2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

බබළන නවරැල්ලට අගැයුමක් නැහැ

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 607

- නිශ්ශංක විජේමාන්න

නිශ්ශංක විජේමාන්න මෙයට පෙර කෙටිකතා කෘති හයක් පළකළ ඒ සෑම කෘතියකටම විවිධ සම්මාන රැසක් ද හිමිකරගත් ලේඛකයෙකි. තිත්ත සීනි, දළරෙදි, හා කසීසළු, චන්ද්‍රකින්නරාවි, කීඩෑවෝ ඇවිල්ලා, කළු කිරිල්ලී, මුවා මැරූ සලමන් ඒ කෙටිකතා කෘතිය. නිශ්ශංක නවකතා තුනක් ලියා ඇති අතර හඳ පාළුව තනි තරැව කෘතියට 2017 ස්වර්ණ පුස්තක සම්මානය හිමි විය. ඔහුගේ අලුත්ම කෙටිකතා කෘතිය ගැන කළ කතාබහකි මේ.

ඔබේ අලුත්ම කෙටිකතා පොත ගැන කිව්වොත්...?

මම අවුරුදු නවයකට පස්සේ පළකළ කෙටිකතා සංග්‍රහය මෙයයි. මල් සූටික්කා. එහි කෙටිකතා අටක් අන්තර්ගතයි.

කෘතියේ පිටකවරයත් අමුතු ආකෘතියකින් ඉදිරිපත් කර තිබෙන බවයි පේන්නේ...?

මේ මම කවරය පාඨක සමාජයට සහ චිත්‍ර ශිල්පීන් කිහිපදෙනකුට පෙන්වා බැලුවා. ඔවුන් මෙයට කැමති වුණා. ආකර්ශනයක් සහ වෙනස් මුහුණුවරක් තිබෙන බව ඔවුන් පැවසුවා. මට තිබුණු ගැටලුව වූයේ පොතේ කතුවරයා සහ පොතේ නම මුල් අවස්ථාවේදි පසුපිටේ විතරයි තිබුණේ. පසුව එය කුඩාවට ඉදිරිපස සටහන් වුණා. එහි අනන්‍යතාව අතුරුදහන්වේද කියලා හිතුණා. නමුත් මගේ ප්‍රකාශකයා කීවේ එහි අවදානම ගන්නේ ඔහු බවයි. ඉදිරියට ලැබෙන අදහස්වලින් පාඨකයා කවරයට දක්වන ප්‍රතිචාර දැනගත හැකිවේවි. 

ඔබ මෙයට පෙර කිව්වා නවකතා ලිවීමට වඩා කෙටිකතා ලිවීම මහා දුෂ්කර ව්‍යායාමයක් බව. මෙම කෘතිය ලිවීමේදීත් ඒ දුෂ්කරතාව විඳගත්තාද...?

ඔව්... ඒකයි සෑහෙන කාලයක් ගතවුණේ. මට නවකතා ලියන එක කෙටි කතා ලිවීමට වඩා පහසුයි. සමහරවිට එක් කෙටිකතාවක් ලිවීමට නවකතාවකට වඩා කාලය ගත වෙනවා. කෙටිකතාව විසින් ඉල්ලන පරිසමාප්ත බව, සම්පිණ්ඩනය, ආකෘතිය හසුරුවා ගැනීමට ගන්න වෙහෙස නිසා එයට කල්ගත වෙනවා. පරිසමාප්ත බව ලබාගැනීමට ලොකු කාලයක් ගතවෙනවා. වෙස් මුහුණක් හදන ආකෘතිය තමයි කෙටිකතාවකට පාවිච්චි කරන්නේ.

ඒක විස්තර කළොත්...?

මුලින්ම දඬු කපන්න ඕනෑ. මාරං ගහන්න ඕනෑ. එල්ලන්න ඕනෑ. හැඩ කපන්න ඕනෑ. මාස ගාණක ක්‍රියාවලියක් ඒක. නවකතාවත් එහෙම වුණත් ඒකට පොඩි වාසියක් තිබෙනවා. ඒක ලියන්න පුළුවන් දුරදිගයි. චිත්‍ර ඇඳීම, කවි ලිවීම, වගේ මගේ නිර්මාණාත්මක ජීවිතයේ අමාරැම දේ කෙටිකතා ලිවීමයි.

නමුත් සමහර ලේඛකයන් කෙටිකතා ලිවීම පහසු බව කියනවා...?

සමහර අය එහෙම කියනවා. ශිෂ්‍යයන්ට වැඩමුළු කරන විට සමහර ළමයි පැය දෙකකින් කෙටිකතාවක් ලියනවා. ඒක අරුමපුදුම කාරණාවක්. කලාතුරකින් හොඳ කතාවකුත් ඒ අතර තිබෙනවා. වැඩි ප්‍රමාණයක් ගතයුත්තක් නැහැ. නමුත් මම ජීවිතේටම කපන්නේ කොටන්නේ නැතුව කෙටි කාලයකින් ලිව්වේ තිත්ත සීනි පොතේ එනමින් එන කෙටිකතාව විතරයි.

ඔබේ පොතට ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත්...?

ඔව්... කිහිප දෙනෙක්ම කතා කර අදහස් දැක්වූවා. ඔවුන් මේ පොත ගැන කිසියම් පර්යාලෝකයක් තනන බව පේනවා. හුඟදෙනෙක් කැමති දොන්ත බබක්කයි - මල් සූටික්කයි කතාවට. ඇතැම් අය උමා කතාවට කැමතියි. 

මේ ඇතැම් කතාවලට මුස්ලිම් සම්බන්ධයකුත් ඔබ ගේනවා. ඒකට හේතුවක් බලපෑවාද...?

පසුගිය කාලයේ මුස්ලිම්වරුන් සමඟ සතුරැකමක් ඇති කර ගැනීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තනේ. නැවත හතුරෙක් ඇති කර ගැනීමේ ක්‍රමවේදයක් අදෘශ්‍යමාන බලවේගයක් විසින් දියත් කළ බව පෙනුණා. ඒකට ප්‍රතිවිරැද්ධව තමයි මේ ලිවීම පටන් ගත්තේ. මම ජීවත් වන ගමට අල්ලපු ගම මුස්ලිම්. මම ඒ ළමයින්ට උගන්වනවා. ඔවුන් අසරණකමේ පාතාලයේ ඉන්නේ. මේ ජාතින් දෙක අතර එදිරිවාදිකම් හටගැනීම ඛේදවාචකයක්. ඒ ඛේදවාචකයේ ඉතා කුඩා ගුණාකාරය තමයි නිර්මාණවලට පසුබිම් වෙලා තිබෙන්නේ.

ඔබේ කෙටිකතා සහ නවකතා ඉහළම සම්මානවලට ලක්වෙලා තිබෙනවා. අද බිහිවන කෙටිකතා සහ නවකතාවල ගුණාත්මක වර්ධනයක් ඔබ දකිනවාද...?

ලංකාවේ නවකතා මනින ක්‍රමවේදය ගැන මට කුකුසක් තිබෙනවා. සමහර නවකතා ඇගැයීමකට භාජනය වන්නේම නැහැ. උදාහරණ විදිහට උපුල් ශාන්ත සන්නස්ගලගේ ලලනායනය, කොළ පාට ඇස්, කේ.කේ. සමන් කුමාරගේ මහිලා වංශය වගේ පොත් ගැන කතාබහක් නැහැ. ඒවා අධ්‍යයනය කිරීමට පාඨක හෝ විචාරක සමාජයක් නැහැ. ඒවා ගැන මතුවන විචාර හඬට අපි සවන් දෙන්නේ නැහැ. අලුත් ආකෘති සහිත බබලවන පොත් විශාල ප්‍රමාණයක් බිහිවෙනවා. ඒ ගැන සැකයක් නැහැ. ලාංකීය සාහිත්‍යයේ කෙටිකතාව සහ නවකතාව ඉදිරියටම යනවා.

එලෙස නිර්මාණ සාහිත්‍යය ඉදිරියට ගියාට ලංකාව කියන දූපතෙන් එහාට යන්නේ නැහැ නේද...?

ඉංග්‍රීසියෙන් ලියන ලාංකිකයන්ගේ කෘති ඉදිරියට යනවා. මයිකල් ඔන්ඩච්චි, ෂෙහාන් කරුණාතිලක් ඇතුළු කිහිපදෙනෙක්ම ඉන්නවා. සිංහල කෘති දෙමළට පරිවර්තනය වී උතුරට යන්නෙත් නැහැනේ. ඒක ඛේදවාචකයක්. සිංහල කෘති ඉංග්‍රීසියට පරිවර්තනය විම සිදුවන්නේ නැහැ. මන්දෝත්සාහියි. මේක ව්‍යාපෘතියක් වෙනවා නම් ඉතා හොඳයි. ඉංග්‍රීසි වෙළෙඳපොළ අත්පත් කරගන හැක්කේ කෙසේද? පොත අලෙවි කරගත හැක්කේ කෙසේද ආදිය ගැන අධ්‍යයනයක් නැහැ. ලාංකීය රසය ගැන කියවීමට හඳුනාගැනීමට ඉංග්‍රීසි සමාජය තුළ ලොකු කැමැත්තක් ඇති.

ඔබේ කෘති දෙමළට පරිවර්තනය වුණාද...?

තාරා මගේ දෙව්දුව දෙමළට පරිවර්තනය වුණා. හඳ පාළුව තනි තරැව සාමිනාදන් විමල් විසින් පරිවර්තනය කර තිබෙනවා. එය ඉදිරියේදී පළවේවි. තාරා මගේ දෙව්දුව කියවූ දෙමළ පාඨකයන් කිහිප දෙනෙකුම කතා කර අදහස් දැක්වූවා.

අද තරුණ පරපුරේ කෙටිකතා කෘති ගැන කිව්වොත්...?

කෙටිකතා ලියන තරුණියන්ගේ කෘති කිහිපයක්ම පසුගිය කාලේ පළවුණා. කංචනා ප්‍රියකාන්ත, විරාජිනී තෙන්නකෝන්, සුනන්දා ප්‍රේමසිරි වගේ. මේ අතරින් සුමුදු නිරානි සෙනෙවිරත්නගේ “ගිහින් එන්න කානිවල්* ඉතා හොඳ කෘතියක්. ඒක ඉතා විශිෂ්ට ලිවීමක්. ඒ වගේම මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ අළු පැහැති ආරංචි කෘතියත් අපූරැ ලිවීමක්.

අද පොත් විශාල වශයෙන් පිටවෙනවා නේද...?

ඔව්... තාක්ෂණයත් සමඟ වේගයෙන් පොත් පිටවෙනවා. නමුත් ඒවා සාහිත්‍ය කෘති නොවේ. නමුත් ඒ උත්සාහය නිගරු කිරීමට බැහැ. අඩුම ගාණේ ඒක ගැන ස්තූතිවන්ත විය යුතුයි. නමුත් අපට ලේඛකයන් නම් මදි බවයි කිවයුත්තේ. නව ලේඛකයන් බිහිවිය යුතුයි.

 කුසුම්සිරි