මේ ගෙවෙන මොහොත වන විට මුළු රටම ඉදිරියේ එළඹෙන ජනාධිපතිවරණයක් පිළිබඳ දේශපාලන සංවාදයකට පැටලී සිටී. පැල්පතේ, කඩපිලේ, මගතොටේ පමණක් නොව රජ ගෙදර පවා මේ කතාව සිදුවන බව නොරහසකි. ඇතැමකුට අනුව මෙය මුහුද හත් ගව්වක් තබා අමුඩ ගැසීමක් ලෙස පෙනුණ ද මෙරට දේශපාලනයේ නූතන හැසිරීම දෙස බලන විට ජනාධිපතිවරණ සංවාදය අරුමයක් නොවේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාගේ බලතලවලට පමණක් නොව ජනාධිපතිවරණයක් පැවැත්වීමේ ක්‍රියා පටිපාටියේ ද යම් යම් වෙනස්කම් සිදුව තිබේ. එය ද මේ දිනවල සංවාදයට බඳුන් වන කරුණකි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙරටට බිහිවූ ප්‍රවීණ පරිපාලන නිලධාරියකු වූ විධායක ජනාධිපතිවරුන් දෙදෙනකුගේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ කේ. එච්. ජේ. විජයදාස මහතා සමඟ සංවාදයක යෙදුණෙමු. ඒ මහතා ජනාධිපතිවරයාට විෂය වන නීතිමය කරුණු පිළිබඳ හසල දැනුමක් මෙන්ම අත්දැකීම් ද ඇති විද්වතෙකි. මේ එම සංවාද සටහනයි.
ජනපතිගේ කතාවේදී පළමුවෙන්ම පැහැදිලි කරගත යුතුව ඇත්තේ දැනට පවතින ජනාධිපති ධූර කාලය අවසන් වන්නේ කවදාද යන්නත් ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලවකවානු මොනවාද යන්නත්ය. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 වගන්තිය අනුව බල පැවැත්වූ ජනාධිපති ධූර කාලය වසර 06ක් විය. එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අඩු කර ඇත. මේ අනුව 2015 ජනවාරි 08 වැනිදා තේරී පත් වූ වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි 08 වැනිදායින් අවසන් වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.3 වගන්තියට අනුව වර්තමාන ජනාධිපති ධූර කාලය අවසන් වීමට මස 6කට පෙර හෝ වසර දෙකට නොවැඩි කාලයක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුව තිබේ. ඒ අනුව අනිවාර්යයෙන්ම 2019 නොවැම්බර් 08 වැනිදා සහ 2019 දෙසැම්බර් 08 වැනිදා අතරතුර දිනයක ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබේ.
හදිස්සි ජනාධිපතිවරණයක් පැමිණීම පිළිබඳව දැනටම දේශපාලන සංවාදයක් නිර්මාණය වී තිබෙන බව දැනගන්නට තිබේ. ඒ පිළිබඳව පැහැදිලි කරගැනීම වෙනුවෙන් හදිස්සි ජනාධිපතිවරණයක් කැඳවීමට ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදන කවරේද යන්න පැහැදිලි කරගත යුතුව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.2 වගන්තිය අනුව තම ප්‍රථම ධූර කාලය ගතකරන ජනාධිපතිවරයාට වසර 04ක් ඉකුත් වීමෙන් පසුව තම අභිමතය පරිදි ගැසට් ප්‍රකාශනයක් නිකුත් කිරීමෙන් දෙවැනි ධූර කාලය සඳහා නැවත ජනවරමක් ලබා ගැනීමේ අභිලාෂය ප්‍රකාශ කර සිටීමේ හැකියාවක් පවතී. එසේ ප්‍රකාශනයක් ගැසට් කරනු ලැබූ විට එය ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභා වෙත කෙරෙන නියමයක් වෙයි.
මේ අනුව සලකා බලන විට වර්තමාන ජනාධිපතිවරයාට 2019 ජනවාරි 08 වැනිදායින් පසුව ඉතාමත්ම වාසිදායක විරුද්ධවාදියාට අවාසිදායක අවස්ථාවක ඉහත කී ප්‍රකාශනය නිකුත් කිරීමේ හැකියාවක් පවතියි. අභිලාශය ප්‍රකාශයට පත්කිරීමට අනුව වර්තමාන ජනාධිපතිවරයා ඉදිරියේදී ජනාධිපතිවරණයට එළඹුණහොත් ඔහු ඒ සඳහා තරග කළ යුතුව තිබේ.
සුදුසුකම්
ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය අවම සුදුසුකම් මොනවාද යන්න සැලකීමේදී පළමුව ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම අවශ්‍ය වේ. දෙවනුව ශ්‍රී ලංකාවේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව තිබීම ද තුන්වනුව නාම යෝජනා භාර දෙන දිනය වන විට වයස අවුරුදු 35 දක්වා තිබීම ද අවශ්‍යය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.1 වගන්තිය අනුව මෙම අවම සුදුසුකම් ඇති අයකුගේ නාම යෝජනාව පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඔහු දැනට මන්ත්‍රීවරයෙක් නම් හෝ කලින් මන්ත්‍රීවරයෙක්ව සිටි අයෙක් නම් වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ ඕනෑම ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි අයකු විසින් හෝ ජනාධිපතිවරණය සඳහා එකී නාම යෝජනාව ඉදිරිපත් කළ හැකි වෙයි.
නුසුදුසුකම්
වර්තමානයේ පවතින නීති අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට සුදුසුකම් නොලබන අය කවුරුන්ද යන්න මීළඟට සලකා බැලීම වටී. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පහත සඳහන් නොසුදුසුකම් බල පැවැත්වෙයි. පළමුව ද්විත්ව පුරවැසියකුට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය නොහැකි වෙයි.
දෙවනුව දෙවරක් ජනාධිපති ධූර දැරූ අයට නැවත ඉදිරිපත් විය නොහැකි වෙයි. ඊට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය මෙම ගණයට වැටෙයි. තවද සිහි විකල් අයකු ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණයකින් තීරණය කරනු ලැබූ අයකුට ද දෝෂාභියෝගයක් මඟින් ජනාධිපති පදවියෙන් පහකරනු ලැබූ අයකුට ද පසුගිය වසර 07 ඇතුළත මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටි අයකුට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තිය ප්‍රකාරව ප්‍රජා අශක්නුතාවයකට භාජනය වූ අයකුට ද ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැක. කෙසේ වුවද ඉහත කී සිර දඬුවමට යටත්ව සිරගතව සිට කොන්දේසි විරහිත සමාවක් ලැබූ අයට මෙම තහංචිය බලනොපායි.
මීළඟට හදිසි ජනාධිපතිවරණයක් ප්‍රකාශ කළ විට මැතිවරණ කොමිසම ක්‍රියා කළ යුතු ආකාරය අපි විමසමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් හදිසි ජනාධිපතිවරණයක් එනම් තම ප්‍රථම ධූර කාලය ආරම්භ වී වසර 04ක් ඉක්ම වීමෙන් පසු ගැසට් ප්‍රකාශනයක් මඟින් ජනාධිපති ධූරය දැරීමට ජනවරමක් ලබා ගැනීමට තම අභිලාශය ප්‍රකාශ කළ විට එය මැතිවරණ කොමිසමට කරන ලද නියෝගයක් ලෙස සැලකෙයි. ඒ අනුව මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාවලිය වහාම දියත් කළ යුතු වෙයි. එහිදී ප්‍රථමයෙන්ම නාම යෝජනා භාර ගැනීමේ දිනය, වේලාව සහ ස්ථානය ප්‍රසිද්ධ කර ඉන් පසු ජනාධිපතිවරණ පනතේ විධි විධානවලට අනුව සියලු සංවිධාන පත් කළ යුතු වෙයි.
පුරප්පාඩු වුණොත්
ජනාධිපති ධූරයේ හදිස්සි පුරප්පාඩුවක් ඇති වුවහොත් ක්‍රියා කළ යුතු ආකාරය මීළඟට සාකච්ඡාවට බඳුන් කරමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තියේ දැක්වෙන පරිදි විවිධ හේතු නිසාවෙන් ජනාධිපති ධූරය හිස්වීමේ හැකියාවක් පවතී. ජනාධිපතිවරයා මියයාම, තම ධූරයෙන් ඉල්ලා අස්වීම, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහෝසි වීම, දෝෂාභියෝගයක් මඟින් ඉවත් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තෝරාපත් කර ගැනීම, නිශ්ප්‍රභා කිරීම ආදී විවිධ හේතු මත ජනාධිපති ධූරය පුරප්පාඩු වීමේ හැකියාවක් පවතී. එසේ වුවහොත් අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියේ පැහැදිලිව දක්වා තිබේ.
1993 වර්ෂයේදී මෙම ප්‍රතිපාදන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ මේ සංවාද සටහනට සිය හසල දැනුමෙන් “දේශයට” දායකත්වය ලබාදෙන හිටපු ජනාධිපති ලේකම් කේ. එච්. ජේ. විජේදාස මහතාටය. ඒ මහතා ඒ පිළිබඳ තතු හෙළි කරයි.
“1993 මැයි මස 01 වැනිදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ අවස්ථාවේ එම ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීම එවකට ජනාධිපති ලේකම් වශයෙන් මගේ ප්‍රධාන වගකීම විය. ජනාධිපති ධූරය පුරප්පාඩු වූ වහාම කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා තාවකාලිකව ජනාධිපති ධූරයේ වැඩ බැලීමට පත්කර ගැනීමයි. ඒ වනවිට අග්‍රාමාත්‍යධූරය හිස්ව පවතී නම් හෝ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධූරයේ වැඩ බැලීමට නොහැකි නම් කථානායකවරයා එම ධූරයේ වැඩ බැලීමට පත්කර ගත යුතුය. ඉන් අනතුරුව හිස් වූ ජනාධිපති ධූරයේ ඉතිරි කාල පරිච්ඡේදය සඳහා පාර්ලිමේන්තුව විසින් යෝජනා ස්ථීරත්වයෙන් එහි මන්ත්‍රීවරුන් අතරින් අවශ්‍ය සුදුසුකම් ඇති නොසුදුසුකම් නොමැති මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගතයුතුයි. නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම පාර්ලිමේන්තුව විසින් හැකි ඉක්මනින් කළ යුතුය. කිසිම හේතුවක් නිසා එය මාසයකට වඩා ප්‍රමාද නොකළ යුතුයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අභාවප්‍රාප්ත වූ විගස එදිනම සවස ඩී. බී. විජේතුංග අග්‍රාමාත්‍යතුමා ජනාධිපති ලෙස පත්කරගනු ලැබීය. ඉන් සතියකට පමණ පසුව ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ධූරයේ ඉතිරි කාලය සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිරත්වයෙන් ඒක ඡන්දයෙන් එම ධූරයට පත්කරනු ලැබීය.”
විජේදාස මහතා සිය අත්දැකීම් ඇසුරෙන් ජනාධිපති ධූරය පුරප්පාඩු වන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය එලෙස පහදයි.
පැරදුණොත්
දැන් අවධානයට යොමු කිරීමට සැරසෙන්නේ දැනට සිටින ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් ආණ්ඩුවට සිදු වන්නේ කුමක්ද යන්නටයි. දැනට තනතුර දරන ජනාධිපතිවරයා හදිස්සි ජනාධිපතිවරණයකදී හෝ නියමිත කාලය අවසන් වී පවත්වනු ලබන ජනාධිපතිවරණයකදී හෝ පරාජයට පත්වුවහොත් එම ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ දින සිට ඔහුගේ ධූර කාලය අවසන් වූවා සේ සලකනු ලබයි. එවිට ජයග්‍රහණ කළ අභිනව ජනාධිපතිවරයා අප්‍රමාදව සති දෙකක් ඇතුළත නව ජනාධිපති ධූරයේ වැඩ බාරගත යුතුය. නව ජනාධිපතිවරයා වැඩ බාරගන්නා තෙක් දැනට ධූරය දරන ජනාධිපතිවරයා ජනාධිපති ධූරයේ සියලු බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කළ යුතු වෙයි. යම් හෙයකින් නව ජනාධිපතිවරයා ධූරය භාර නොගතහොත් අග්‍රාමාත්‍යවරයා ධූරයේ රාජකාරි ආවරණය කළ යුතු වෙයි. ඔහුට එය සිදු කළ නොහැකි වුවහොත් කතානායකවරයා එම හිඩැස පිරවිය යුතුවෙයි. ඉන්පසුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරන පුද්ගලයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතුවෙයි.
අර්බුදයක්
මෙහිදී ව්‍යවස්ථාමය අර්බුදයක් පැන නැගීමේ ඉඩක් තිබෙයි. ඊට හේතුව වන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ප්‍රතිපාදන නොවීමයි. එපමණක් නොව නව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයකින් පමණකි. එසේ නොමැති නම් පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමේ සිට වසර හතරහමාරක් ගතවීමෙන් පසුවය. මෙම කරුණු සැලකීමේදී නව ජනාධිපතිවරයකු පත්වීමේදී ඔහු ව්‍යවස්ථාමය උගුලක පැටලීමට ඉඩ හැකිය.
ඉහත කරුණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඉදිරි ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වුවද නොවූව ද වෙනත් අපේක්ෂකයකු ජයග්‍රහණය කළහොත් රට තුළ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි යන අදහසක් මතුවෙයි. මහජනයා ලෙස තමන්ගේ පාලනයට අදාළව තිබෙන නීතිමය පසුබිම පිළිබඳවත් අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳවත් අවධානයෙන් සිටීම වටී. වඩා ප්‍රබුද්ධ ජනාධිපතිවරණ සංවාදයක මහජනයාට අවශ්‍ය දැනුම සම්පාදනය වෙනුවෙන් අපි මෙම සටහන තබමු.
♦ සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා