හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ තියෙන එක් අපූරු අවන්හලක් තමයි SERA අවන්හල. එය අග්නිදිග ආසියානු කලාපයේ කෑමබීම සඳහාම වෙන්වුණු විශේෂ තැනක්! අවන්හලට ඇතුළු වුණු මොහොතේ ඉඳන් දැනෙන සුවඳින් ඔබව අග්නිදිග ආසියාවට කැඳවාගෙන යනවා කිව්වත් වැරදි නැහැ.
මෙතැන පරිසරය දිහා බැලුවම ටිකක් සුඛෝපභෝගීත්වයක් පිරුණු තැනක්. ඒ නිසාම මෙතැන ආහාර ගැනීමට පැමිණෙද්දි ඇඳුම ගැනත් ටිකක් සැළකිලිමත් වෙන්න ඕනෙ. විශේෂයෙන්ම රාත්‍රී ආහාරය ගනිද්දි ඒක ගොඩක් වැදගත්. ඒ හින්දම මෙතැන ටිකක් රොමෑන්ටික් තාලේ රාත්‍රී ආහාරයකට ගැලපෙන අවන්හලක්.
අපි ආහාර ගැනීම පටන්ගත්තේ Marinated Cherry Tomatoes with Plum Sauce සහ Handmade Beef Dumplings with Chicken Shao-Mai කියන දීසි දෙකෙනුයි.dumplings දීසිය පිළිගන්වා තිබුණේ උණබටවලින් හදපු ස්ටීමර් එකකින් වීමත් ආහාරවේලට ලොකු වෙනසක් එකතු කළා.
ප්‍රධාන ආහාරය විදිහට අපි තෝරාගත්තේ Cantonese Wok Fried Angus Beef with Asparagus කියන බීෆ් මුල් කරගත් දීසියයි. ඒක හරියට දිව්‍යමය රස ගොඩක් එකට එකතු කරපු දීසියක් වගේ. ඊළඟට අපි Sichuan Style Mapo Tofu රස බැලුවා. චීන සීචුවාන් ආරට හදලා තිබුණු ටෝෆු චිකන් එක්ක බොහොම තුනී රෙඩ් සෝස් එකක ගිල්වලා තමයි ඉදිරිපත් කරලා තිබුණේ.
අතුරුපස ගොඩක් අතුරින් අපි තෝරාගත්තේ Hong Kong chilled Mango Sago cream with Strawberries කියලා නම් කරලා තිබුණු අතුරුපසක්. කොහොම වුණත් ඒ අතුරුපස ගැන නම් මගේ ඒ තරම්ම මනාපයක් නැහැ.
නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත