්ට්ස් කලිසම්ය.
බෙල්බොටම් එනතුරු කලිසම් අඳින්නට හුරැව සිටියේ ශ්‍රී ලාංකීය නාගරික කාන්තාවන්ගෙන්ද ස්වල්ප දෙනකු පමණි. ඒ ඇන්ඳේද සැඳෑ සාද වැනි උත්සව අවස්ථාවලය. කාන්තාවන් අතර කලිසම ජනප්‍රිය මෝස්තරයක් බවට පත්වූයේ බෙල්බොටම් පැමිණීමත් සමඟය. එක එක පාටින් එක එක හැඩයට පැමිණි කාන්තා බෙල්බොටම් කලිසමද කාලයත් සමඟ අලි කකුල් ඇති එලිෆන්ට් පෑන්ට්ස් දක්වා විශාල වූයේය.
මිනිගවුම් යුගය නිමාවී බෙල්බොටම් භාවිතයට පැමිණ, මැක්සි කියන දිග ගවුම් ආ හැටි ඩෙස්මන් ද සිල්වාගේ (දෙව්ලොව දෙවියනේ) ගීතයෙන් කියවිණි.
“බෙල් බෙල් බොටම් කියල දැන් අඳිනා කලිසම්
මිනි මිනි ගවුම් යුගේ ඔවුන් ගියා ෆැන්ෂන්
ටැක්සි වගේ කැරකෙනවා මැක්සි කියන දිග ගවුම්
මෙන්න බොලං ආවා අලුත් තාලෙ ඇඟේ නෑ ඇඳුම්”
වර්තමාන කාන්තාවගේ එදිනෙදා කටයුතු පහසු කරවන, කාර්යක්ෂම බව රඳවාගන්නට උචිත ඇඳුමක් ලෙස දැන් අපේ සමාජය කාන්තා කලිසම පිළිගෙන තිබේ. කාන්තාවන් බෙල්බොටම් අඳින්නට පටන් ගත් මුල් කාලයේ සාම්ප්‍රදායික අදහස් දරන්නන්ගෙන් ඇසුණු දෝෂාරෝපණ දැන් ඇසෙන්නේ නැත. කාන්තා කලිසම සරසවි ශිෂ්‍යාවන් ඇතුළු තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබේ. අවලාද නගන්නන් හට නොබියව දිගින් දිගටම කාන්තාව කලිසම ඇඳීමට පුරුදු වූ නිසා දැන් පවත්නා තත්ත්වය ඔවුන් දිනාගෙන තිබේ. යාර හයක් දිගැති සාරියක් ඇඟ පටලවාගෙන වැඩ කරනවාට වඩා පහසුවෙන් වර්තමාන කාන්තාවෝ කලිසම් ඇඳ කාර්යක්ෂම ලෙස තම වැඩ කරගන්නට පුරුදු වී සිටිති.
බෙල්බොටමය තුළ එක තැන නොරැඳුණු කාන්තා කලිසම, කාන්තාවගේ දෙපාවල ස්වාභාවික කලාත්මක හැඩය මතුකර පෙන්වන ඇඳුමක් දක්වා පරිණාමය වූයේය. නාරිදේහයේ කලවා කෙණ්ඩා දඟ යුගවල සෞන්දර්ය ඉන් මතුවන ලෙස විවිධ රෙදි වර්ගවලින් නොයෙක් ආකාරයට කලිසම් නිර්මාණය වී තිබේ. ඇදෙන රෙදි වර්ගවලින් එන මෝස්තර, පෙන්සිල් කට් සහිත කලිසම්, ලෙගින්ස් කාන්තා දේහයේ සෞන්දර්ය නොමරා මතු කළේය.
මේ වන විට එළිදැක ඇති ඉරී වැරහැලි වී ගිය (විශේෂයෙන් ඩෙනිම්) කලිසමෙන් මතුකරන්නේ කලාවක්ද සමාජ ප්‍රවණතාවක්ද යන්න තවම පැහැදිලි නැත. මුලින් දණහිසෙත්, කළවා හරියෙත් මඳක් ඉරීගිය කලිසම්වලින් ඇරඹුණු මෙම මෝස්තරය දැන් ඉතා දරුණු අඩියකට පැමිණ ඇත්තේය. ඇතැම් රටවල කාන්තාවන් කලිසම්වල කළවා හරිය පමණක් නොව නිතඹද නිරාවරණය වන සේ ඉරා ඇති කලිසම් හැඳ පාරේ බැස යන දර්ශන අන්තර්ජාලයේ පවතී. පාරේ යන අනෙක් අයද වැඩි අමුත්තකින් ඒ දෙස බලන සෙයක් නොපෙනේ. ඒවා මිලෙන් අඩු ඒවා විය හැකි යැයි අයකුට සිතුණද එය එසේ නොවේ. එම ඉරා වැරහැළි කළ ඩෙනිම්වල මිල නියම වී ඇත්තේ ඇඟ නොවැසෙන හරියට බව, මිල ගණන් සොයා බැලීමේදී පෙනී යයි.
කොට කලිසමද සැලකිය යුතු තරම් වෙනස්කම්වලට පසුගිය කාලයේදී භාජනය වී තිබේ. කියුලට්ස් නමින් හැඳින්වූ දණහිස තෙක් ඇති කාන්තා කොට කලිසමක් අනූ ගණන්වලදී ජනප්‍රිය විය. පිරිමි බීච් කලිසමත්, තුන්කාලේ කලිසමත් අතිශය ජනප්‍රිය වූයේ ඒ මගින් කටයුතු පහසු කරන නිසයි. විනෝද ගමන් යාමේදී සාක්කු සහිත තුන්කාලේ කොට කලිසම වඩාත් ප්‍රයෝජනවත් වෙයි.
කලිසමට දෙන නවතම අර්ථකථනය මා ඊයේ පෙරේදා දුටුවේ ජෙනිෆර් ලෝපස් වෙතිනි. හතළිස් නව වැනි වියේ පසුවන ජෙනිෆර් ලෝපස් ඇමරිකානු ගායිකාවක සේම නිළියකද වෙයි. ශරීර අභ්‍යාස කර ගොඩනගාගත් හැඩකාර සිරුරක් ඇයට හිමිය. මා දුටු ඡායාරූපවල ඈ ඇඳ සිටින්නේ දෙපයට ලූ ඩෙනිම් බූට් දෙකකි. දෙපයේ වෙන වෙනම කලිසම් සේ දණහිස් දක්වා ඉහළට එන ඩෙනිම් බූට්ස්වල දණහිස හරියේ බඳපටියක් වන් කළු පටියකින් තදකර තිබේ. එම ඩෙනිම් බූට්ස්වල දණහිස හරියේ සාක්කු ඇත. බැලූ බැල්මට පෙනෙන්නේ දෙපාවලට වෙන වෙනම කලිසම් දෙකක් ඇන්දා සේය. එම ඇඳුමට ඇගේ කළවා නිරාවරණය වී තිබියදී ඇය සුදුපාට කමිසයකින් උඩුකය වසා සිටින්නීය.
නග්න සිරුර මත නොයෙක් වර්ණයෙන් ඇඳුම් පින්තාරු කොට නිරුවතින් මහ මඟ යාමේ මෝස්තර කිහිපයක්ද මෑතකදී අන්තර්ජාලයේ පෙනෙන්නට තිබිණි. (මෙන්න බොලං ආවා අලුත් තාලේ ඇඟේ නෑ ඇඳුං) කලාත්මක ලෙස කර ඇති Body painting නිසා ඇඟේ ඇඳුම් නැති අඩුව නොපෙනේ. නිරූපිකාව ඇඟේ නූල්පටක් හෝ නැතිව පාරේ ගිය බව කිසිවකු දැනගන්නේද නැත.
කලින් කලට එන ඇඳුම් මෝස්තරවලටත් වඩා වේගයෙන් මිනිස් සිරුරත් යෞවනයත් වෙනස් වෙයි. නේකවිධ නේක වර්ණ ඇඳුමින් සරසන්නට අපට ඇත්තේ එසේ වෙනස්වන සිරුරයි. එය නිසි කාලයේදී නිසි අයුරින් කර තිබීම වරදක් ලෙස නොපෙනේ. නැතහොත් පසුව පසුතැවිලි වන්නට සිදුවේ.
“යෞවන බව හෙට නැතිවෙනවා - කල්බැලූ අය හිඳ ලතවෙනවා - ජීවිතේ පිණි බිංදුවක් වාගේ”
♦ සමන් පුෂ්ප ලියනගේ