මහනුවර ඇසළ පෙරහර වඩාත් ඔප් නැංවූයේ එම පෙරහරේ පෙරහර කරඬුව වැඩම කළ හස්ති රාජයා සහ දෑලේ ගමන් ගත් හස්තීන් දෙදෙනා ප්‍රමුඛ පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් නිසාවෙනි. අතීතයේදී මහනුවර ඇසළ පෙරහරට අලි ඇතුන්ගේ හිඟයක් නොවීය. එකල අලි ඇතුන් ළඟ තබාගන්නන්ට නීති පැනවීමක්ද නොවීය.
පෙරහරවල් සඳහා මෙන්ම අනෙකුත් කටයුතු සඳහා අලි ඇල්ලීමට රජය මගින් බලපත්‍ර වා ලබාදී එම අලි හදා වඩා ගැනීමට රැකබලා ගැනීමට බලපත්‍ර පවා ලබාදීම නිසා අලි හිමිකරුවන්ගෙන්ද රටට අඩුවක් නොවීය. පසුකලෙක අලි ඇතුන් පෙරහරවල්වල පෙරහර කරඬුව මෙන්ම සධාතුක කරඬුව වැඩම කරවීමට යොදා ගත්තේ එවන් පෙරහරවල් අලංකාර කර ගැනීමටත් එම පෙරහරවල්වලට ආගමික ගෞරවයක් මෙන්ම පූජනීයත්වයක් ලබාදීම සඳහාය.
රජවරුන්ගේ පාලනයෙන් රට මිදී ඉංග්‍රීසි ජාතිකයන්ගේ පාලනයටද රට නතු වූ පසුව කාලයේ අලි ඇල්ලීම දඩයම් කිරීම දළ යුගළ ලබාගැනීම සඳහා අලි ඇතුන් වෙඩි තබා මැරීමද (විශේෂයෙන් අලින්ගේ නගුටේ කෙඳි ලබා ගැනීමද) සිදුවිය. රටේ අලි සම්පත ආරක්ෂා කරගැනීම සඳහා නීතිද පනවන්නට එකල ආණ්ඩුවලට සිදුවිය.
රටේ සංවර්ධන කටයුතු සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීමේදී ජනාවාස පිහිටුවීමද විශාල වනාන්තර අත්පත් කර ගැනීමේදී එම වනාන්තරවල සිටි අලි ඇතුන්ටද ඇතැම් අවස්ථාවල උන්ගේ ජීවිත පවා අහිමි විය. අලි ඇතුන් සංරක්ෂණයට විවිධ අණ පනත්ද ඉදිරිපත් විය. අලි පැටවුන් ලබා ගැනීම සඳහා අලි මව්පියන් මරා දැමීමටද ඇතැම් කෘෘර මිනිසුන් ක්‍රියාකළ බවද පැවසිය යුතුය.
අලි ඇතුන් සහිත මනරම් දර්ශනීය පෙරහර වන්නේ රටේ ප්‍රධාන කොටම මහනුවර පුරවරයේ ඓතිහාසික ඇසළ මහා දළදා පෙරහරයි. එම පෙරහරට අලි ඇතුන් නොමැති නම් බොහෝ දෙනෙකු පෙරහර නරඹන්නේද නැත. එහෙත් ඉතා කණගාටුදායක කරුණ නම් එදා අලි ඇතුන් සියය ඉක්මවා පෙරහර ඔපවත් කරමින් ගමන් කළ මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන් සංඛ්‍යාව 60-70ත් අතර ප්‍රමාණයකට මේ වනවිට අඩු වී තිබීමය.
වර්ෂ ගණනාවක් තිස්සේ මහනුවර ඇසළ පෙරහරේ පෙරහර කරඬුව වැඩම කළ රාජා හස්තියාට අදද පූජනීයත්වයක් හිමිව තිබේ. එයට හේතු වී ඇත්තේ රාජ හස්තියා වසර ගණනාවක් අඛණ්ඩව කිසිදු බාධාවකින් ප්‍රචණ්ඩත්වයකින් තොරව දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහරට දායක වෙමින් ඉතා හික්මීමකින් යුතුව සංවරව මහනුවර පුරවරයේ වීදිවල ගමන් කරමින් මහනුවර ඇසළ පෙරහරට ලබාදුන් දායකත්වය නිසාය.
එහෙත් වත්මනෙහි මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරට අලි ඇතුන්ගේ හිඟයක් පවතින බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු බණ්ඩාරතිලක වලිසුන්දර, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත්, නාථ දේවාලයේ බස්නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද, විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ යන මහත්වරැන් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ මෙවර මහනුවර ඇසළ පෙරහර සඳහා ප්‍රමාණවත් පළපුරුදු අලි ඇතුන්ගේ හිඟයක් පවතින බවයි.
ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියේ අලි ඇතුන් 12ක්ද, දේවාල තුනේ අලි තිදෙනෙකුද පමණක් සිටින අතර එම අලින්ට අමතරව වෙනත් ස්ථානවලින් පෙරහර සඳහා අලි ඇතුන් ලබාගැනිමට තමන්ට සිදුව ඇතැයි පෙරහර කටයුතුවලට සම්බන්ධ නිලමේවරු පවසති.
පෙරහර සඳහා මනා පළපුරුද්දක් සහිත වසර ගණනාවක් පෙරහරවල්වල ගමන් කළ අලි ඇතුන්ට අමතරව පෙරහරවලට හුරැ නොවූ අලි ඇතුන් පෙරහර කටයුතු සඳහා යොමුකරවා ගැනීම යම් යම් අවස්ථාවලදී ගැටලුකාරී තත්ත්වයන් ඇතිකරවීමට හේතු වන බවද කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු බණ්ඩාර වලිසුන්දර මහතා පෙරහර සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
මහනුවර ඇසළ පෙරහරේ පෙරහර සධාතුක කරඬුව වැඩම කරවීම සඳහා පළපුරැදු තත්ත්වයේ ඇතුන් 06ක් සිටින බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
මහනුවර පමණක් නොව ලංකාවේ විවිධ සිද්ධස්ථානවල වාර්ෂික පෙරහර සඳහා අලි ඇතුන්ගේ අවශ්‍යතාවය අධික වී තිබේ. දෙවිනුවර උපුල්වන් දේවාලය, රුහුණු මහා කතරගම දේවාලය, රත්නපුර මහ සමන් දේවාලය, හුණුපිටිය ගංගාරාම පුරාණ විහාරස්ථානය, ඓතිහාසික මහියංගන රාජමහා විහාරය මෙන්ම ලංකාවේ විවිධ පළාත්වල ඓතිහාසික සිද්ධස්ථාන සඳහා පවත්වන වාර්ෂික පෙරහරවල් ඔපවත් කිරීමට අලි ඇතුන් අවශ්‍ය වන බව ඒ ඒ විහාරස්ථානවල විහාරාධිපති හිමිවරැ සහ දේවාලවල බස්නායක නිලමේවරු පවසති.
රජය කිසියම් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට බෞද්ධ ආගමික කටයුතු මෙන්ම වෙනත් පෙරහරවල් සඳහා අලි ඇතුන් සම්බන්ධ කර ගැනීමේ කාර්යයට කිසියම් ක්‍රමවේදයක් සකසා දායකත්වයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව පෙරහර කටයුතුවලට ඍජුව සම්බන්ධ බොහෝ ආගමික ස්ථානවල ප්‍රධානීහු පවසති. මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ලොව නන් දෙසින් විදේශීය සංචාරක පිරිස් පෙරහර සමයේ මහනුවරට පැමිණෙති. ඔවුන් බොහෝ දෙනාගේ වැඩිම ආස්වාදය ලබාගත හැකි අංගය වනුයේ පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ විවිධ ගමන් විලාසයන්ය. අලි ඇතුන් ඉතා අඩු සංඛ්‍යාවක් පෙරහරේ ගමන් කරනා ප්‍රවෘත්තිය දැනගන්නා බොහෝ පෙරහර නරඹන්නෝ මහනුවර ඇසළ පෙරහර නැරඹීමට මැලිකමක් දක්වන බවක් තිස් වසරක පෙරහර අත්දැකීම් ඇති අපිද දන්නෙමු.
ලංකාව පුරා අතලොස්සක් වෙසෙන හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගෙන් පෙරහර කටයුතු සඳහා අලි ඇතුන් ලබාගත්තද මෙලෙස හීලෑ අලි ඇතුන් සිටින හාම්පුතුන් පෙරහර කටයුතුවලට අලි ඇතුන් ලබාදීමේදි එම අලි ඇතුන්ට අවශ්‍ය ආහාර පාන, ඇත්ගොව්වන්ගේ වැටුප්, අලි ඇතුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම, අලි ඇතුන් පෙරහර පවතින ස්ථානයට ප්‍රවාහනය කිරීම මෙම සියලු කටයුතුද පෙරහර සංවිධායකයන්ට පැවරෙයි. ඒ කාර්යයන් සඳහාද විශාල මුදලක් වැය කෙරෙයි.
සෑම පෙරහරක් අවසානයේදීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා විසින් පෙරහර නිමාකළ බවට සඳහන් සංදේශය ජනාධිපතිවරයාට බාරදීමේ අවස්ථාවේදීද දියවඩන නිලමේවරයා විසින් පෙරහර කටයුතුවලට අත්‍යාවශ්‍ය වන හීලෑ අලි ඇතුන් ලබාගැනීම සම්බන්ධව කරුණු ඉදිරිපත් කරනු ලබයි.
ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පංතියක් නිල වශයෙන් තිබේ. මෙම ඇත් පංතියේ සිටින අලි ඇතුන් 12 දෙනා ඇරෙන්නට අනෙකුත් අලි ඇතුන් ණයට ලබාගැනීමට මහනුවර ඇසළ පෙරහරේ සංවිධායකයන්ට සිදුවී තිබෙන ප්‍රධානතම ගැටලුව වී තිබේ.
1950 අලි ගාලෙන් පසුව අලි ලබාදීම තවත් ගැටලුවක් වී තිබෙන අතර හීලෑ අලි ඇතුන් හිමිකරැවන් කීප දෙනෙක්ම පැවසුවේ කළුගල්ල මහතා අමාත්‍ය ධුරයක් හොබවන සමයේ අලි ඇල්ලීමට ලබාදුන් බලපත්‍ර ලබාගත් හිමිකරැවන් අල්ලා හීලෑ කරගත් අලි ඇතුන් මේ වනවිට ඉතා වයස්ගතව පසුවන බවයි.
පවතින තත්ත්වය මත ඉදිරි අනාගතයේදී පෙරහරවල් වර්ණවත් කිරීම සඳහා රෝද මත සවිකළ කෘත්‍රිම අලි රුගෙන යාමට සිදුවීමේ අභියෝගයකට තමන්ට මුහුණදීමට සිදුවන්නේයැයි ඓතිහාසික පුරාණ දේවාල කිහිපයකම බස්නායක නිලමේවරු පවසති.
ජේ.ඒ.එල්. ජයසිංහ