ලෝකයම ගෝල් දැල දෙස බලාසිටි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිමාවූවා පමණි. පාපන්දු උණුසුම විහිදුවන ළමා චිත්‍රපටයක් අපේ සිනමාහල්වලට පිවිසියේය. ඒ රොහාන් පෙරේරා තිරරචනය ලියමින් අධ්‍යක්ෂණය කළ ගෝල් ය. පාසල් නිවාඩු කාලය ඉලක්ක කර ගනිමින් මේ දිනවල රයිගමයයි - ගම්පලයයි, ඇලඩින් සහ පුදුම පහන යන චිත්‍රපටද තිරගත වේ. ඒ අතරින් කැපීපෙනෙන ගෝල් අධ්‍යක්ෂවරයා මෙයට පෙර හීන හොයන සමනල්ලු සහ ඒ ලෙවල් යන චිත්‍රපට රසිකයන්ට තිළිණ කළේය. ඔහු ඒ ඔස්සේ මෙරට විචාරකයන් තුළ යම් බලාපොරොත්තුවක් ජනිත කළද එය ඉහළ තලයකට ඔසවා තැබීමට ඔහුගේ ගෝල් ප්‍රමාණය නම් මදිබව පෙනේ.
විශිෂ්ට ගණයේ ක්‍රීඩා ගුරුවරයකු සහ පුහුණුකරුවකු වන සමරසේකර මහතා (ජයලත් මනෝරත්න) නගරයේ රාජකීය විද්‍යාලයෙන් ඉවත් කරන්නේ ඔහුගේ උපදෙස් පරිදි ක්‍රීඩා නොකළ සිසුවකුට අතින් පහරක් එල්ලකිරීම නිසාය. තම අවවාද නොරිස්සූවිට කේන්තියෙන් දඬුවම් කළද ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙකි. ජීවිතයම ක්‍රීඩා පුහුණුවට කැපකළ කෙනෙකි. ආදිශිෂ්‍ය සංගමයේත් විදුහල්පති හා ගුරැ දෙගුරුන්ගේත් විරුද්ධත්වය නිසා ඔහුට දඬුවම් මාරුවක් ලැබ හද්දා පිටිසර වැව් ගම්මානයක කනිෂ්ඨ විද්‍යාලයකට යාමට සිදුවේ. ඔහු තම පරණ මෝටර් රථයෙන් බිරියද (චාන්දනී සෙනෙවිරත්න) සමඟ එම පාසලේ ගුරු නිවාසයට යයි.
ඊට පසු ඔහුට සිදුවන්නේ සිංහල හා සාහිත්‍යය ඉගැන්වීමටය. පාසලේ ඔහු හැරෙන්නට සිටින්නේ විදුහල්පතිනිය (කෞශල්‍යා ප්‍රනාන්දු) පමණි. ඇයට පාපන්දු ක්‍රීඩාව හෝ ක්‍රීඩා පුහුණුව ගැන අවබෝධයක් නැත. එහෙත් විශ්‍රාම යාමට ආසන්න වයසක සිටින ගුරැවරයා ඉන් අධෛර්යමත් නොවේ. කිසිම විනයක් නැති එදා වේල අමාරුවෙන් පිරිමහගන්නා ඉගෙනීමට අදක්ෂ සිසුන් සිටින කනිටු පාසලකින් පාපන්දු කණ්ඩායමක් තැනීමේ සිහිනයක ඔහු අතරමං වේ. විදුහල්පතිනියගේද සහායක් නැතිව ඔහු ඒ සිහිනය ජයගැනීමට අත්තිවාරම දමයි. උණබටවලින් ගෝල් කණු සකසා කොට්ඨාස මට්ටමේ තරගවලට පුහුණුව අරඹයි. අවසානයේ මේ ළමුන් සියලු බාධක මඟහරවාගනිමින් සමස්ත ලංකා ජය ලබාගන්නේ රාජකීය විදුහල පරදවමිනි.
රාජකීය විදුහලේම සේවයෙන් ඉවත් කළ ගුරුවරයාට නැවත රාජකීය විදුහල්පති හමුවන්නේ එදා අවසාන මහා තරගයේදීය. සමරසේකර ගුරුතුමාගේ ෆැන්ටසිය හැබෑවක් වන ආකාරය රොහාන් පෙරේරාගේ තිරනාටකයේ පිළිබිඹු වන්නේ ආශ්චර්යමත් ආකාරයකිනි. මේ සඳහා ගමන් කිරීමේදී එල්ලවන බාධක බොහොමයක් ඔහු හිතාමතාම මඟහැර ඇතිබව පෙනේ. පාපන්දු දැල් හා පන්දු සොයාගැනීම, සපත්තු නිලඇඳුම් සපයාගැනීම, ක්‍රීඩා තරගවලට යාමේදී දැරීමට වන වියදම් ආදී බාධක මතුවුවද ඒවා සපුරාගන්නේ කෙසේද යන්න ප්‍රේක්ෂකයන්ට නොපෙන්වයි. එම අවස්ථා ගීතයකින්ම ඉදිරිපත් කරන අතර එය කුතුහලය හා නාට්‍යමය රසය චිත්‍රපටයෙන් ගිලිහීයාමට හේතුවක් වේ.
සෑම තරගයකදීම පළමු අර්ධයේ පරාජයට පත්වන පාපන්දු කණ්ඩායම ගුරුවරයාගේ ධෛර්යමත් කිරීම් මැද දෙවන අර්ධයේදී විශිෂ්ට දස්කම් දැක්වීමද අදහාගත නොහැක්කකි. ගෝල් රකින මහත ක්‍රීඩකයා පන්දුවක් ගෝල් දැලට එනවිටම බිමට වැටේ. ඔහු කෑමට කෑදර සිසුවෙක් ලෙස විකට ස්වරූපයකට පත්කිරීමට උත්සාහ ගැනීමද චිත්‍රපටයේ දිවයන මානුෂිකත්වයට බාධාවකි.
චිත්‍රපටයට පදනම් කරගෙන ඇත්තේ නගරයේ දැකිය නොහැකි ගමේ සැඟව පවතින මානුෂිකත්වය හා ළමුන්ගේ කැපවීමයි. නගරයට අවබෝධකරගත නොහැකි ඔවුන්ගේ මිනිසත්බවේ හැසිරීම්ය. ගුරැවරයාගේ කාර් එකේ ටයර් එකේ හුළං ගියවිට එය ඔහුටත් නොදන්වා රැගෙන ගොස් පැච් එක දමා අලුත්වැඩියා කරදීම, පන්තියේ සියලුම ළමුන් පාසල් නොගොස් බඩඉරිඟු, කැපීමට උදව් කිරීම වැනි අවස්ථා ඒ අතර වේ. ඒ අතර ගුරුවරයාගේ කීමට පාපන්දු පුහුණුවට නොඑන ළමුන් ඔහුගේ බිරියගේ ඉල්ලීමට කන්දී පැමිණීමද අපූරු අවස්ථාවකි.
ළමුන් සෑහෙන සංඛ්‍යාවක් සිටින බව පෙනෙන පාසලේ සිටින්නේ ගුරුවරු දෙදෙනෙක් පමණි. පාපන්දු තරගවලට කිසිම අනුග්‍රහයක් නොදක්වා බෝලය සමරසේකර සර්ටම පාස්කරන විදුහල්පතිවරිය තරගවලින් ජය ලබමින් දස්කම් දක්වන විට එහි ගෞරවය තමන්ට හිමිකරගැනීමට උත්සාහ දැරීමද අපේ සමාජයේ බොහෝ තැන්වල දකින්න ලැබෙන සිද්ධියකි. නමුත් මෙම ගුරැවරියද බස් එකක් කුලියට ගෙන අවසාන තරගය නැරඹීමට දරුවන්ද සමඟ කොළඹ එති. ඒ අනුව දුෂ්ට චරිත නැති ළමුන්ගේ මානසිකත්වය වර්ධනය වන කතාවක් ගෙතීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරා තිබේ. කෙසේ වුවත් තිරරචනයේ පවත්නා අඩුපාඩු නිසාම වඩාත් අගනා චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඔහුට මඟහැරේ.
මෙහි ප්‍රධාන චරිතය ජයලත් මනෝරත්නය. මනෝ තම රංගන ප්‍රතිභාව එක්කළද ඔහුට වඩා වයසින් අඩු ක්‍රීඩා ගුරුවරයකුට සරිලන නළුවකු යොදාගත්තා නම් චිත්‍රපටයට වඩාත් ගැලපෙන බව පෙනේ. චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, ජයනි සේනානායක සහ සුළු චරිත රඟපාන්නන් පවා මනා රංගනයක නිරතවෙති. කැමරාවට ආධුනික ළමා චරිත හසුරැවා ගැනීමේදී රොහාන් නැවතත් කුසලතා පෙන්වයි. මේ ළමුන්ගෙන් කිසිදු විටෙක ආධුනික බවක් පළවන්නේ නැත. බොකටු හිසකේ සහිත ඩේවිඩ් කරුණාරත්න නම් දරුවා ඒ අතරින්ද අපගේ මතකයේ රැඳීසිටින රංගනයක් ඉදිරිපත් කරයි.
ගීතයක් අතරතුර පළාත් මට්ටමේ සිට ජාතික මට්ටමේ අවසාන තරගය දක්වා ඔවුන් පිවිසෙන අයුරු නිරූපණය කිරීම වාර්තාමය ස්වරූපයක් ගත්තද එහිදී ආකර්ශනීය රෑප පෙළක් සංස්කරණය කිරීමට අජිත් රාමනායකට හැකිවී තිබේ. මෙවැනි ක්‍රීඩා අවස්ථා සහිත චිත්‍රපටයක සංස්කාරකවරයාට වැඩි බරක් ඇදීමට සිදුවේ. මෙහි සංස්කාරකවරයා ඒ අභියෝගය ජයගෙන ඇතිබව පෙනේ.
කැමරාකරණය පාලිත පෙරේරාගෙනි. ඔහු මේ දඟකාර ළමුන්ගේ ජවය, ඔවුන්ගේ ක්‍රීඩා විලාසය තම කාචයට හසුකරගැනීමට උත්සාහ කර තිබේ. උදාහරණයක් ලෙස චිත්‍රපටයේ ආරම්භක දර්ශනය වන ළමුන් පාසල් ඇරී දිවගොස් පොල්වත්තක හොරෙන් පොල් කැඩීමේ අවස්ථාව වේගවත් ධාවනයක් සහිත කැමරාවක් මගින් කදිමට හසුකරගෙන ඇත. පසුව ඒ ළමුන්ගේම වේගවත් ධාවනය අවසාන මහා තරගයේදීද ඔහු හසුකරගනී.
ගෝල් ඇතුළු රොහාන් පෙරේරාගේ චිත්‍රපට තුනම බලාපොරොත්තු සහගතය. ඉතින් අප නම් කියන්නේ ඔහු ගෝල් කණුවෙන් ඔබ්බට ගොස් වඩාත් සියුම් ලෙස අධ්‍යයනය කළ තිරරචනා ඔස්සේ චිත්‍රපට තැනීමට උනන්දු විය යුතු බවය.
කුසුම්සිරි