2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

විභාග යුද්දෙ නිසා දරුවෝ පොත් කියවන්නේ අඩුවෙන්

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 192

ඉංග්‍රීසි නවකතා සහ විත්ති කතා කෘති රාශියක් (ඕලන්ද සිරකරුගේ ලංකා චාරිකාව, බල වියරුව, ධවල යක්ෂයා, බිඳුණු විලංගු ඇතුළු) සිංහලයට පරිවර්තනය කළ පාලිත ජයකොඩි වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙකි. ඔහු නිර්මාණ සාහිත්‍යයට එළඹෙන්නේ ධවල ඡායා නවකතාව රචනා කරමිනි. එය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක්. මේ පාලිත ජයකොඩි ඒ පිළිබඳ දැක්වූ අදහස් බිඳකි.

ධවල ඡායා නවකතාවට ලැබෙන ප්‍රතිචාර කෙසේද?

කියවූ අයගෙන් සාර්ථක ප්‍රතිචාර ලැබෙන බවයි පේන්නේ. මුහුණුපොතෙත් ඒ ගැන සාධනීය අදහස් පළකර තිබුණා.

ඔබ පාඨකයන් හඳුනන්නේ පරිවර්තකයකු වශයෙන්. හිටි ගමන් නවකතාව වගේ නිර්මාණ සාහිත්‍යය පැත්තට මාරුවීමට විශේෂ හේතුවක් තිබුණාද?

මම ලේඛනයට ඇද දැම්මේ අපේ ඥාතියෙකු වන සිංහල විශ්වකෝෂයේ කර්තෘවරයකු වන ආචාර්ය සරත්චන්ද්‍ර ජයකොඩි. ඒ උනන්දු කිරීම නිසා මම පොත් පරිවර්තනයට අතගැසුවේ 2006 දී. ඒ පොත්වලට පාඨකයන්ගෙන් ඉල්ලුමකුත් තිබුණා. ටික කලක් යනවිට ස්වතන්ත්‍ර නවකතාවක් ලිවීමේ අදහස හිතේ කැකෑරෙමින් තිබුණා. කතා තේමාවක් ඔළුවට ඇතුළුවෙලා තිබුණේ. එම කතා තේමාව ටිකින් ටික වර්ධනය වීමේ අවසාන ප්‍රතිඵලය තමයි ධවල ඡායා.

මේ නවකතාවට පසුබිම් කරගන්නේ 19 වැනි සියවසේ යටත්විජිත සමය. ඒ කාලේ ලංකාවට එන සුදු ජාතික පුවත්පත් කලාවේදියකු මෙම කෘතියට පාදක කරගන්නවා?

ඔව්. මම ඉතිහාසයට, අතීතයේ සැරිසැරීමට කැමතියි. අතීතයේ මෙහෙම වෙන්න ඇති කියලා හිතේ මවාගැනීම මට සතුටක්. ඉතින් එක්දහස් අටසිය ගණන්වල සුදු අධිරාජ්‍යවාදී පාලන කාලය තමයි මේ පොතේ විස්තර වන්නේ. ඒ සමය නිරූපණය කිරීමට මම පොත්පත් රාශියක් කියවා දැනුම ලබාගත්තා. ඒ දැනුම පරිකල්පනය කර මෙහි එන පුවත්පත් කලාවේදියාගේ චරිතය ගොඩනැඟුවා. දරදඬු සුද්දන් අතර සිටින යහපත් මානුෂීය ගුණාංග සහිත චරිතයක් විදිහට තමයි ඔහු නිර්මාණය කර තිබෙන්නේ.

ඔබ සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන්ද බහුලව කියවන කෙනෙක්. ගුරුවරයෙක් වශයෙන් සේවය කරද්දී අද ශිෂ්‍ය පරපුරේ කියවීමේ පුරුද්ද දකින්නේ කෙසේද?

ඒක නම් හරිම කනගාටුදායකයි. සාපෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයටත් My favorite book වගේ ප්‍රශ්නයක් තිබෙනවා. හැමෝම පාහේ ලියන්නේ 5 පන්තියේදී කියවන මඩොල්දූව ගැන විතරයි. පාසල් සිසුන්ගෙන් 10%කට ආසන්න පිරිසක් තමයි පොත් කියවන බව පේන්නේ. අනෙක් අය වෙන වෙන තාක්ෂණික මෙවලම්වලට හුරුවෙලා. කියවන්න වෙලාවක් නෑ.

ගුරුවරු විදිහට අධ්‍යාපන කාර්යයට අමතරව ළමුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමට යම් දෙයක් කරනවාද?

ඔව්. අපි එලෙස කිරීමට උත්සාහ කරනවා. නමුත් බොහෝ ගුරුවරුන්ට තිබෙන ගැටලුව තමයි විෂය නිර්දේශය ආවරණය කරගෙන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීමේ ඉලක්කය. මේ නිසා ශිෂ්‍යත්වයෙන් පසු ළමුන් සාමාන්‍ය පෙළ ජයගන්න තරගයක් තමයි තිබෙන්නේ. අමතර කියවීම කියන එක මේ ක්‍රියාවලියේදී බාධාවක් විදිහට තමයි, දෙමාපියන් පවා දකින්නේ. ඇත්තටම මේ තත්ත්වය වෙනස් විය යුතුයි. රසවින්දන ශක්තිය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. පාසල්වලින් කියවීමේ තරග, පුස්තකාල දින වගේ ඒවායින් පොඩි පෙළඹවීමක් ඇතිවෙනවා. සමස්තයක් විදිහට කියවීම අඩුවෙලා.

අද තරුණ පරම්පරාවේ පිරිස් අලුත් අත්හදාබැලීම් ඔස්සේ නවකතා ලිවීමට උත්සාහ කරන බව පේනවා. ඔබ මෙය දකින්නේ කොහොමද?

ඒක හොඳ ප්‍රවණතාවයක්. මේ පාර බුකර් සම්මාන ලැයිස්තුවේ නිර්දේශිත ප්‍රශස්ත කෘති අතරටත් ප්‍රථම වරට ගැෆික් නවකතාවක් තේරී තිබෙනවා. ලංකාවෙත් අලුත් ආකෘති ඔස්සේ රචනා කළ නවකතා බිහිවෙනවා. නමුත් ඉතින් ආකෘතිය ගැන වගේම කතන්දරය ගැනත් ලොකු අවධානයක් දැක්විය යුතුයි. මම නම් හිතන්නේ කතාව ඉස්මතු කර ගැනීම වැදගත්.

අපේ සිංහල නවකතාව මොනවගේ තැනක තිබෙන බවද ඔබ හිතන්නේ?

හොඳ නවකතා සෑහෙන්න බිහිවෙනවා. නමුත් ලෝකෙත් එක්ක සංසන්දනය කරන විට අපේ නවකතා ඉංග්‍රීසියට පෙරළී පිටරටට යනවා අඩුයි. අපේ පොඩි දූපතේ නවකතාවකින් පිටපත් 1000යි මුද්‍රණය කරන්නෙත්. නමුත් පසුගිය කාලෙ දිහා බලනවිට ලෝක මට්ටමට ළංවන පොත් අපෙන් බිහිවෙලා තිබෙනවා. නමුත් ඒවා ලෝක සාහිත්‍යයට ඇතුළුවෙලා කතාබහට ලක්වෙලා නම් නෑ. මෙවර බුකර් තෑග්ගට නිර්දේශිත කෘති අතර ලංකාවේ සම්භාවයක් තිබෙන දෙන්නෙක් ඉන්නවා. මයිකල් ඔන්ඩච්වි සහ ගයි ගුණරත්න. ඔවුන් පිටරට ජීවත්වෙමින් ඉංග්‍රීසියෙන් තමයි නිර්මාණ කරන්නේ. එවැනි අයගේ නිර්මාණ ගැන ලෝකය කතා කළත් සිංහලෙන් ලියැවී ඉංග්‍රීසියට පෙරළුණු නවකතා කිහිපය ගැන වුණත් කතාබහක් නෑ. 

 පාඨක