2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ලෙඩවලින් දත් රැකගන්න හැටි

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 281

වර්තමානයේදී බොහෝ දෙනා රූපය ගැන කනස්සල්ලෙන් පසුවන්නා සේම තම දත් දෙපළ සම්බන්ධව ද ඇත්තේ දැඩි කනස්සල්ලකි. සුන්දර සිනහවක් සමඟම මුතුවන් දත් දෙපළක් දැකිය හැකිනම් එය කොතරම් අගනේද..? නමුත් අද බොහෝ දෙනාගේ ඇතිවන තත්ත්වයක් ලෙසින් අකලට දත් වැටීම, දත් මුල් දියවීම, විදුරුමස ආශ්‍රයෙන් රුධිරය පිටවීම වැනි දේ දැකිය හැක. මෙයින් සිදුවන්නේ ඔබේ මුහුණේ සිනහව අතුරැදහන් වීමෙන් මුහුණට අවලස්සනක් ගෙන ඒමයි. 

දත්වලින් මුහුණට අලංකාරයක් සේම ආහාර පාන ආමාශයට යැවීමේ ක්‍රියාවලියද පහසු කරයි.

ආයුර්වේදයට අනුව මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට දින චර්යාවක් ඇත. උදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රියට නින්දට යනතුරැම කළයුතු කාර්යයක් ආයුර්වේදයේදී සඳහන් වේ. දත් මැදීම සම්බන්ධව සලකා බැලීමේදී එය අනාදිමත් කාලයේ සිට පැවත එන්නකි. වර්තමානයේදී දත් මැදීම සඳහා මෘදු දත් බුරුසුවක් පාවිච්චි කළ ද ඈත අතීතයේදී අපේ මුතුන්මිත්තන් දත් මැදීම සඳහා භාවිතා කරන ලද්දේ දැහැටි කූරකි.

දැහැටි කූර සඳහා යොදාගනු ලබන ගස් වර්ග ලෙස කරඹ, පිල, මූණමල් ආදිය දැක්විය හැක. ඖෂධීය ගසක ඉති කැබැල්ලක කෙළවර දත් ආධාරයෙන් සැපීමෙන් එය සාදාගත හැකිය. දත් මැදීම සඳහා ඉතාම ස්වභාවික ක්‍රමය වන්නේ එසේ හඳුනාගත් දැහැටි කූරකි. දත් මැදීමේදී එක දක බැගින් දත් මදින්න. මුඛය පිරිසිදු කිරීමේදී දිව ද මදින්න. දත් හා මුඛය ආරක්ෂා කිරීමට ඖෂධීය ජලයෙන් මුඛය සේදීම ඉතා අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ඉතා හොඳ ඖෂධයක් ලෙසින් ගන්ඩුෂ කවල දැක්විය හැක. එමෙන්ම ඖෂධ තම්බාගත් වතුරෙන් මුඛය, උගුර සෝදන්න. මෙමඟින් දත් මෙන්ම විදුරුමසද ආරක්ෂා වේ.

දත් හා විදුරුමස ආරක්ෂා කිරීමට ආයුර්වේදයේ ඉතා හොඳම තෙලක් වන්නේ ඉරිවේද තෙලයි. ඉරිවේද තෙලෙන් බිඳක් ගෙන විදුරුමස හා දත්වල ආලේප කර ටික වේලාවකින් මුඛය සෝදා දමන්න. එමෙන්ම තල තෙල් සහ මී පැණි මිශ්‍ර කර විදුරුමසෙහි ආලේප කිරීමෙන් දත් රෝග සහ මුඛ රෝග බොහොමයක් වළක්වා ගත හැක.