කොළඹ පොඩිත්තන්ගේ Holiday Camp
පාසල් නිවාඩුව හින්දා පොඩිත්තෝ මේ දවස්වල ගෙවල්වලට වෙලා හිතේ හැටියට සෙල්ලම් කරමින් විනෝදයෙන් ඉන්නවා. මේ විනෝදය තවත් වැඩි කරන්න පුළුවන් විදිහේ වැඩක් ගැන පුංචි ටිප් එකක් දෙන්නයි මේ සූදානම. ඒ තමයි Holiday Camp නමින් අගොස්තු 14 වැනිදා සිට පැවැත්වෙන පොඩිත්තන්ගේ විනෝද වැඩසටහන. නාවල, රාජගිරිය සහ නාරාහේන්පිට කියන ස්ථානවලදී පැවැත්වෙන මේ වැඩසටහනේදී සර්කස්, රූකඩ සංදර්ශන, චාරිකා, splash pool වගේ අත්දැකීම් රැසක් විඳින්න පොඩ්ඩන්ට පුළුවන්. වයස අවුරුදු දෙකහමාරේ සිට අවුරුදු දොළහ දක්වා පොඩ්ඩන්ට සහභාගි විය හැකි මේ වැඩසටහන ගැන වැඩි විස්තර ෆේස්බුක් හරහා දැනගන්න පුළුවන්.
සූරිය විලේජ් ආදර හැන්දෑව
අගෝස්තු 16 වැනිදා හැන්දෑවේ හතට විතර කොළඹ ස්කෙල්ටන් පාරේ පිහිටි සූරිය විලේජ් වෙත ගියොත් හරි අපූරු වැඩසටහනකට සහභාගී වෙන්න ඔබට පුළුවන්. ඒ තමයි Story Party Colombo. මේකේ විශේෂත්වය වන්නේ මෙතැනදී කතාවෙන්නේ එකිනෙකාගේ ආදර සම්බන්ධතා ගැන වීමයි. ආදරය ඇතිවුණු හැටි, ලබාගත් හැටි වගේම බිඳුණු හැටි ගැනත් හැමෝම කතාබහ කරනවා. ඒ ඒ ආදරවන්තයන් තුළ තිබුණු අමුතු අමුතු ලක්ෂණ වගේ දේවල් ගැන කතා කෙරෙන්නේ මුළු සභාවම හිනස්සමින්. ඉතින් මේ අවස්ථාවට යුවළක් විදිහටත් තනිවමත් සහභාගී වෙන්න පුළුවන්.