2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

රස්සාවෙදී ගෙදරදී අත්වල ඇඟිලි හිරිවැටෙනවද?

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 730

වර්තමානයේදී බහුලව දක්නට ලැබෙන රෝගයක් ලෙසින් අත්වල හිරිවැටීම හැඳින්විය හැක. මේ අතර වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ද අත්වල සහ ඇඟිලිවල හිරිවැටීම සම්බන්ධව වෛද්‍යවරයාට පැවසීම නිරන්තරයෙන් දැකිය හැකිය.

මෙවැනි අත්වල සහ ඇඟිලිවල හිරිවැටීමට විවිධ හේතු බලපාන අතර වර්තමානයේදී හඳුන්වනු ලබන Carpal Tunnel Syndrome නැමැති අවස්ථාව ද බහුල ලෙස මේ රෝගයට හේතුවේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය වාත රෝග ඝනයට අයත් වන රෝගයකි. මැණික් කටු සන්ධියේ යම් ව්‍යුහයක් තුළින් ගමන් ගන්නා ස්නායුවක් (Median Nerve) පීඩාවට පත්වීම හේතුවෙන් රෝග ලක්ෂණ හටගන්නා අතර මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට ඒ ඒ පුද්ගලයාගේ රැකියාවේ ස්වභාවයේ බලපෑම් ද හේතුවෙයි.

මීට අමතරව මැණික් කටු සන්ධිය ආශ්‍රිතව ඇති යම්කිසි කුහරමය ව්‍යුහයන් (Carpal Tunnel) හරහා ඇඟලිවලට විශේෂයෙන්. මහපටඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදඟිල්ලෙහි කොටසකටත් ස්නායු ආවේග සපයන ස්නායුව (Median Nerve) ගමන් ගනී. මෙය අස්ථි හා අස්ථි බන්ධනී (Ligaments) වලින් මායිම් වී ඇති අතර මෙම කුහරය හරහා පේශී ඛණ්ඩරා (Muscles Tendons) හා ස්නායුව (Median Nerve) ගමන් කරයි. මෙම කුහරමය ව්‍යුහය ඇතුළත පීඩනය යම් හේතුවක් නිසා ස්නායුව තෙරපීමකට ලක්වේ. එවිට රෝග ලක්ෂණ ඇතිවේ.

රෝග ලක්ෂණ:-

මෙම රෝගයේ රෝග ලක්ෂණ එක්වරම හටනොගනී. රෝග ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් ඇතිවී එය එදිනෙදා වැඩකටයුතුවලට බාධා ඇති කරයි. කාලයක් ගතවෙද්දී මෙය ඉතා දරැණු රෝගයක් බවටද පත්විය හැක.

අතෙහි මැදගිල්ල, වෙදඟිල්ල, මහපටැඟිල්ල වැනි ඇඟිලිවල වරින්වර ඇතිවන නළියන සේ දැනෙන ස්වභාවය (Tinseling Sensation) දාහය හා හිරිවැටීම වැනි තත්ත්වයන් මෙම රෝගයේ රෝග ලක්ෂණ වේ.

වේදනාවට අමතරව ඇතැම් විට අතට අප්‍රාණික තත්ත්වයක් දැනීමද රෝග ලක්ෂණයක් වේ. එදිනෙදා වැඩකටයුතු සිදුකරද්දී අත හිරිවැටීම හේතුවෙන් ඇතැම් විට අතින් ගනුලබන විවිධ දෑ බිම වැටීම දක්නට ලැබිය හැක. විශේෂයෙන් යම් දෙයක් වැඩි වේලාවක් අල්ලා ගෙනසිටිය නොහැකි තත්ත්වයක් ද ඇතිවිය හැක. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට බොහෝ දෙනා එය එදිනෙදා වැඩකටයුතුත් සමඟ ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් යැයි සිතා රෝගය එතරම් ගණන් නොගෙන සිටිති. නමුත් මේ ගණන් නොගැනීම නිසා පසුකාලීනව සිදුවන්නේ ඔබ කවුරැවත් නොසිතන දෙයකි.

බොහෝ විට මේ නිසා රාත්‍රී කාලයේදී නින්දට බාධා ගෙනදිය හැකිය. අතේ ඇති වේදනාවක් සමඟ අත පහළට එල්ලා වැටෙන අයුරින් තබා ගැනීමෙන් යම් තාවකාලික සුවයක් ගෙනආවද එය සාර්ථක පිළියමක් නොවේ.

මේ ආබාධය ඇතිවීමට විවිධ හේතු බලපායි. තයිරොක්සින් හෝමෝනයේ විෂමතාවයක් පැවතීම, දියවැඩියාව වැනි රෝග ඇතිවීම, අති ස්ථූලතාවය හේතුවෙන් ස්නායු ගමන් මාර්ගය අවහිර වීම. අවට පටකවල මේද තැන්පත් වී ස්නායු මත තෙරපීමක් ඇතිවීම වැනි හේතු මෙහි ප්‍රධාන වේ. එමෙන්ම මැණික් කටුව ආශ්‍රිතව සිදුවූ යම් අනතුරකින් ද හෝ අස්ථි බිඳීයාමකින් පසුව ඇති තත්ත්වයන් මතද මෙය ඇතිවිය හැක. බොහෝ විට සිදුවන්නේ අස්ථි බිඳීමකදී (Trauma) ස්නායුවට හානි සිදුවීමය.

ස්නායු ගමන් මාර්ගයට පිටතින් මාංශවල වර්ධනයක් හෝ මේද තැන්පත් වීමක් සිදුවීම (Lipoma) නිසාද කුහරයට ව්‍යුහය තුළ පීඩනය වැඩිවීම හේතුවෙන්ද මෙය ඇතිවිය හැක.

ගර්භනී කාලවලදී වැඩිපුර දක්නට ලැබෙනා අතර දරු ප්‍රසූතියෙන් පසුව එවැනි කාන්තාවන්ගේ මෙම තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවද දක්නට ලැබේ.

පුද්ගලයන් විසින් කරනු ලබන රුකියාවන් අනුව මෙම රෝග ලක්ෂණ ඇතිවීම වැඩිපුර දක්නට ලැබේ. විශේෂයෙන් ලියන්නන් දැඩි ලෙස කම්පනය ඇතිවන උපකරණ භාවිතා කරන්නන් (Vibrating Tools) බොහෝ විට මෙම ආබාධයට වැඩිපුර ගොඳුරු වේ.

එමෙන්ම නිතර නිතර රෙදි සේදීම, පොල් මිරිකීම වැනි කාර්යයන්හි නිරතවන ගෘහණියෝද වැඩි ලෙස මෙයට ගොදුරු වන අය වෙති. විශේෂයෙන් මැණික් කටුව ආශ්‍රිත දැඩි පීඩනයක් ලබාදෙන අවස්ථාවලදී මේ වේදනාව දැඩිලෙස දැනේ. විශේෂයෙන් මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශය නිතර නිතර නැවීම සහ දිගහැරීමෙන් මේ වේදනාව දැනෙයි.

මේ ආකාරයට ඇති වූ විට දිගින් දිගටම අත මෙහෙයවන වැඩවල නිරත නොවිය යුතුය. අඩුම තරමේ පැයකට වරක්වත් අතට විවේකය ලබාදීම අවශ්‍යය. මැණික් කටු සන්ධිය ආශ්‍රිතව සුදුසු ව්‍යායාම්වල නිරත වීම ඒ ආශ්‍රිත ප්‍රදේශය සම්භාහනය කිරීම මඟින්ද මෙම රෝග තත්ත්වයෙන් අත්මිදිය හැක. එමෙන්ම නිවැරදි ලෙස අත තබා ගැනීමද ඉතා වැදගත්වේ.

නවීන විද්‍යාවට අනුව මේ සඳහා සුළු ශල්‍යකර්මයක් මගින් ස්නායුව මත ඇතිවන පීඩනය අවම කිරීමේ ප්‍රතිකාරයක් ද භාවිතා වෙයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඉතා සාර්ථක ප්‍රතිකාර මේ සඳහා ඇත. ශරීරය අභ්‍යන්තරයට ලබාදෙන ඖෂධවලට අමතරව බාහිරව ඒ ආශ්‍රිත ප්‍රදේශයට ලබාදෙන තෙල් ආලේපනය, පැලැස්තර යෙදීම මෙන්ම කරනු ලබන සරල ව්‍යායාම් ක්‍රම මගින් ද ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

මේ පිළිබඳ සැලකිලිමත් නොවීමෙන් දීර්ඝකාලීනව මෙම තත්ත්වය උග්‍රවී ඒ අවට මාංශපේෂී ක්ෂය වීම හෝ දුර්වල වියහැකි වන බැවින් ඉතා ඉක්මනින් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍යය.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල