2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

බොරැල්ලේ සුපිරි ලෙබනන් රස Mama Aida

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

Mama Aida කියන්නේ කොළඹ ඩඩ්ලි සේනානායක මාවතේ පිහිටලා තියෙන ලෙබනීසියානු ආහාර රස විඳින්න පුළුවන් අපූරු අවන්හලක්. මෙතැන කාලයක් තිස්සෙම ඔවුන්ම හදන විශේෂ පාන් වර්ග නිසා ගොඩක් ජනප්‍රියයි. හැබැයි අද වෙනකොට පාන්වලට අමතරව ලෙබනන් රටේ හැදෙන කෑම වර්ග ගොඩක් පුදුම රසයකින් යුක්තව මෙතැන ඉදිරිපත් කරනවා. 

මෙතැන කෑමබීමවල ගාණ නම් ටිකක් සැරයි තමයි. හැබැයි ඒ ගෙවන මුදලට හරියන විදිහේ වෙනස් වගේම රසවත් ආහාර රටාවක් රසවිඳින්න ලැබෙන එක නම් නියතයි. අපි මුලින්ම ඇණවුම් කළේ  Zaatar and Halloumi Pita Pizza කියන පිට්සා බ්‍රෙඩ් එකයි. නැවුම් පිටා බ්‍රෙඩ්වලින් හදලා තිබුණු මේ පිට්සා එකේ උඩට සටාර්, හලුමි චීස්, තක්කාලි, මින්ට් සහ ලූනු වගේ දේවල් එකතු කරලා තිබුණා. Chicken Pita Pizza පිළිගැන්වුණේ චිකන්වලට අමතරව තක්කාලි සහ සුමැක් හා ටහිනි වගේ අරාබිකරයේ ජනප්‍රිය කුළුබඩු වර්ගත් යොදාගෙනයි.

පදමට බදින ලද තෝරමාළු, කොත්තමල්ලි, සුදුලූනු සහ රන්වන් පාටට බදින ලද ලූනු එකතු කරමින් පිරිනමන Hot Fish Hummus Bowl  එකත් මෙතැන තියෙන රසවත්ම තෝරාගැනීමක්. ඒකට කඩල පිටි යොදාගෙන කරන හුමස් වගේම පිටා පාන් කැබලිත් එකතු කර රසය වගේම ආහාරයේ ප්‍රමාණයත් වැඩිකර තිබෙනවා.

මෙතැන අතුරුපස ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. August Mess, Chocolate Tart, Panna Cotta සහ  Lemon and Thyme වගේ රසවත් අතුරුපස කිහිපයක්ම මෙනුවේ දකින්න ලැබෙනවා. ඒ අතුරින් Lemon and Thyme තමයි වඩාත්ම රසැති අතුරුපස කියලයි මට හිතෙන්නෙ. ඒකෙ රසයට ඔබ වෙනම ලෝකයට කැඳවාගෙන යන්න පුළුවන් තරම්. Panna Cotta කියන්නේ රෝසවතුර, යෝගට්, වැනිලා සහ පැෂන් ෆෘට් යොදාගෙන හදන තවත් රසවත් අතුරුපස වර්ගයක්.  

ආහාරවලට අමතරව නොයෙක් බීම වර්ග, ජූස් වර්ගත් මෙතැන තියෙනවා. විශේෂයෙන්ම තේ, අරාබි කෝපි සහ පළතුරු යුෂ ගොඩක් දෙනෙක්ගේ තේරීමක්. අපි නම් තෝරාගත්තේ අඹරැල්ලා යුෂ බීමක්. කොහොම වුණත් කොමඩු, පැෂන් ෆෘට් වගේ තවත් ගොඩක් පළතුරු යුෂ වර්ග මෙතැනදී ලබාගන්න පුළුවන්. 

♦  නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00